/
/
title icon
රැකියා ලෝකයේ විස්මිත චාරිකාව - ඔබගේ සිහිනයටත් වඩා පුදුම සහගත වෘත්තීන්
රැකියා ලෝකයේ විස්මිත චාරිකාව - ඔබගේ සිහිනයටත් වඩා පුදුම සහගත වෘත්තීන්
Madumalika Wickramasinghe
19 hours ago
Share:
රැකියා ලෝකයේ විස්මිත චාරිකාව - ඔබගේ සිහිනයටත් වඩා පුදුම සහගත වෘත්තීන්

කුඩා කල අපෙන් බොහෝවිට අසන ප්‍රශ්නයක් වන්නේ ලොකු උනාම කවුරු වෙන්නද කැමති කියලා, නමුත් ඒවායේ පිළිතුරු බොහෝ විට සීමා වන්නේ සුපුරුදු වෘත්තීන් කිහිපයකට පමණි. මේ තේරීම් පිටුපස බොහෝ විට පවතින්නේ සමාජීය අපේක්ෂාවන්, දෙමව්පියන්ගේ සිහින සහ කුඩා දරුවන්ගේ සීමිත දැනුමයි.

නමුත් කාලයත් සමඟ අපේ ලෝකයේ පුළුල් වීමට පටන් ගන්නා අතරම, පාසල් යන වයසේදී අපේ උනන්දුව සහ හැකියාව ගැන අවබෝධයක් අපට ලබා ගැනීමට හැකියාවක් ලැබේ. ඒ අනුව කවුරු වෙන්නද කැමති යන ප්‍රශ්නයට එන පිළිතුරත් තව තවත් පුළුල් වීම ආරම්භ වේ. සමහරු කලාකරුවෙක්, ක්‍රීඩකයෙක්, පරිසරවේදියෙක් වීමටද සිහින දකී.

කෙසේ වෙතත්, ලෝකයේ බොහෝ දෙනෙක් සිදු කරනු ලබන්නේ තමන් කැමති රැකියාවකි. නමුත් සමහර අය තමන්ට ලැබුණු රැකියාවෙන් සෑහීමකට පත්වේ. තවත් සමහර පුද්ගලයින් අලුත් අත්දැකීමක් ලෙසට එම රැකියාව  භාරගෙන ජීවිතය ඉදිරියට ගෙන යයි.

නමුත් මේ අතරේ ලෝකයේ පවතින සමහර රැකියා ගැන ඔබ ඇසුවොත් ඔබට පුදුම සිතෙන්නටත් පුළුවන්. ඒවා ඇත්ත ද බොරුද යන්න සිතා ගන්නටත් බැරි තරම්ය. කෙසේ වෙතත් අපේ සිහින රැකියා ලැයිස්තුවේ නැති වුවත් මේවාත් ලෝකයේ මිනිසුන් කරන රැකියා ලෙස හඳුනා ගැනීමට හැකියාව ලැබේ.

ඉතින් අපි බලමු මේ පුදුම හිතෙන රැකියා මොනවද කියලා..

වෘත්තීය පෝලිම්කරුවන් - කාලය විකුණන අරුම පුදුම රැකියාව

ඔබ කවදා හෝ සිතුවාද පෝලිමක සිටීමත් රැකියාවක් ලෙස කළ හැකි බව? ඇත්තෙන්ම ලෝකය එවැනි රැකියාවක් තිබේ. ඔවුන්ගේ වෘත්තීය වන්නේ මුදලකට වෙනත් කෙනෙකු වෙනුවෙන් පෝලිමක රැඳී සිටීමයි. ආහාර පෝලිමක සිට පැය ගණන් ගතවන දීර්ඝ පෝලිමක් දක්වා ඕනෑම තැනක ඔවුනට සිටිමට හැකිය. ලංකාවේ රාජ්‍ය කාර්යාලවල හෝ රෝහල්වල පෝලිම්වල ගතවන කාලය ගැන සිතන විට මෙවැනි රැකියාවක් තිබුණා නම් එය හොඳ ආදායම් මාර්ගයක් වනු ඇති බවට සැකයක් නැහැ. ඇත්තෙන්ම කාර්ය බහුල නාගරික ජීවිතය තුළ කාලය යනු වටිනා සම්පතකි. එම නිසා ඇතැම් අය තමන්ගේ කාලය ඉතිරි කර ගැනීම සඳහා වෙනත් කෙනෙකුට මුදල් ගෙවීමට පසුබට වන්නේ නැහැ මේ තත්ත්වය තමයි වෘත්තිය පෝලිම් කරුවන් බිහිවීමට ප්‍රධාන හේතුව වන්නේ.මෙම වෘත්තියේ නිරත වන අය බොහෝ විට තමන්ගේ නිදහස් කාලය මුදල් බවට පත්කර ගනී. මෙම රැකියාවට විශේෂ අධ්‍යාපනයක් හෝ කුසලතා අවශ්‍ය වන්නේ නැත. අවශ්‍ය වන්නේ ඉවසීම සහ දීර්ඝ කාලයක් එකම ස්ථානයක සිට ගැනීමේ හැකියාව පමණි. ඇතැමුන් පැයකට ඩොලර් 20ත් 40ත් අතර මුදලක් අය කරන බවත් සඳහන් වෙයි. නවීන ලෝකය මෙම රැකියාව පුද්ගලික සේවාවක් ලෙස මෙන්ම ව්‍යාපාරික අවශ්‍යතා සඳහාද භාවිතා කෙරේ

මෙම රැකියාවට උදාහරණ පිළිබද කතා කරන විට අධික ඉල්ලුමක් ඇති භාණ්ඩ වන Apple, Zone වැනි ජාත්‍යන්තර සමාගම් නව නිෂ්පාදන වෙළඳපොලට නිකුත් කරන විට ඒවා මුලින්ම මිලදී ගැනීමට ලොව පුරා පෝලිම් ඇති වේ. මෙම පෝලිම්වල මුල් ස්ථාන ලබා ගැනීමට ව්‍යාපාරිකයන් හෝ සාමාන්‍ය පාරිභෝගිකයන්, වෘත්තීය පෝලිම්කරුවන්ව  කුලියට ගනී. එසේම ජනප්‍රිය සංගීත ප්‍රසංග, ක්‍රීඩා තරග හෝ විශේෂ දර්ශන සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කරන විට ඒවා ඉතා ඉක්මනින් අවසන් වන නිසා බොහෝ දෙනෙක් පෝළිමේ රැදී සිටීමට සිදු වන අවස්ථාවලදී වෘත්තීය පෝලිම්කරුවන්ගේ සේවය ලබා ගන්නේ තමන්ගේ ප්‍රියතම සිදුවීම මග නොහැර ගැනීමටයි. එසේම ලංකාවේ නොතිබුණත් ඇතැම් රටවල රාජ්‍ය ආයතනවලින් බලපත්‍රයක් ලබා ගැනීමට හෝ වෙනත් ලිපි ලේඛන කටයුත්තක් කර ගැනීමට දීර්ඝ පෝලිම්වල සිටීමට සිදුවේ. කාර්යබහුල ව්‍යාපාරිකයන් සහ වෙනත් පුද්ගලයින් තමන්ගේ වටිනා කාලය ඉතිරි කර ගැනීමට මෙම වෘත්තීයට යොමු වේ.කෙසේ වෙතත් මෙම රැකියාවට ශාරීරිකව වෙහෙසකර විය හැකි අතර ඇතැම් විට අනාරක්ෂිත තත්ත්වයන්ට ද මුහුණ දීමට සිදුවිය හැකිය. මෙම අමුතුම රැකියාව නවීන සමාජයේ කාලය සහ මුදල් අතර ඇති සබඳතාව ඉතා හොඳින් පෙන්නුම් කරයි. බොහෝ දෙනෙක් කාලය ඉතිරි කර ගැනීම සඳහා මුදල් ගෙවන්නට කැමති වන විට තවත් පිරිසක් මුදල් උපයා ගැනීම සඳහා තමන්ගේ කාලය විකුණනු ලබයි.

වෘත්තීය නිදාගන්නන් : සිහින දකිමින් මුදල් උපයන අමුතු රැකියාව

ලෝකයේ ඇති පහසුම සහ වාසනාවන්තම රැකියාව කුමක්දැයි කවුරුන් හෝ විමසුවහොත් බොහෝ දෙනෙකුට මතකයට එන පිළිතුර වෘත්තීය නිදාගන්නන් විය හැකියි. නමුත් මෙය ලෝකයේ සැබැවින්ම පවතින රැකියාවක් බව ඔබ දැනසිටියාද?

මෙම වෘත්තිකයන්ගේ ප්‍රධාන කාර්ය වන්නේ විද්‍යාඥයින් විසින් නින්ද හා සම්බන්ධ පර්යේෂණ සිදුකරන විට ඔවුන්ට අවශ්‍ය දත්ත ලබාදීම සඳහා නිදා ගැනීමයි. නින්ද නොයාමේ රෝග, නින්දේදී ඇතිවන ස්වසන අපහසුතා සහ වෙනත් නින්ද ආශ්‍රිත ආබාධ පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා මේ වෘත්තිකයන්ගේ දායකත්වය අත්‍යාවශ්‍ය වේ.ලංකාවේ සමහර රැකියා ස්ථානවලදීත් රැකියාවට වඩා නිදා ගැනීමට ප්‍රිය කරන අය අපට හමුවන නිසා මේ රැකියාවට සුදුසුකම් ඇති අය ලංකාවේත් නැතැයි කියන්නට කාටවත් බැහැ. ඒ ඇත්තෙන්ම සිහිනයක් සැබෑ වීමක් බඳුයි.මෙම රැකියාව ක්‍රියාත්මක වන ආකාරය සහ එහි වැදගත්කම ගත්විට සාමාන්‍යයෙන් වෘත්තීය නිදාගන්නන් පර්යේෂණාගාරයක හෝ නින්ද පිළිබඳ විශේෂඥ මධ්‍යස්ථානයක නින්දට යයි. ඔවුන්ගේ ශරීරයට සංවේදක සවිකර ඇති අතර නින්දේදී සිදුවන මොලයේ ක්‍රියාකාරීත්වය, හෘද ස්පන්දනය, හුස්ම ගැනීම සහ ශරීරයේ චලනයන් පිළිබඳ දත්ත ලබා ගනී. මේ දත්ත විද්‍යාඥයින්ට නින්ද ආශිත රෝග තේරුම් ගැනීමට සහ නව ප්‍රතිකාර ක්‍රම සොයා ගැනීමට උපකාරී වේ.

උදාහරණ වශයෙන් නාසා ආයතනය නින්ද පිළිබඳ පර්යේෂණවලදී අභ්‍යවකාශයට යන ගගනගාමීන්ගේ නින්දේ රටාවන් අධ්‍යයනය කිරීම සඳහා නාසා ආයතනය වෘත්තීය නිදා ගන්නන් භාවිතා කරයි. ගුරුත්වාකර්ෂණ බලය නොමැති පරිසරය නින්දට බලපාන ආකාරය සහ එහිදී ඇතිවන සෞඛ්‍ය ගැටලු අවබෝධ කර ගැනීම සඳහා ඔවුන්ට පැය 70ක් පමණ ඇඳක නිදා ගැනීමට සිදුවිය. මෙම පර්යේෂණයෙන් ගගනගාමීන්ගේ සෞඛ්‍ය තත්ත්වය සහ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කර ගැනීමට හැකි විය. සෞඛ්‍ය හා වෛද්‍ය ක්ෂේත්‍රය ගත්විට නින්ද නොයාමේ රෝග, නින්දේදී හුස්ම හිරවීම සහ වෙනත් රෝග සඳහා නිදර්ශක ලෙස වෘත්තීය නිදා ගන්නන් පර්යේෂණ වලට සහභාගී වේ. වෛද්‍ය උපකරණ සහ ඖෂධවල ක්‍රියාකාරිත්වය පරීක්ෂා කිරීමට ඔවුන්ගේ සහාය අත්‍යවශ්‍ය වේ.මෙම රැකියාව පහසු බවක් තිබුණත් ඇතැම් විට දීර්ඝ කාලයක් පර්යේෂණ සඳහා සහභාගී වීමට සිදුවීම අභියෝගයක් විය හැකි නමුත් සිහින දකිමින් මුදල් උපයන මේ අමුතුම රැකියාව ලෝකයේ පහසුම රැකියාවක් ලෙස බොහෝ දෙනාගේ සිත් දිනාගෙන තිබේ.

විවාහ උත්සවවල අමුත්තන්: මුදලට ආදරය බෙදෙන අමුතුම රැකියාව

විවාහ උත්සවයක් කියන්නේ දෙදෙනෙකුගේ ජීවිතයේ සුන්දරම අවස්ථාවක්. නමුත් මේ සතුටු සමරන්න ආරාධනා කරන අමුත්තන්ගේ ලැයිස්තුව සකසන විට ඒක ලොකු අභියෝගයක් බවට පත්වෙයි. විශේෂයෙන්ම ලංකාවේ තමන්ගේ අයවැය අනුව අමුත්තන් සීමා කරන්න යන සටනක් හැම මනා යුවළකටම පවතී. ඒත් ලෝකයේ සමහර තැන්වල විශේෂයෙන්ම ජපානයේ මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. එහි සමහරක් විවාහ වන යුවළවල් මුදල් ගෙවා වෘත්තීය මට්ටමේ අමුත්තන් ඔවුන්ගේ උත්සවයට ගෙන්වා ගනී. මෙය වෘත්තීයෙන් මුදල් විතරක් නොව රසවත් කෑම බීමත් ලැබෙන නිසා මේ වාසිදායක රැකියාවක් ලෙස සැලකේ.වෘත්තීය අමුත්තන්ගේ ප්‍රධාන කාර්‍යය  වන්නේ විවාහ උත්සවයට පැමිණ සාමාන්‍ය මිතුරෙකු හෝ ඥාතියකු ලෙස හැසිරීමයි. ඔවුන් මනාල යුවළ සමග සතුටු වන බව පෙන්වමින් ඡායාරූප වලට පෙනී සිටීම, සුභපැතුම් පිරිනැමීම සහ උත්සවයේ වාතාවරණය තවදුරටත් උද්යෝගිමත් කිරීම සිදු කරයි. සමහර විට ඔවුන්ට ප්‍රසංගයක් ඉදිරිපත් කිරීමට හෝ විනෝද කතාවක් කිරීමට පවා සිදුවිය හැකියි. මෙම රැකියාව බිහිවූයේ ඇයි දැයි සොයා බලන විට ජපන් සංස්කෘතිය තුළ විවාහ උත්සවයකට විශාල පිරිසක් පැමිණීම සමාජ තත්ත්වයේ සලකුණක් ලෙස සලකයි. ඒ නිසා මිතුරු මිතුරියන් හෝ ඥාතීන් අඩු යුවළවල් මේ සේවාව ලබා ගන්නේ සමාජයෙන් එල්ල වන දැඩි පීඩනයෙන් මිදීමටය. එසේම අමුත්තන්ගේ අඩු පිරිසක් සිටින උත්සවයක් අඳුරු සහ අසම්පූර්ණ බවක් පෙන්විය හැකියි. එනිසා අමුත්තන්ගේ ගණන වැඩිකර උත්සවයට සජීවී බවක් එක් කිරීමට මෙම සේවාව භාවිතා කරනුු ලබයි. ඇතැම් විට යුවළකට ඔවුන්ගේ මිතුරන්ව හෝ පවුලේ අයව නිල වශයෙන් ආරාධනා කිරීමට නොහැකි වන අවස්ථාද ඇතිවිය හැකියි. එවැනි අවස්ථාවලදී ද මෙම වෘත්තිකයන්ගේ සේවය ඔවුන් විසින් ලබා ගනී.

 

උදාහරණයක් වශයෙන් ජපානයේ බොහෝ විවාහ මංගල්‍ය සැලසුම් කරන්නන් මෙම සේවාව  ලබා දේ. යුවළට අවශ්‍ය අමුත්තන්ගේ සංඛ්‍යාව සහ ඔවුන්ගේ වයස් කාණ්ඩ පවා තෝරා ගැනීමට හැකිවේ. ඒ අනුව යුවළට මනාලයාගේ පාර්ශවයෙන් මිතුරන් දහයක් අවශ්‍ය නම් ඒ සඳහා මුදල් ගෙවා වෘත්තීය අමුත්තන් කුලියට ගත හැකියි. එසේම මෙම රැකියාව විවාහ උත්සවවලට පමණක් සීමා වී නැහැ. ආයතනික උත්සව උපන්දින සාද හෝ වෙනත් විශේෂ සිදුවීම් සඳහා පවා වෘත්තීය අමුත්තන් කුලියට ගන්නා අවස්ථා තිබේ. ලංකාවේ නම් මේ වගේ රැකියාවක් පටන් ගැනීම ඉතාමත් අමාරු විය හැකියි. ඒ ලංකාවේ නැකත් අනුව සීමිත දිනවල පමණක් මංගල උත්සව පවත්වන නිසායි. රැකියා අවස්ථා සීමා වීමට ඉඩ ඇත්තේ එබැවිනි. කෙසේ වෙතත් ලෝකයේ මිනිසුන් මුහුණ දෙන අමුතුම අවශ්‍යතා වෙනුවෙන් අමුතුම රැකියා බිහිවන ආකාරය මෙයින් මනාව පැහැදිලි වේ.

සුවඳ විලවුන් අත්හදා බලන්නන්: සුවඳෙන් මුදල් උපයන අමුතුම රැකියාව

ලෝකයේ අරුම පුදුම රැකියා ගැන කතා කරන විට සුවඳ විලවුන් අත්හදා බලන්නන් පිළිබඳව බොහෝ දෙනාට පුදුම සහගත විය හැකියි. මෙම රැකියාව සියලුම දෙනාට ගැලපෙන්නේ නැත. ඒත් මේ වෘත්තිකයන් හොඳ වැටුපක් ලබා ගනී. මේ අයගේ ප්‍රධාන කාර්‍යය වන්නේ විවිධ නිෂ්පාදනවල ගුණාත්මකභාවය පරීක්‍ෂා කිරීමයි. ඒ සඳහා ඔවුන් සුවඳ විලවුන්, ඩියුඩ්‍රන්ට් සහ වෙනත් රසායනික ද්‍රව්‍යවල සුවඳ පරීක්ෂා කරන නමුත් මෙය සාමාන්‍ය පරීක්ෂණයක් නොවේ. ඔවුන් ඒ සඳහා ස්වභාවික සහ එදිනෙදා ජීවිතයේදී ඇතිවන තත්ත්වයන් යටතේ පරීක්‍ෂණ සිදු කරනු ලබයි. මෙම රැකියාව තෝරාගන්නා අයගේ ප්‍රධාන කාර්‍යය  වන්නේ යම් නිෂ්පාදනයක් භාවිතා කරන විට දහඩිය සමග මිශ්‍රවීමෙන් ඇතිවන සුවඳ හෝ දුර ගන්ධය පරීක්ෂා කිරීමයි. ඒ සඳහා ඔවුන්ට එක් එක් පුද්ගලයන්ගේ දහඩිය සුවඳ පරීක්ෂා කිරීමට සිදුවන අවස්ථා තිබිය හැකියි. එය එතරම් ප්‍රියමනාප දෙයක් නොවුනද මෙම වෘත්තිය සතුටින් කරන මිනිසුන් පවා ලෝකයේ සිටි. ඔවුන් විශ්වාස කරන්නේ තමන් සමාජයට වැදගත් සේවයක් කරන බවයි. උදාහරණ වශයෙන් නව ඩියුඩ්‍රන්ට් වර්ගයක් වෙළඳපළට නිකුත් කිරීමට පෙර සඵලතාවය පරීක්ෂා කිරීම සඳහා එය භාවිතා කරන පුද්ගලයන්ගේ කිහිලි වල සුවඳ පැය කිහිපයකට පරීක්ෂා කරයි. මෙය සුවඳ කෙතරම් කාලයක් පවතින්නේද සහ දහඩිය සමග මිශ්‍ර වූ විට ඇතිවන ප්‍රතික්‍රියාව කුමක්දැයි සොයා බැලීමට සහ නව සුවඳ විලවුන් වර්ගයක් නිපදවූ විට එහි සුවඳ විවිධ පරිසර තත්ත්වයන් යටතේ වෙනස් වන්නේ කෙසේදැයි පරීක්ෂා කිරීමට ඒවා භාවිතා කළ පුද්ගලයන්ගේ ශරීරයේ සුවඳ පරීක්ෂා කිරීමට සිදුවේ. ඒ අනුව උණුසුම් කාලගුණයකදී හෝ ව්‍යායාම් කරන විට සුවඳ විලවුන් වෙනස් වන්නේ කෙසේදැයි සොයා බැලීම උදාහරණයක් වශයෙන් පෙන්වා දියහැකියි.

 

 

මෙම රැකියාව සිදුකිරීමට අවශ්‍ය ප්‍රධානතම සුදුසුකම් වන්නේ ඉතාමත් සංවේදී වූ ආඝ්‍රාණ ඉන්ද්‍රියකි .එනම් විවිධ වර්ගයේ සුවදවල් සියුම්ව හඳුනා ගැනීමේ හැකියාවයි. තවද රසායනික සුවඳ සහ ස්වභාවික සුවඳ අතර වෙනස හඳුනා ගැනීමටත්,  නිරීක්ෂණ හොඳින් සටහන් කර ගැනීමටත් හැකියාව තිබිය යුතුයි.

මෙය සාමාන්‍ය රැකියාවක් නොවුනත් සුවඳ විලවුන් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිෂ්පාදනවල ගුණාත්මකභාවය පවත්වා ගැනීමට මෙම වෘත්තිකයන්ගේ දායකත්වය අත්‍යවශ්‍ය වේ. ඔවුන් අපේ එදිනෙදා ජීවිතය සුවඳවත් කිරීමට නිහඬවම දායකවන වීරයන් යැයි කිව හැකියි.

වෘත්තීය සුරතල් කරන්නන්: ආදරය මුදලට දෙන අමුතුම රැකියාව

විශාල නගරවල මිනිසුන් තනිව ජීවත් වන විට ඔවුන්ට දැනෙන පාළුව සහ තනිකම විශාල ගැටලුවකි ගැටලුවකි. විශේෂයෙන්ම ජපානය වැනි රටවල වේගවත් ජීවන රටාවත් සමඟ පුද්ගලයින්ට පෞද්ගලික සම්බන්ධතා පවත්වා ගැනීමට ඇති අවස්ථා අඩුය. මෙවැනි තත්ත්වයක් තුළ වෘත්තීය සුරතල් කරන්නන් නමින් අමුතුම රැකියාවක් බිහිවී තිබේ.

ඔබ ඇතැම් විට මෙය සාමාන්‍ය රැකියාවක් යැයි සිතිය හැකිය. නමුත් මේ වෘත්තියෙන් සිදුවන්නේ කිසිදු ලිංගික සම්බන්ධතාවයකින් තොරව මිනිසුන්ගේ තනිකම සහ පාලුව මකා දැමීමයි. සේවාදායකයෙකුට තම පෙම්වතා හෝ පෙම්වතිය අහිමි වූ විටෙක හෝ යම් මානසික පීඩනයකින් පෙළෙන විට ඔවුන්ට සහනයක් ලබා දීම සඳහා වෘත්තීය සුරතල් කරන්නෙකුගේ සේවය ලබාගත හැකියි.

මෙම රැකියාවේ ස්වභාවය ගත් කල වෘත්තීය සුරතල් කරන්නෙකු තම සේවා දායකයාට මානසික සැනසීමක් ලබාදීම සිදුකරයි. ඔවුන් සේවාදායකයාගේ තනිකම මකා දැමීම සඳහා ඔවුන් ළඟ හිඳගෙන කතා කර කර සිට හිස අතගායි, වැළඳ ගනියි සහ අවශ්‍ය නම් ඔවුන්ව නිදි කරවයි. මේ සියල්ල සිදුවන්නේ සුරක්ෂිත ලිංගිකත්වයකින් තොර පරිසරයකය. මෙම සේවාව බොහෝවිට පවතින්නේ නීත්‍යානුකූල සහ විශ්වාසනීය ආයතන යටතේය.

උදාහරණ වශයෙන් කාර්යබහුල ජීවිතය නිසා මිනිසුන් මානසික ආතතියෙන් පෙළෙන විට මිනිස් ස්පර්ශය සහ සෙනෙහස ඔවුන්ට විශාල සහනයක් ලබා ලබාදේ. වෘත්තීය සුරතල් කරන්නන් ඒ අවශ්‍යතාවය සපුරාලීමට උපකාරී වේ.

එසේම නූතන සමාජයේ විශේෂයෙන්ම වසංගත තත්ත්ව වැනි අවස්ථාවලදී මිනිසුන් එකිනෙකාගෙන් දුරස් වන විට තනිකම දැනේ. එවැනි අවස්ථාවලදී මෙම වෘත්තිකයන්ගේ සේවය ඉතාමත් වැදගත් වේ.

මෙම රැකියාවෙන් ලැබෙන ආදායම පැයකට ඩොලර් 60 සිට 80 දක්වා විය හැකියි. නමුත් මෙයට විශාල බුද්ධියක්, හොඳ ඉවසීමක් සහ මානසික ශක්තියක් අවශ්‍යවේ. මන්දයත් වෙනත් පුද්ගලයෙකුගේ චිත්තවේගී ගැටලු සමග කටයුතු කිරීමට සිදුවන  බැවිනි. මේ අමුතුම රැකියාව නවීන සමාජයේ මිනිසුන් මුහුණ දෙන මානසික ගැටලු සඳහා ලබා දුන් අමුතුම විසඳුමක් ලෙස දැක්විය හැකියි.

අප සමාන්‍යයැයි සලකන ජීවන රටාවෙන් ඔබ්බට ගොස් මේ අරුම පුදුම රැකියා කරන මිනිසුන් අපට කියා දෙන්නේ ජීවිතයේ බොහෝ අවස්ථාවලදී අපේ සීමාවන් ඇත්තේ අපේ සිතේ පමණක් බවයි බවයි. වෘත්තීය නිදාගන්නෙකු හෝ සුරතල් කරන්නෙකු වීම සමහරවිට ඔබට පිස්සු යැයි හැඟුනත් එය ඔවුන්ගේ ලෝකයේ සාමාන්‍ය දෙයකි.

ඔවුන් සියලු දෙනාම වෙනස් ආකාරයකින් මුදල් උපයනවා පමණක් නොව ජීවිතයේ අනපේක්ෂිත අවස්ථා තුළ සැඟවී ඇති අවස්ථා අපට පෙන්වා දෙයි. එබැවින් ඔබ මීළඟ වතාවේදී රැකියාවක් ගැන සිතන විට ඔබට අවශ්‍ය වන්නේ සාම්ප්‍රදායික රැකියාවක්ද නැතහොත් අමුතු රැකියාවක් කරමින් සතුටින් ජීවත් වන අසාමාන්‍ය පුද්ගලයෙක් වීමටද යන ප්‍රශ්නය ඔබගෙන්ම අසා ගන්න.

මදුමාලිකා වික්‍රමසිංහ

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required