
ගාසා තීරයේ තවමත් ඊශ්‍රායල පාලනයේ නොමැති ප්‍රදේශයක් වන ගාසා නගරය සම්පූර්ණයෙන් අත්පත් කරගැනීමේ බෙන්ජමින් නෙතන්යාහුගේ සැලැස්ම සඳහා ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය අනුමැතිය අගෝස්තු 7 වන දින ලබා දී තිබුණි. මෙම සැලසුම මඟින් ගාසා තීරය හමුදාකරණයෙන් ඉවත් කිරීම, හමාස් සංවිධානය නිරායුධකරණය කිරීම සහ සියලු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම අරමුණු කර ගෙන ඇත. ගාසා භූමියට උතුරින් පිහිටි මෙම ගාසා නගරය හැරෙන්නට ඊශ්‍රායලය මේ වන විටත් ගාසා තීරයෙන් 75%ක් පමණ පාලනය කරනු ලබයි. ඒ හේතුවෙන් එහි දේශසීමා රැසක් ඔවුන් විසින් මුද්‍රා තබා තිබේ. නමුත් මේ සඳහා විශාල මෙහෙයුමක් එනම් දැනට එහි ජීවත් වන මිලියන දෙකක ජනගහනයක් සහිත විනාශ වී නොමැති ප්‍රදේශවල ද භූමි මෙහෙයුම් දියත් කිරීමට ද ඊශ්‍රාලයට සිදු වේ. නමුත් මින් ඊශ්‍රායලයේ මෙම තීරණය හමාස් විසින් රඳවාගෙන සිටින ඊශ්‍රායල ජීවමාන ප්‍රාණ ඇපකරුවන්ගේ ජීවිතවලට අනතුරක් ඇති වීමට ද ඉඩකඩක් පවති. කෙසේ නමුත් ගාසා තීරයේ වැසියන් දකුණු සුඩානයේ පදිංචි කරවීමට ඊශ්‍රායලය සැලසුමක් පවතින බව ද වාර්තා විය. ඊට තරයේ සිය විරුද්ධතාවය දකුණු සුඩාන රජය ප්‍රකාශ කර ඇති බව ද වාර්තා විය.
කෙසේ වෙතත් ගාසා නගර අත්පත් කර ගැනීමේ මෙම තීරණයට විරුද්ධව ඊශ්‍රායල ජාතිකයින් රැසක් සිය විරෝධය දක්වා ඇති අතර රට පුරා විරෝධතා රැසක් මේ වන විට නිර්මාණය වී තිබේ. එමෙන් ම ලොව පුරා රටවල් රැසක් ද මෙම තීරණයට එරෙහිව අදහස් ප්‍රකාශ කර ඇති අතර එමගින් එම රටවල්වල රාජ්‍ය නායකයින් පවසා ඇත්තේ අදාළ තීරණයෙන් තවත් ලේ වැගිරීම් වැඩි වන බවයි.
ගාසා නගරය අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ ස්ථාවරය ගොඩනැගීම සඳහා ගොඩනැගුණු සිදුවීම් ගණනාවකි.
. 2023 ඔක්තෝබර් 7 වන දින හමාස් සංවිධානය ඊශ්‍රායලයට දරුණු ප්‍රහාරයක් එල්ල කළ අතර, ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය "අයන් ස්වෝඩ්ස් (Iron Swords)" මෙහෙයුම ආරම්භ කළේය.
. ඔක්තෝබර් 9 වන දින ඊශ්‍රායල බලධාරීන් ගාසා තීරය වෙත ආහාර, ජලය, විදුලිය සහ ඉන්ධන සැපයීම සම්පූර්ණයෙන් අත්හිටුවීය.
. ඔක්තෝබර් 13 වන දින ඊශ්‍රායලය විසින් ගාසා නගරයේ සහ උතුරු ගාසා තීරයේ මිලියන 1.2 ක ජනතාවට දකුණු දෙසට ඉවත් වන ලෙස නියෝග කළේය. ඒ සමග ම ඊශ්‍රායල හමුදා ගාසා තීරය තුළට බිම් මෙහෙයුමක් දියත් කළහ.
. ඔක්තෝබර් 27 වන දින ඊශ්‍රායලය ගාසා තීරය තුළ පූර්ණ පරිමාණ බිම් ආක්‍රමණයක් ආරම්භ කළේය.
. නොවැම්බර් 15 වන දින, දින ගණනාවක් වටලෑමෙන් පසු ඊශ්‍රායල හමුදා ගාසා නගරයේ පිහිටි විශාලත ම රෝහල වන අල්-ෂිෆා රෝහලට ඇතුළු විය.
. නොවැම්බර් 24 වන දින ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුමක් සමග සතියක තාවකාලික සටන් විරාමයක් ආරම්භ විය.
. දෙසැම්බර් 1 දින සටන් විරාමය අවසන් වීමත් සමඟ, ඊශ්‍රායල හමුදා දකුණු ගාසා තීරයේ විශාලත ම නගරය වන ඛාන් යූනිස් වෙත ද බිම් මෙහෙයුම් ආරම්භ කළහ.
. 2024 මැයි 7 වන දින ඊශ්‍රායලය, රෆා නගරය ආක්‍රමණය කිරීමේ සැලසුම් ක්‍රියාවට නැංවීය. මෙම නගරයේ ගාසා තීරයේ ජනගහනයෙන් අඩකට වඩා වැඩි පිරිසක් රැකවරණය ලබා සිටියහ.

කෙසේනමුත් මේ වන විට ගාසා මෙහෙයුම සම්බන්ධයෙන් ඊශ්‍රායල ජනතාවගේ මතය වෙනස් වී ඇති බව ජනමත විමසුම් සහ වාර්තා පෙන්නුම් කරයි. මුලින් බොහෝ දෙනෙක් මෙහෙයුමට සහාය දුන්න ද දැන් ඔවුන්ගේ ප්‍රධාන අවධානය යොමු වී ඇත්තේ වෙනත් කරුණු කිහිපයක් වෙතයි. ඒවා මෙලෙස වේ.
. ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම
ආරම්භයේ දී හමාස් සංවිධානය විනාශ කිරීම ප්‍රධාන ඉලක්කය වූ නමුත්, දැන් බොහෝ ඊශ්‍රායල ජාතිකයන්ගේ ප්‍රමුඛතාවය වී ඇත්තේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමයි. 2025 ජූලි මාසයේ දී කරන ලද සමීක්ෂණයකට අනුව 74%ක් දෙනා සටන් විරාමයක් මගින් වුව ද ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමට සහය පළ කර ඇත.
. විරෝධතා සහ අතෘප්තිය
ගාසා මෙහෙයුම සම්බන්ධයෙන් ඊශ්‍රායලය තුළ දැවැන්ත විරෝධතා මේ වන විට ඇති වී තිබේ. බොහෝ දෙනෙක් සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙස රජයට බලපෑම් කරමින් පවති. මෙය අගමැති නෙතන්යාහුගේ රජය කෙරෙහි ඇති ජනතා විශ්වාසය අඩු වී ඇති බව ද පෙන්වන සාක්ෂියක් ලෙස ද හදුනා ගත හැක.
. යුද්ධයේ දිගුකාලීන බලපෑම්
ඊශ්‍රායල ජනතාව යුද්ධය තවත් දීර්ඝ වීම පිළිබඳවත්, එය කලාපයේ අනෙකුත් රටවල් දක්වා ව්‍යාප්ත වීම පිළිබඳවත් ජනතාව දැඩි කනස්සල්ලෙන් පසුවෙති.
. ද්වි-රාජ්‍ය විසඳුම (Two-State Solution)
යුද්ධය ආරම්භ වීමට පෙර පැවති සමීක්ෂණවලට වඩා, දැන් ඊශ්‍රායලයක් සහ පලස්තීන රාජ්‍යයක් සාමකාමීව පැවැතිය හැකි බව විශ්වාස කරන ඊශ්‍රායල ජාතිකයින්ගේ ප්‍රතිශතය විශාල ලෙස පහත වැටී ඇත. එයින් පෙනී යන්නේ සාමකාමී විසඳුමක් කෙරෙහි ඔවුන් තුළ තිබූ බලාපොරොත්තු අඩු වී ඇති බවයි.
. යුද අපරාධ පිළිබඳ මතය
ජාත්‍යන්තර ප්‍රජාව සහ මානව හිමිකම් සංවිධාන ගාසා තීරයේ සිවිල් වැසියන්ට සිදු වන හානිය පිළිබඳව වාර්තා කළ ද, බොහෝ ඊශ්‍රායල ජාතිකයන් විශ්වාස කරන්නේ ඊශ්‍රායල හමුදාව අනවශ්‍ය හානියක් සිදු නොකරන බවයි. කෙසේ වෙතත්, ඊශ්‍රායලයේ වෙසෙන අරාබි ජාතිකයින්ගෙන් බහුතරයක් (86%ක් පමණ) පලස්තීනුවන් මුහුණ දෙන දුක්ඛිත තත්ත්වය පිළිබඳව කනස්සල්ල පළ කරති.

ඊශ්‍රායලයේ විපක්ෂ නායකයා ඇතුළු එරට පුරවැසියන් ද මෙම තීරණයට විරෝධය පාමින් විරෝධතා දක්වා සිටි අතර මෙම තීරණය නිසා ඊශ්‍රායලයට තවත් බොහෝ ව්‍යසනයන්ට මුහුණ දීමට සිදු වනු ඇතැයි ඔවුහු චෝදනා කරති.
ඊශ්‍රායලයේ ප්‍රමුඛ පෙළේ මානව හිමිකම් සංවිධාන දෙකක් වන B'Tselem සහ Physicians for Human Rights-Israel (PHRI) විසින් සිදු කරන ලද වාර්තාවල දැක්වෙන්නේ ගාසා තීරයේ ඊශ්‍රායල ක්‍රියාමාර්ග "ජන සංහාරයක්" බවයි. මෙම වාර්තා මගින් ඊශ්‍රායල හමුදාව සිවිල් වැසියන් ඉලක්ක කර ගන්නා බව සහ සෞඛ්‍ය සේවා පද්ධතිය හිතාමතා විනාශ කරන බවට චෝදනා කරයි.
මේ අතර ගාසා තීරයේ වෙසෙන ජනතාවගේ මතය සම්බන්ධයෙන් සලකන කල්හි ඔවුන්ගේ අදහස් මෙසේ කැටිකොට දැක්විය හැක.
. ආරක්ෂාව පිළිබඳ බිය සහ අවිනිශ්චිතතාව
ගාසා වැසියන්ගේ ප්‍රධානත ම කනස්සල්ල වන්නේ ඔවුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල ජීවිතවල ආරක්ෂාවයි. ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් දහස් ගණනක් මියගොස් ඇති අතර ඔවුන්ට ස්ථිර රැකවරණයක් නොමැත.
. මානුෂීය අර්බුදය
ආහාර, ජලය, විදුලිය සහ වෛද්‍ය පහසුකම් නොමැතිකම හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතා අත්විඳිති. ඔවුන්ගේ දෛනික අරගලය වී ඇත්තේ ජීවත්වීම සඳහා අවශ්‍ය මූලික දේවල් සොයා ගැනීමයි.
. හමාස් සහ පලස්තීන අධිකාරිය පිළිබඳ අදහස්
ගාසා තීරයේ ජනතාව අතර හමාස් සංවිධානය කෙරෙහි මිශ්‍ර මතයක් පවතී. සමහර අය හමාස් සංවිධානය ඔවුන්ගේ ප්‍රතිරෝධයේ සංකේතයක් ලෙස දකින අතර තවත් පිරිසක් හමාස්හි ක්‍රියාකලාපය නිසා ඊශ්‍රායලයේ ප්‍රහාරයන්ට ගොදුරු වූ බවට විශ්වාස කරති.
බොහෝ දෙනෙක් පලස්තීන අධිකාරියේ (Palestinian Authority) පාලනය සහ එය ගැටුම කළමනාකරණය කරන ආකාරය ගැන ද අතෘප්තිය පළ කරනු දැක ගත හැක. බොහෝ ගාසා වැසියන් අපේක්ෂා කරන්නේ යුද්ධය අවසන් වී සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට හැකි වීමයි. ඔවුන්ට ස්ථිර නිවසක්, අධ්‍යාපනයක් සහ ආර්ථික ස්ථාවරත්වයක් අවශ්‍ය වේ. ඔවුන්ගේ දැඩි බලාපොරොත්තුව වන්නේ යුද්ධය අවසන් වී සාමකාමී අනාගතයක් උදා වීමයි.

ගාසා තීරයේ ගැටුම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මතය බෙහෙවින් සංකීර්ණ වන අතර එහිදී විවිධ රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන වෙනස් ස්ථාවරයන් දරයි. බොහෝ බටහිර රටවල්, විශේෂයෙන් ම එක්සත් ජනපදය, මුල දී ඊශ්‍රායලයට සහාය පළ කළේ එයට ස්වයං ආරක්ෂාව සඳහා ඇති අයිතිය මතය. කෙසේ වෙතත් ගාසා තීරයේ සිවිල් වැසියන්ගේ ජීවිතවලට සිදු වන විශාල හානිය සහ මානුෂීය අර්බුදය හේතුවෙන් දැන් එම මතය වෙනස් වී තිබේ. ඊශ්‍රායලයේ ප්‍රධාන මිත්‍ර පාක්ෂිකයන් වන එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය සහ කැනඩාව වැනි රටවල් පවා ඊශ්‍රායලයේ මිලිටරි මෙහෙයුම් හෙළා දකිමින් ඒ පිළිබඳව කනස්සල්ල පළ කර ඇත. ඔවුන් විසින් ඊශ්‍රායලයට යුද්ධය තවදුරටත් පුළුල් කිරීමේ තීරණය "ව්‍යසනකාරී මානුෂීය තත්ත්වය" තවත් නරක අතට හරවන බවට අනතුරු ඇඟවා ඇත. එමෙන් ම චීනය සහ රුසියාව වැනි රටවල් පලස්තීන ජනතාවට සහාය දැක්වීම සඳහා ස්ථාවරයන් ගෙන ඇත. ඔවුන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ දී පලස්තීන ජනතාවට පක්ෂව ක්‍රියා කළ අතර ඊශ්‍රායලයට එරෙහිව යෝජනා සම්මත කිරීමට ද උත්සාහ කර තිබිණි. ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන සහ සිවිල් සංවිධාන, ඊශ්‍රායල සහ හමාස් යන දෙපාර්ශවය ම ජාත්‍යන්තර නීති උල්ලංඝනය කර ඇති බවට චෝදනා කරන අතර ඔවුන් ඊශ්‍රායලයේ ක්‍රියා මාර්ග "ජන සංහාරයක්" විය හැකි බවට චෝදනා කරමින් ජාත්‍යන්තර අධිකරණයේ (International Court of Justice) නඩු පවරා ඇත.
සැකසුම - ප්‍රසිලා සඳරුවනි