
කලාව කියන්නේ කුඩා දරුවාගේ ඉඳන් වැඩිහිටි පුද්ගලයා දක්වා දැඩි ඇල්මක් දක්වන, ආදරයක් දක්වන ක්ෂේත්‍රයක්. ඕනෑම පුද්ගලයෙක් ඇතුලේ කලාකරුවෙක් ජීවත් වෙනවා. මේ කලාවට පුළුවන් ඕනෑම කෙනෙක්ව සුවපත් කරන්න, නිවන්න. කලාව කියන්නේ සංගීතය, නර්තනය, රංගනය විතරක් නෙමෙයි. ඉන් ඔබ්බට ගියපු මහා සාගරයක් තරම් දේවල් කලාවට අයත්වෙනවා. මේ කලාවේම තවත් අංගයක් තමයි පිටපත් රචනය, ලේඛනය කියලා කියන්නේ. මනුස්සයෙකුගේ හදවත සොරාගන්න පුළුවන් හරි අපූරු මායාවක් මේ ලිවීම තුළ තිබෙනවා. පුද්ගලයෙක් ලබන සුන්දර, ආදරණීය අත්දැකීම්, ප්‍රේමණීය හැඟීම් වගේම පුද්ගලයෙක් ලබන කටුක, දුෂ්කර වේදනාවන්, විරහා වේදනාවන් පවා වචනයකට හරවලා හරි ලස්සන කතාංගයක් නිර්මාණය කරන්න දක්ෂ ලේඛකයෙකුට පුළුවන්. ඉතින් අද මේ විදිහට ලේඛනය, කලාව පිළිබඳ විස්තර කරමින් සාකච්ඡාව ආරම්භ කරන්න සිතුනේ අද අපේ සාකච්ඡාවට සම්බන්ධ වී සිටින සුවිශේෂී කලාකරුවෙක් නිසා. මොහු නමින් අජිත් මෙන්ඩිස්. හෙළ කලා ලොව තුළ පිටපත් රචනය තුළින්, ලේඛනය තුළින් ඔබ අප සිත් හරි අපූරුවට ස්පර්ශ කරන්න පුළුවන් අනර්ඝ නිර්මාණ රැසක් එතුමා සතුයි. ඉතින් ආයුබෝවන් කියලා ඔබතුමාව පිළිගනු ලබනවා අපගේ සාකච්ඡාවට.
- ඔබතුමාගෙන් අප මුලින්ම දැනගන්න කැමතියි ඔබතුමාගේ ළමා කාලය සහ පවුල් පසුබිම පිළිබඳව.
මගේ නම අජිත් මෙන්ඩිස්. මගේ කුඩා අවධිය ගැන කිව්වොත් මගේ පවුලේ හිටියේ මගේ අම්මා, තාත්තා, අයියා, නංගි සහ මම. මගේ අම්මා ගුරුවරියක්. තාත්තා වරායෙ තමයි වැඩ කලේ. මගේ අයියා ගැන කිව්වොත් ශ්‍රියන්ත මෙන්ඩිස් කියන්නේ මගේ අයියා. නංගි මැණික් මෙන්ඩිස්. අපි ජීවත් වුණේ රාගම. ඉතින් මම කුඩා කාලේ ඉඳන්ම ගොඩක් නිහඩ චරිතයක්. ළමා කාලය ගැන කියද්දි අපේ සීයා ගැනත් මතක් කරන්න ඕනේ. සීයා එක්ක අපි හරිම එකතුයි. පොඩි කාලේ අපි ඉතින් හරිම ආසයි සීයගෙ කතන්දර එහෙම අහන්න. ඒ වගේම තමයි අපි පුංචි කාලේ අපිට තිබුණු ළඟම මාධ්‍ය තමයි ගුවන් විදුලිය කියලා කියන්නේ. ඊළඟට කලාතුරකින් හම්බෙන දෙයක් තමයි චිත්‍රපටයක් බලන්න යන එක. 'රෑනගිරව්', 'සූරචෞරයා' වගේ මුල් යුගයේ චිත්‍රපට අපි බලලා තියෙනවා. මට මතකයි මම මුලින්ම බලපු චිත්‍රපටය තමයි 'කල කල දේ පල පල දේ' කියන චිත්‍රපටය. මේ චිත්‍රපටය බැලුවේ මම එක වසරේ ඉන්නකොට. මේ කාලෙදි ඇත්තටම අපි කලාවට එනවා කියලා අදහසක් අපි තුළ තිබුනේ නැහැ. අර මං කලින් කියපු සීයගෙ කතන්දර හරහා තමයි කතාවක තිබෙන සෞන්දර්යාත්මක රසවින්දනය සහ පරිකල්පනය පිළිබඳ මුලින්ම යම් දෙයක්, යම් දැනුමක් ලබාගත්තේ. අර කලින් කිව්වා වගේ ගුවන්විදුලිය තමයි ඒ කාලේ අපිට ළඟින්ම තිබුණු මාධ්‍ය. ඉතින් පුංචි කාලේ ගුවන්විදුලියේ යන වැඩසටහන් එහෙමත් රසවිඳින්න අපි ඉතාමත් කැමතියි. ඒ කාලේ ගුවන්විදුලිය තුළ විකාශනය වුණා ගුවන්විදුලි අඩපැය කියලා කෙටි නාට්‍ය සංග්‍රහයක්. ඒ වගේම මුවන්පැලැස්ස, මොණරතැන්න වගේ ගුවන්විදුලි නාට්‍ය එහෙමත් විකාශනය වුණා. ඉතින් ඒවා ඉතාමත් ආසාවෙන් තමයි අපි රසවින්දනය කළේ. කතන්දර තමයි ඒ කාලේ ළමයි විදිහට අපිට තිබුණු හොඳම දේ. අපේ ගෙදරට ළමයි එනවා ඉතින් සීයගේ කතන්දර එහෙම අහන්න. මම තමයි සීයගෙ හොඳම ගෝලයා. ඉතින් හරි ලස්සන කාලයක් ඒ කාලේ. ඔය විදිහට තමයි අපේ ළමා කාලය ගතවුණේ.

2. ඔබතුමාගේ අධ්‍යාපන කටයුතු පිළිබඳවත් අපි දැනගන්න කැමතියි.
ඔව් මම උසස් පෙළ වෙනකන්ම ඉගෙනගත්තේ කඳානේ ද මැසනඩ් විද්‍යාලයේයි. මම උසස් පෙළ හැදෑරුවේ විද්‍යා අංශයෙන්. නමුත් මට සරසවියට ප්‍රවිෂ්ට වීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් 1977 කියන්නේ දේශපාලනයේ ලොකු කඩඉමක් පසුකරපු කාලයක්. ඒ කාලේ ලොකු විරෝධතා අරගල එහෙම ගියපු කාලයක්. ඒ කාලේ ජෝෂප් මයිකල් පෙරේරා තමයි ජා-ඇල නගර සභා මන්ත්‍රී විදිහට හිටියේ. ඉතින් ඒ කාලෙ එයාගේ ලේකම් කෙනෙක් විදිහට මට වැඩකටයුතු සිදු කරන්න අවස්ථාවක් ලැබෙනවා. ඇත්තටම ඒක රැකියාවක් විදිහට නෙමේ ගරු සේවයක් විදිහට තමයි මම ඒ කර්තව්‍ය සිදු කළේ. ඒවා එතරම් සාර්ථක දේවල් වුණේ නැහැ. අනතුරුව මම එතනින් ඉවත්වෙලා රජයේ මුද්‍රණාලයට ගියා. ඒ වෙද්දි මට රැකියා අවස්ථා දෙකක් ලැබුණා. එකක් මුද්‍රණාලයේ වැඩ කටයුතු. අනික තමයි ලංකා බැංකුවේ වැඩකරන්න ලැබුණු අවස්ථාව. නමුත් මම පොතපතට ඉතාමත් කැමැත්තක් දක්වන කෙනෙක් නිසා මම රාජ්‍ය මුද්‍රණාලයේ වැඩ කටයුතු කරන්න පෙලඹුණා. නමුත් ලිවීම වගේ දෙයක් අපි කරද්දී ඒ සම්බන්ධව විධිමත් දැනුමක් අවශ්‍ය නිසා මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට සම්බන්ධවෙලා ජන සන්නිවේදනය සහ ලේඛකත්වය සම්බන්ධව ඩිප්ලෝමා එකක් හදාරනවා. ඉතින් ඒක ඉතාමත් සාර්ථකව නිම කරනවා. ඊට අමතරව මම රජයේ මුද්‍රණ පාසලට සම්බන්ධ වෙනවා. ඒකෙන් මුද්‍රණ කටයුතු පිළිබඳ ඩිප්ලෝමා එකක් ගත්තා. ඉතින් ඔය ටික තමයි අධ්‍යාපනය පැත්තෙන් තියෙන්නේ.

3. ඔබතුමා කලාවට සම්බන්ධ වෙන්නේ කොහොම ද?
පාසලේ අටවන ශ්‍රේණියට එද්දී මට හිතෙනවා කිතුණු පූජකතුමෙකු කෙනෙක් වෙන්න. ඊට පස්සේ මම එහෙම කණ්ඩායමකට බැඳුනා. කතෝලික ආගම තුළ තිබෙනවා විවිධ නිකායන් කිහිපයක්. මෙහිදී මම තෝරගත්තේ ජේසු නිකාය. කිතු දහම තුළ තිබෙන මේ නිකායන් හරහා විවිධ කාර්යයන් සිදුවෙනවා. ජේසු නිකාය හරහා සිදුකළේ රිසර්ච්. මේවා සිදු කරන්න තියෙන කැමැත්ත නිසාම මම මෙම නිකාය තෝරා ගත්තා. මෙයට සම්බන්ධ වුණාට ඒ කාලේ මේ සම්බන්ධව සෙමනේරියක් ලංකාව තුළ තිබුණෙ නැහැ. සෙමනේරියක් තිබුණේ ඉන්දියාවේ පූණේවල. ලංකාවෙන් තමයි පුණේ වලට අපිව යවන්නේ. හැබැයි එහෙම යවන්නේ අවුරුදු කිහිපයක් ඊට අදාළ වැඩකටයුතු සමග අදාළ තැන්වල පුහුණුවීම් කටයුතු සිදුකරහම. මම එම පුහුණුවීම් එක්ක අවුරුදු තුනක් පමණ සිටියා. පසුව මං එතනින් අයින් වුණා. ඉතින් ඔහොම ඉන්න කාලේ එකපාරක් මම ගියා මේ ත්‍රිකුණාමලයේ තිබෙන සාන්ත ජෝෂප් කියන සෙමනේරියට. ඉතින් එහේ හිටපු සතියක් විතර කාලයේ දී අපිව කණ්ඩායම් හතරකට වෙන් කරලා අපට ක්‍රියාකාරකමක් විදිහට නාට්‍යයක් කරන්න අවස්ථාවක් ලැබිල තිබුණා. ඉතින් මම නාට්‍යයක් ලිව්වා. ඒක තමයි මගේ පළවෙනි නාට්‍ය අත්දැකීම. තවත් හතර දෙනෙක් ඊට සම්බන්ධ කර ගත්තා. ඒ 1973, 1974 කාලෙදි. ඉතින් ඒක ලොකු ආරම්භයක් නෙමෙයි මගේ කලා ජීවිතයේ. පසුව නෙවිල් ඩයස් සුභසිංහ කියන අපේ ගමේ නාට්‍යකරුවා ලංකාවේ පළවෙනි තරුණ සේවා සභා නාට්‍ය උත්සවයට 'වාරුවෙන් යන මිනිස්සු' කියලා නාට්‍යයක් කළා. ඒක තමයි ඒ නාට්‍ය උත්සවයේ හොඳ ම වේදිකා නාට්‍ය විදිහට තේරුනේ. ජැක්සන් ඇන්තනී එහෙම ඒකේ රංගනයෙන් දායක වුණා. ඒ කාලේ ජැක්සන් ප්‍රසිද්ධ වේදිකාවට එන්නේ 'වාරුවෙන් යන මිනිස්සු' හරහා කියලයි මගේ මතකය.
මේ කාලේ වෙද්දි අපි මෙම පෙරළියට එකතු වෙලා නෑ. ඒ කාලේ තිබුණා කෙටි නාට්‍ය ප්‍රබෝධයක්. ඒ අසූව දශකයේ අග කාර්තුවේදී. ඉතින් මෙම කෙටි නාට්‍ය ප්‍රබෝධය ගැන කියනවනම් එදා ඒ හිටපු නාට්‍යකරුවන් බොහොමයක් අද වෙද්දි යුගපුරුෂයන් බවට පත්වී තිබෙනවා. මේ කාලේ මොරටුව, හොරණ, මීගමුව, මෝදර, කුරුණෑගල වැනි ප්‍රදේශවලින් නාට්‍ය කණ්ඩායම් බිහිවුණා. ඉතින් මේ උනන්දුව නිසා අපිත් නාට්‍ය කණ්ඩායමක් හදාගත්තා. අපේ කණ්ඩායමේ නායකත්වය ගත්තේ ජී.එල් චන්ද්‍රපාල කියලා භෞත චිකිත්සකවරයෙක්. ඔහුට හොඳට ලියන්න පුළුවන් හැකියාවක් තිබුණා. ඉතින් අපේ නාට්‍ය කණ්ඩායම තුළ මම රංගනයෙන් දායක වුණේ නැහැ. එකම එක අවස්ථාවක මම රඟපෑවා. ඒකත් මෙතනදි කියන්න ඕනේ. මේ කාලේ වෙනකොට සේනක පෙරේරා කියලා කැලණි විශ්වවිද්‍යාල සිසුවෙක් අපේ ගෙදර නතරවෙලා හිටියා. සේනක අයියා අපිට කිව්වා "මල්ලි අපි නාට්‍යයක් කරමු" කියලා. ඉතින් ඔහු ඔහුගේ ගුරුවරයෙකුගෙන් ඒ සඳහා ඉල්ලගන්නවා නාට්‍ය පිටපතක්. ඉල්ලිස ජාතකය මුල් කොට ගෙන තමයි මෙම නාට්‍ය නිර්මාණය වෙන්නේ. ඉතිං අපි ගමේ පාසල තුළ මෙම නාට්‍ය ඉදිරිපත් කිරීම සිදුකරනවා. අන්න ඒ නාට්‍ය තුළ තමයි මම පුංචි චරිතයක් රඟපාන්නේ. ඉතින් ඒක මම රඟපෑව පළවෙනි සහ අන්තිම නාට්‍ය. ඇත්තටම මෙම ඉල්ලිස ජාතකය ඇසුරෙන් මෙම නාට්‍යය ලියල තිබ්බ මම කලින් කිව්ව ගුරුවරයා තමයි කේ.බී හේරත්. ඔහු පසුකාලීනව මහා නාට්‍යකරුවෙක් බවට පත්වුණා.
ඉතින් ඔය විදිහට යනකොට මමත් නාට්‍ය ලියන්න තීරණය කළා. මම ලියපු පළවෙනි කෙටි නාට්‍ය තමයි 'දඹරන්' කියන නාට්‍ය. ඉතින් තව දෙයක් කියන්න ඕනේ මේ වෙද්දි ජැක්සන්ලගේ නාට්‍ය කණ්ඩායමක් තිබුණා. ඉතින් එයාලගේ නාට්‍ය කණ්ඩායමයි, අපේ නාට්‍ය කණ්ඩායමයි දෙකක්. ඉතිං ඒ කාලෙදි අපි කණ්ඩායම් දෙක අතර හිතවත්කමක් තිබුණෙ නැහැ. ඒ වගේම මගේ අර මං කලින් කියපු නාට්‍යයේ රඟපානවා ජයන්ත චන්ද්‍රසිරි කියලා කෙනෙක්. පසුකාලීනව ඔහු මහා නාට්‍යකරුවෙක් බවට පත්වෙනවා. ඔහුට මගේ නාට්‍යය හරහා හොඳම නළුවා, හොඳම සහාය නළුවා සම්මාන දෙකම ලබාගන්න පුළුවන් වෙනවා ඒ කාලෙදි. ඔහුගේ ජීවිතයේ ඔහු ලබාගත්තු පළමු සම්මාන දෙකම මගේ නාට්‍ය තුළින් වීම පිළිබඳ ලොකු සතුටක් තියෙනවා. ඊළඟට මගේ දෙවැනි නාට්‍ය තමයි 'අහස් ගව්වෙන් වැටුණු එකෙක්' යන නාට්‍යය. මෙම නාට්‍යට 1980 වසරේදී නවමං සොයන්නෝ දීප ව්‍යාප්ත කෙටි නාට්‍ය සම්මාන උළෙලේ හොඳම නිෂ්පාදනය, හොඳම රචනය ඇතුළු සම්මාන හයක් ලබාගන්න පුලුවන් වෙනවා. ඒ නාට්‍ය තුළිනුත් හොඳම නළුවා සම්මානය හිමිවෙන්නේ ජයන්තටමයි.

ඉතින් මේ දේවල් එක්ක මට යමක් කරගෙන යන්න පුළුවන් කියන කන්ෆිඩන්ස් එක එනවා. මේ වෙද්දි මට වයස අවුරුදු 19ක් වගේ වෙන්නේ. ඉතින් ඔහොම නාට්‍ය කරන් යද්දී ගම්පහ ෆෙස්ටිවල් එකක් පැවැත්වූවා. ගම්පහ දිසාපති කාර්යාලයෙන් තමයි ඒක සංවිධානය කළේ. ඉතින් ඒක ලොකු නාට්‍ය උළෙලක්. ඉතින් මෙහි මගේ නාට්‍යයක් තිබුණා 'දේශසීමා' කියලා. ජැක්සන් ගේ නාට්‍යයක් තිබුණා 'ලෝදිය' කියලා. කරුණාදාස සූරියාරච්චිගේ නාට්‍යක් ද ඇතුළුව මෙම නාට්‍ය තුන තමයි අවසන් වටයට තේරුණේ. ඉතින් මේ උත්සවය තිබුණේ ගම්පහ බණ්ඩාරණායක හෝල් එකේ. එදා මොකක් හරි හේතුවක් නිසා අපේ බෙර වාදනය කරන කෙනාට එන්න බැරි වෙනවා. ඒ වගේම ජැක්සන්ලගේ කණ්ඩායමේ මේකප් ආටිස්ටත් එන්න බැරි වෙලා තිබුණා. ඉතින් ඔන්න ඔතනදි අපි දෙගොල්ලෝ කතාබහ කරලා අපේ අඩුපාඩු ටික පියවගත්තා. ඔතනදි තමයි අපි දෙගොල්ලෝ හොඳ ගජ මිතුරන් බවට පත්වෙන්නේ. ඒ වගේම මෙහිදී මගේ මේ 'දේශසීමා' කියන නාට්‍යට, 1980 ගම්පහ දිස්ත්‍රික් රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳ ම නිෂ්පාදනය දෙවන ස්ථානය, හොඳ ම රචනය දෙවන ස්ථානය ඇතුළු සම්මාන හතරක් ලබාගන්න පුලුවන් වෙනවා.
මම පාස්කු උත්සවයට නාට්‍යයක් සිදුකළා ජුදාස්ගේ රාත්‍රිය කියලා. ඉතින් මේකේ අපේ අයියා, ජැක්සන්, ජයන්ත, සේනක ඔය ඔක්කොම රඟපානවා. ඉතින් අපි කෙටි නාට්‍ය කරලා සම්මාන ගොඩක් අරන් තියෙනවා. ඔය විදිහට තමයි ඉතින් මේ කලා ගමන ආවේ. තව දෙයක් මෙතනදි මතක් කරන්න ඕනේ. මම 1983 දී ජාතික තරුණ සේවා සභා නාට්‍ය උළෙලට නාට්‍යයක් කරනවා 'දෙයියන්ගේ පුංචි අක්කරේ' කියලා. ඒකෙදි ඇත්තටම දෛවෝපගත සිදුවීමක් වෙනවා. මෙතනදි අපේ නාට්‍ය සඳහා නිළියක් හිටියේ නැහැ. ඉතින් ඊට ඉස්සෙල්ලා අවුරුද්දේ හොඳම නිළිය සම්මානයට පාත්‍ර වෙනවා කුසුම්රේණු. ඉතින් මම ඇයව ගන්නවා මගේ නාට්‍යයේ රඟපාන්න. ඊට පස්සේ ඇය අපේ පවුලේ සාමාජිකාවක් බවට පත්වුණා. ඉතින් 1983 රාජ්‍ය යෞවන සම්මාන උළෙලේ දී හොඳ ම නිෂ්පාදනය ඇතුළු සම්මාන පහක් මෙම නාට්‍යයට හම්බවුණා. ඒහිදී මගේ නංගිට හොඳම කොස්ටියුම් නිර්මාණයට හිමි සම්මානය ලබාගන්න හැකිවෙනවා. මම, අයිය, නංගි අපි තුන්දෙනා ම මෙම නාට්‍යය තුළින් සම්මාන හිමිකර ගනු ලබනවා. මෙම නාට්‍ය තමයි මගේ පළමු දීර්ඝ නාට්‍ය වුණේ. ඒ වගේම කියන්න ඕනේ 1981 දී මම දිවයින පත්තරේට සම්බන්ධ වෙනවා. එතනදි හැබැයි මම ලියන්න නෙමෙයි සම්බන්ධ වෙන්නේ. එයාල තමයි ඒ කාලේ ලංකාවට ඉස්සෙල්ලාම හඳුන්වා දෙන්නේ ටයිප් සෙටින්ග් කියන සබ්ජෙට් එක. ඉතින් මම ඒ පැත්තෙන් එහි වැඩකටයුතු සිදු කළා. ඒ කාලෙදිම ගුණදාස ලියනගේ විසින් 'ඉරිදා' කියලා පත්තරයක් කළා. මෙම පත්තරය හරහා මම නාට්‍ය විචාර ලියන්න පටන් ගත්තා. කොහොමහරි මට නාට්‍යයන් පහක පමණයි විචාර ලියන්න හැකි වුණේ. විචාර කිව්වහම හොඳ, නරක මේ දෙපැත්තම අපිට ලියන්න සිදුවෙනවා. ඉතින් ඒ නිසා යම් යම් හේතූන් මත මම පසුව ඒ දේ ලියන එක නැවැත්තුවා. ඔය විදිහට දිවයින, නවලිය, ඥානාර්ථ ප්‍රදීපය වගේ පුවත්පත් කිහිපයකම මම ලියලා තියෙනවා. ඉතින් කලා ක්ෂේත්‍රයේ ගමන්මග ඔය විදිහට තමයි සිදුවුණේ.

04. ඔබතුමා විසින් රචනා කරනු ලැබූ වේදිකා නාට්‍ය පිළිබඳවත් මතක් කරමු.
ඔව් මුලින්ම මෙතනදි මම ම රචනා කරලා මම ම නිෂ්පාදනය කරපු වේදිකා නාට්‍ය පිළිබඳව මුලින්ම සඳහන් කරන්නම්. 'අහස් ගවුවෙන් වැටුණු එකෙක්', 'දේශසීමා' , 'දෙයියන්ගේ පුංචි අක්කරය' කියන නාට්‍ය තුන මෙතනදී විශේෂයෙන් මතක් කරන්න ඕනේ. අර මම කලින් කිව්වා වගේ සම්මාන රැසක්ම ලැබුවා මේ නාට්‍ය ත්‍රිත්වයටම. මීට අමතරව 'ජුදාස්ගේ රාත්‍රිය', 'කෑම ලෑස්තියි', 'අලුත් හොරෙක් ඕනෑ', 'හදන්නම බැහැ', 'සුදු ඇඳගෙන හොරු ඇවිදින්' වගේ වේදිකා නාට්‍ය ගණනාවක්ම මම රචනා කරලා නිෂ්පාදනය කරලා තියෙනවා. මීට අමතරව මා විසින් රචනා කොට වෙනත් අය විසින් නිෂ්පාදනය කරපු වේදිකා නාට්‍ය ගණනාවක් ම තියෙනවා. මෙහිදී 'පැංස දෙකේ හංසයා', 'පාදඩ අසපුව', 'ගැබ්බර මිනිසා', 'දහම් තුරක වත', 'මමයි ආණ්ඩුව' කියන නාට්‍යයන් මා විසින් රචනා කොට අපේ අයියා ඒ කියන්නේ ශ්‍රියන්ත මෙන්ඩිස් විසින් නිෂ්පාදනය කරපු නාට්‍ය තමයි මේ. ඒ වගේම 'දෙයියොත් දන්නෙ නෑ' කියන නාට්‍ය මා විසින් රචනා කොට සරත් කුලතුංග විසින් නිෂ්පාදනය කරපු නාට්‍යයක්. එමෙන්ම මා විසින් රචනා කොට රොඩ්නි වර්ණකුලසූරිය විසින් නිෂ්පාදිත නාට්‍යයක් තමයි 'සාරංගා නැවෙන් ඇවිත්' කියන නාට්‍යය. ඒ වගේම 'දෝන ඉසබෙලා', 'මේ මොකක්ද මේ' කියන නාට්‍යන් දෙක මා විසින් රචිත ශ්‍රීනාත් මද්දුමගේ විසින් නිෂ්පාදනය කරනු ලැබූ නාට්‍යයන් දෙකක්. 'සොඳුරු නවාතැන' මා විසින් රචිත ශ්‍රියානි අමරසේන විසින් නිෂ්පාදනය කරමින් පවතින නාට්‍යයක්. මා විසින් රචනා කොට වෙන අය විසින් නිෂ්පාදනය කරන ලද නාට්‍යන් මේ විදියට පෙන්වාදෙන්න පුලුවන්.
05. මීළඟට ඔබතුමා විසින් පිටපත් රචනා කරන ලද පුංචි තිරයේ ටෙලිනාට්‍ය සහ සිනමා නිර්මාණයන් පිළිබඳව මතක් කරමු.
මම විසින් රචනා කරන ලද ප්‍රාසාංගික ටෙලි නාට්‍ය විදිහට 'කේතුමති නෑයෝ', 'පබලු පාලම', 'අමරපුරය', 'දඩකෙළි අරණ', 'සිහින සින්ඩරෙල්ලා', 'ගේට්ටුවා', 'දේදුන්නයි ආදරේ', 'වර්ණ', 'භව සිද්ධාන්ත', 'තුරුප්පු ආසියා', 'රේන්බෝ ටෙරස්', 'ආගන්තුකයා', 'හදවතේ කතාව', 'කාසිකාරයෝ', 'නවම් කළුවර', 'තාල', 'ඔබයි මගේ සඳ', 'සමන්මලිය' වගේ ටෙලිනාට්‍ය පෙන්වන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතනදී තව දෙයක් කිව යුතුයි. ඒ මා විසින් පිටපත් රචනා කරන ලද ටෙලි චිත්‍රපට පිළිබඳව. 'එකොලහයි දහතුන', දූවිල්ලෙන් අහන්න', බෝනික්කා', හීන ගෙනෙන තාරකාව', මනුස්සකම කියල කියන්නේ මා විසින් රචනා කරන ලද ටෙලි චිත්‍රපට. ඒ වගේම 'සිත නිවන කතා', 'පෝදා බෞද්ධ නාට්‍ය', 'මුල්', 'අන්දර වැට', 'කෝපි කඩේ' කියලා මේ වගේ ඒකාංගික ටෙලි නාට්‍ය පිටපත් 80 කට වැඩි ප්‍රමාණයක් මා විසින් රචනා කරනු ලැබුවා. ඒ වගේම මා විසින් පරිවර්තන පිටපත සකස් කරන ලද ප්‍රාසාංගික විදෙස් නාට්‍ය කිහිපයකුත් තිබෙනවා. 'මුතු අහුර', 'සදහටම ඔබ මගේ', 'හමුවෙමු ආයෙ සංසාරේ' මේ කියන ටෙලිනාට්‍ය මා විසින් පරිවර්තන පිටපත් සකස් කරන ලද ඒවා කියලා සඳහන් කළ යුතුයි. පුංචි තිරයේ මා විසින් පිටපත් රචනයෙන් දායක වූ නිර්මාණ තමයි ඒ. ඒ වගේම මා විසින් පිටපත් රචනයෙන් දායක වූ සිනමා නිර්මාණයන් විදිහට 'කැකුලි', 'ඇලඩින් සහ පුදුම පහන', 'ආකාස පාලම', 'රිදී කෙවිට', 'අග්නි', 'කුණු කොල්ලා', 'මොණර දැල', 'අමිගෝ' 'බ්ලැක්මේල්', 'අඳුන්කුල', 'මිසින්', 'කැමේලියා', 'භව තරණ' යන චිත්‍රපට පෙන්වා දෙන්න පුළුවන්.

06. ඔබතුමා විසින් රචනා කර මුද්‍රණය කරන ලද ග්‍රන්ථ, පිටපත් රචනයෙන් දායක වූ වෙනත් දේවල් සහ ඔබතුමා නියෝජනය කරන වෙනත් කාර්යයන් පිළිබඳවත් මෙහිදී මතක් කරමු.
මා විසින් රචනා කර මුද්‍රණය කරන ලද ග්‍රන්ථ විදිහට 'පාදඩ අසපුව', 'දෙයියොත් දන්නෙ නෑ', 'සැත මත සැරිසරන්නා', 'දිගු ගමන', 'සුනිල මග', 'විනිවිඳිමි කැඳවීම', ' මා ආ මාවතේ මතක' 'ප්‍රැන්කාසියුස් සහ තවත් කතා' කියන ග්‍රන්ථයන් පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම මම පිටපත් රචනා කරන ලද වාර්තා වැඩසටහන් රාශියක් තියෙනවා. 2022 වසරේ සුමති ටෙලි සම්මාන උළෙලේදී හොඳම වාර්තා වැඩසටහන ලෙස සම්මානයට පාත්‍ර වූ 'ජනමාධ්‍ය පොකුණේ සුපිපි සියපත' වාර්තා සටහනේ පිටපත සමග, ස්වාධීන රූපවාහිනී සේවයේ වසර විසිපහක පමණ කාලයේ බොහෝ වාර්තා වැඩසටහන් සඳහා පිටපත් රචනා කරලා තියෙනවා. ඒ වගේම ජාතික රූපවාහිනියේ 'සුපුවත වැඩසටහන' ඇතුළු විවිධ වැඩසටහන් පිටපත්, වර්බුම් කිතුණු නාලිකාවේ වසර නවයක ඉතිහාසයේ සමස්ත වැඩසටහන් අතරින් 95% ම පමණ පිටපත් මා විසින් රචනා කරලා තියෙනවා. ඊට අමතරව සමස්තයක් ලෙස ගතහොත් වාර්තා වැඩසටහන් සියයකට වැඩි ප්‍රමාණයක පිටපත් රචනා කරලා තියෙනවා මා විසින්. මා නියෝජනය කරනු ලැබූ වෙනත් කාර්යයන් මොනවාද කියලා කිව්වොත් 2017 වසරේ සිග්නීස් සිනමා සහ රූපවාහිනි උත්තමාචාර සම්මාන උළෙලේ සිනමා ජූරි සභිකයෙකු විදිහට මම කටයුතු කළා. ඒ වගේම 2022-2023 සිග්නීස් සිනමා සහ රූපවාහිනි උත්තමාචාර සම්මාන උළෙලේ ටෙලි නාට්‍ය ජූරි සභිකයෙකු ලෙසටත් කටයුතු කරලා තියෙනවා. 2025 සිග්නීස් ටෙලි හා සිනමා උළෙලේ ටෙලි හා සිනමා ද්වයේ ම ජූරි සභිකයෙක් ලෙස කටයුතු කරනවා. එමෙන්ම ඥානාර්ථ ප්‍රදීපය ලේඛක සංසදයේ හිටපු භාණ්ඩාගාරික විදිහට කටයුතු කරලා තියෙනවා සහ වසර 42 ක පුවත්පත් ලේඛන ඉතිහාසය පිළිබඳවත් මෙහිදී මතක් කළ යුතුයි. ඊට අමතරව ජා-ඇල ප්‍රාදේශීය සංස්කෘතික බලමණ්ඩලයේ භාණ්ඩාගාරික ධුරයත් මම දරනවා. ඒවා තමයි මම නියෝජනය කරපු වෙනත් අමතර කාර්යයන්. ඒ වගේම වත්මනයේ දී නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරනු ලබනවා. ඒ වගේම ස්වාධීන රූපවාහිනි සේවයේ නිර්මාණ පිටපත් රචකයා ලෙස නිදහස් වෘත්තීය ස්වභාවයෙනුත්, www.sannasa.lk හී ප්‍රධාන කර්තෘ ලෙසත් වැඩකටයුතු කරනවා.

07. ඔබතුමා එදා සිට මේ දක්වා මේ ක්ෂේත්‍රය තුළ ලබාගත් ජයග්‍රහණ පිළිබඳවත් මතක් කරමු.
ජයග්‍රහණ කිව්වහම මම අර කලින් සඳහන් කළා වගේ වේදිකා නාට්‍යය බොහොමයක් සඳහා සම්මාන ගොඩක් ලබාගෙන තියෙනවා. ඊට අමතරව ගිය අවුරුද්දේ සම්මාන රාශියක් හම්බවුණා මට. කතෝලික කලාවට කරපු සේවය වෙනුවෙන් සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් විශේෂ සම්මානයක් හම්බවුණා මට ගිය අවුරුද්දෙදි. ඒ වගේම පළාත් සභාවෙන් විශ්ව අභිමානී සම්මානය මට ලැබෙනවා එම වසර තුළදීම. ඒ වගේම කලා භූෂණ සම්මානය සංස්කෘතික දෙපාර්තමේන්තුව තුළින් මට හිමිකරගන්න හැකියාව ලැබෙනවා. ඊට අමතරව කතෝලික කලාවට කරපු සේවය වෙනුවෙන් මට ජාත්‍යන්තර මට්ටමේ සම්මානයක් ලැබෙනවා. මේ සම්මාන උළෙල පවත්වන්නේ පිලිපීනයේ වෙරිටාස් ජාත්‍යන්තරය විසින්. තුළ. ඉතින් එහිදී ශ්‍රී ලංකාවට ප්‍රථම වරට තමයි සම්මාන දෙකක් ලැබෙන්නේ එම සම්මාන උළෙල තුළින්. එම සම්මාන දෙකෙන් එක සම්මානයක් හිමිකරගන්න මට හැකියාව ලැබෙනවා පසුගිය වසරේදී. ඒ වගේම අපේ ජනසන්නිවේදන මධ්‍යස්ථානයේ සහ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ ක්‍රිස්තියානි කටයුතු දෙපාර්තමේන්තුව මඟින් දෙනවා ධර්ම ප්‍රභාෂ්වර කියලා සම්මානයක්. ඒකත් අවුරුදු දෙකකට සැරයක් තමයි ලැබෙන්නේ. ඉතින් ඒ සම්මානය මට ගිය අවුරුද්දේ ලැබුණා. ඉතින් ඔය ආකාරයට මගේ නාට්‍ය වගේම අනෙකුත් විවිධ වැඩකටයුතු සදහා මම සම්මාන වලට පාත්‍ර වුණු අවස්ථා බොහොමයක් තියෙනවා. ග්‍රැෆික් නිර්මාණකරණය වෙනුවෙන් ශ්‍රී ලංකා මුද්‍රණ පාසලෙන් රන් පදක්කමක් හිමිව තිබෙනවා. එසේ ම 'සැත මත සැරිසරන්නා' ග්‍රන්ථයට ජාතික කිතුණු සාහිත්‍ය උළෙලේ ප්‍රශස්තතම නවකතාවට හිමි සම්මානය හිමිවුණා. ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ ඔස්කා සංවිධානයෙන් හා සිඩ්නි නගරයේ ඩ්‍රාමා ලවර්ස් සංවිධානයන්ගෙන් ඇගයීම් සම්මාන ලැබිලා තියෙනවා.

08. අපේ සිනමාවේ මුල් යුගයේ සිටි දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් තමයි ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා කියලා කියන්නේ. ඒ වගේම අපි අතර සිටි තවත් දක්ෂතම කලාකරුවෙක් විදියට ජැක්සන් ඇන්තනී මහතා පෙන්වාදෙන්න පුලුවන්. මෙතුමන්ලා පිළිබද ඔබතුමාගේ අදහසත් අප දැනගන්න කැමතියී.
ඔව් ඇත්තටම ලෙස්ටර් ජෙම්ස් පීරිස් කියන්නේ අපේ සිනමාවේ හැරවුම් ලක්ෂයක්. ලෝකයට අපේ සිනමාව අරගෙන ගියේ ලෙස්ටර් ජෙම්ස් පීරිස්. ආසියානු සිනමාවේ ප්‍රතාපවත් සිනමාකරුවන් අතරට තියන්න පුළුවන් ප්‍රවීණයෙක් තමයි ලෙස්ටර් ජෙම්ස් පීරිස් කියන්නේ. සරලවම කිව්වොත් අද මේ තරුණ පරපුරට මේ සිනමාව මේ විදිහට පවත්වගෙන යන්න මූලික අත්තිවාරම දැම්මේ ලෙස්ටර් ජේම්ස් පීරිස් කියලා කියන්න ඕනි. ජැක්සන් ඇන්තනී ගත්තහම ජැක්සන් කියන්නේ අපේ පරපුරේ කෙනෙක්. ජැක්සන් කියන්නේ පුද්ගලයෙකුට කලාතුරකින් පිහිටන හැකියාවන් රාශියක් හිමි පුද්ගලයෙක්. අසූව යුගයේ මුල් කාලයේ 'සූකිරි' කියලා ළමා පත්තරයක් තිබුණා. මේ පත්තරේට 'කිටීටොමී' කියලා අපි දෙන්නා කතාවක් ලිව්වා. මම තමයි 'කිටීටොමී' කවි ලියන්නේ. ජැක්සන් තමයි චිත්‍ර අඳින්නේ. ඉතින් මං කියන්න හැදුවේ ජැක්සන් කියන්නේ හොඳ චිත්‍ර ශිල්පියෙක්, හොඳ මූර්ති ශිල්පියෙක්, හොඳ ප්‍රසන්ටර් කෙනෙක්, හොඳ පූරක කෙනෙක්, හොඳ නැට්ටුවෙක්, හොඳ අධ්‍යක්ෂකවරයෙක්, හොඳ නළුවෙක්, හොඳ ගායකයෙක් කියලා කිව්වොත් මම නිවැරදී. මේ වගේ හැකියාවන් ගණනාවක්ම එකම පුද්ගලයෙක් ළඟ පවතින්නේ ඇත්තෙන්ම කලාතුරකින්. ඉතින් ජැක්සන් කියලා කියන්නේ ඇත්තටම අපේ කලා ලෝකෙට තව ගොඩක් දේවල් කරන්න හිටපු කෙනෙක්. කලා ක්ෂේත්‍රයට තව තවත් වැඩ ගොඩක් කරන්න පුළුවන් අවධියකදී තමයි ඔහු මියයන්නේ. ඉතින් ඇත්තටම ඔහුගේ වියෝව මේ කලා ක්ෂේත්‍රය තුළ ලොකු හිඩසක් නිර්මාණය කරන්න හේතු වුණා. ඉතින් ඇත්තටම මෙම චරිත ද්විත්වයම අපේ කලා ලොව තුළ හිටපු දැවැන්ත චරිත දෙකක් කියලා කියන්න ඕනි.

09. ශ්‍රී ලාංකේය සිනමාකරණය පිළිබඳ ඔබතුමාගේ අදහස කෙබඳු ද?
ශ්‍රී ලාංකේය සිනමාව ගැන කියද්දී සිනමාව ආරම්භ වෙන්නේ 'කඩවුණු පොරොන්දුව' චිත්‍රපටය තුළින්. ලාංකේය සිනමාවේ ආරම්භක අවධියේදී ඉන්දියානු සම්භවයත් සමඟ මිශ්‍රවීමක් විදිහට තමයි අපේ සිනමාව ආරම්භ වෙන්නේ. එහෙම එහෙම ඇවිත් අපේ සිනමාව 'රේඛාව' කියන චිත්‍රපටය නිර්මාණය වීමත් සමග වෙනස් වෙනවා. ඊට පස්සේ ජාත්‍යන්තර සම්මාන ගන්න මට්ටමට අපේ සිනමාව හැදෙනවා. 60 දශකය වෙද්දී 'ගම්පෙරළිය', 'දෙලොවක් අතර' වගේ හොඳ චිත්‍රපට නිර්මාණය වෙනවා. පසුව 1977 විවෘත ආර්ථිකයත් සමඟ අපේ සිනමාව ආයෙමත් අර ඉන්දියානු ආරයටම යනවා. මේ ආකාරයට ඉන්දියානු ක්‍රමවේදයට අපේ සිනමාව ඒ විදිහටම අමුවෙන්ම කරන්න ගද්දී අපේ සිනමාව වැටෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ සිනමාව කියන දේ මිනිස්සු අතඇරියා. සිනමාශාලා වැහෙන්න පටන් ගත්තා. පසුව ඔය විදිහට ගිහින් අපේ සිනමාව ආයෙත් හොඳ තැනකින් ටර්න් එකක් ගන්නවා. මං හිතන්නේ අපි ඒ වගේ ටර්න් එකක් ගත්තේ කේරළ සිනමාව තුළින් පාඩමක් ඉගෙනගත්තු නිසා. මොකද ඉන්දියානු සිනමාව තුළ බොලිවුඩ් සිනමාව තමයි ඉන්දියාවේ ආර්ථිකයට සහ ඉන්දීය කලා ක්ෂේත්‍රයට ලොකු බලපෑමක් එල්ලකරන්නේ. ඒකත් එක්ක මීලඟට කොලිවුඩ් සිනමාව දකුණු ඉන්දියාවෙන් බිහිවෙනවා. ප්‍රවේගකාරී චිත්‍රපට නිර්මාණය වෙන්නේ කොලිවුඩ් සිනමාව තුළ.
මේවාට වෙනස්ම ආකාරයේ, වෙනම සිනමාවක් බිහිවෙනවා කේරළයේ. කේරළයේ මලයාලම් සිනමාව කියලා තමයි කියන්නේ මේකට. මලයාලම් සිනමාව ගොඩක් වෙනස් එකක්. ඒ ඔස්සේ මිනිසුන්ගේ ජීවිත ප්‍රශ්න කතා කරන එක තමයි කරන්නේ. මේ සිනමාව ඇත්තටම බිහිවෙන්නේ කොරෝනා කාලේ. ඒ කාලේ එක තැනක හිරවෙලා ඉන්නකොට පොඩි පොඩි රිසර්ච් කරලා එයාලා මේ සිනමාව හදාගන්නවා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට තමයි 'නෙළුම් කුළුණ, වාලම්පුරි' වගේ වෙනස්ම, නැවුම් විත්‍රපට ලාංකේය සිනමාව තුළ බිහිවෙන්නෙත්, මම දකින විදිහට. මේ 'නෙළුම් කුළුණ චිත්‍රපටය පසුගිය කාලයේදී එකම පරිශ්‍රයක් තුළ දර්ශන වාර විසි එකක් පෙන්නලා තිබුණා. ඉතින් ඒ වගේ සම්ප්‍රදායෙන් ඔබ්බට චිත්‍රපට නිර්මාණය කිරීම තුළ ප්‍රේක්ෂකයන් තුළ දැඩි කැමැත්තක් තියෙනවා ඒ වගේ නිර්මාණ නරඹන්න. කලාව කියන දේ වැටුණත් ඒ දේ ආයෙම වෙනස් ස්වරූපයකින් මතුවී උඩට එනවා. ශ්‍රී ලාංකේය සිනමාව තුළ සිනමාශාලාව ගත්තහම අපේ රටේ අර ඉස්සර තිබුණු සාම්ප්‍රදායික සිනමාශාලා නෙමේ වර්තමානයේ තියෙන්නේ. වර්තමානයේ දී සිනමාශාලාවන් ඉතාමත් නවීන විදිහට, හොඳ පහසුකම් සහිතව නිර්මාණය වී තිබෙනවා. නමුත් ලෝක සිනමාවත් සමඟ බැලුවහම අපේ සිනමාව දැවැන්ත මට්ටමක නොතිබුණත් මේ වෙද්දි අපේ සිනමාව හොඳ තැනක තියෙනවා.

10. ශ්‍රී ලාංකේය සිනමාව තුළ ගාමිණී-මාලිනි යුගය, විජය-මාලිනි යුගය ලෙසට මේ වගේ යුග බිහි වීම සිදුවුණා. මේ පිළිබඳව ඔබතුමාගේ අදහස අප දැනගන්න කැමතියි.
මේ යුග බිහිවීම ගැන කියද්දී ඒක එහෙම වෙන්නේ එක එක ප්‍රේක්ෂක තලත් සමඟ. දැන් එක කාලෙක ගාමිණී ෆොන්සේකා තිරය තුළ දර්ශනය වනසැනින් විසිල් ගහනවා ප්‍රේක්ෂාගාරයේ කට්ටිය. ඒ කියන්නේ සිනමාව තාරුණ්‍ය ජීවිතය තුළ සිහිනයක් බවට පත්කරගෙන තිබුණා. අදටත් නළු නිළියන් දැක්කහම එයාල එක්ක කතාකරත් මිනිස්සුන්ට ලොකු සතුටක් දැනෙනවා. ඒ වගේ දේවත්වමය ආරෝපණයක් දීලා තියෙනවා මිනිස්සු මේ කලාකරුවන්ට. ප්‍රේක්ෂක ජනතාව මේ නළු නිළියන් සමග වෙනනම මනෝ ලෝක නිර්මාණය කරගන්නවා. ඔවුන් මනසින් මේ මගේ පෙම්වතා, මේ මගේ පෙම්වතිය කියලා සිතින් සිහින ලෝකයක් ගොඩනගා ගන්නවා. ඉතින් ඒ වගේ ආදරයක්,දැඩි ඇල්මක් දක්වනවා කලාකරුවන්ට මේ ප්‍රේක්ෂකයන්. විශේෂයෙන් සිනමාව ගත්තොත් සිනමාව තුළද ඒ කාලේ වගේම අදත් මිනිස්සු හරි ඇල්මක් දක්වනවා සිනමාව තුළ සිටින කලාකරුවන්ට. ඉතින් යුග බිහිවීම සිදු වෙන්නෙත් ඔන්න ඔය විදිහටම තමයි. විජය ගත්තොත් විජය එන්නේ සිනමාවට 1971 වර්ෂයේ 'හන්තානේ කතාවෙන්'. ඉතින් විජය පැමිණීමත් එක්ක විජය-මාලිනී යුගයක් බිහිවුණා මේ සිනමාව තුළ. ඉතින් මේ ආකාරයට ගාමිනී-මාලිනී, විජය-මාලිනි ආදී යුග බිහිවීම පිළිබඳ මගේ මතය නම් ඒක ජනප්‍රියවාදී සිනමාව මිසක් නිර්මාණශීලී සිනමාව නෙමෙයි.
11. හේමාල් රණසිංහ, උද්ධික ප්‍රේමරත්න, සජිත ඇන්තනී, උදාරි වර්ණකුලසූරිය වගේ නව පරපුරේ රංගන ශිල්පීන්, ශිල්පිනියන් පිළිබඳ ඔබතුමාගේ අදහස දැනගන්න කැමතියි.
ඔව් ඇත්තටම නව පරපුරේ රංගන ශිල්පීන්, ශිල්පිනියන් ගැන කතා කරද්දි හේමාල් කියලා කියන්නේ ඇත්තටම හොඳ පෞරුෂයක් තියෙන කලාකරුවෙක් කියලා කියන්න ඕනේ. පිරිමි පෞරුෂය, පිරිමිකම කියන දේ ඔහු තුළින් හොඳින් ගම්‍ය වෙනවා. ඒ වගේම උද්දික, උදාරි ගැන කිව්වොත් ඇත්තටම ඔවුන් දක්ෂ කලාකරුවන්. ඒ වගේම පසුගිය දිනවල සම්මානයට පවා පාත්‍රවුණු තරින්දි ප්‍රනාන්දු එහෙම අතිදක්ෂ රංගන ශිල්පිනියක් බව කිව යුතුයි. ඇයගේ රංගනය ඇත්තටම විශිෂ්ටයි. සජිත අන්තනී කියලා කියන්නේ අපේ ජැක්සන්ගේ පුතා. ඔහුත් ගායනයට, රංගනයට, ඉදිරිපත් කිරීමට හොඳ දක්ෂතාවයක් තිබෙන කෙනෙක්. ඉතින් කිසිම දෙයක් එකම විදිහට තියෙන්නෙ නැහැ. එක පරපුරක් ඉවර වෙද්දී තව අලුත් පරපුරක් එනවා. දැන් සිනමාව තුළත් ගාමිණී ෆොන්සේකා, විජය කුමාරතුංග ගත්තොත් මේ අය කියන්නේ එක පරම්පරාවක්. වේදිකාවෙත් එහෙමයි. වේදිකාව තුළත් අපේ අයියලා, ජැක්සන්ලා කියලා කියන්නේ එක පරම්පරාවක්. ඉතින් දැන් එයාලගේ පරපුර අවසන් වී ගෙන යනවා. ඉතින් නව පරපුරක් ඇත්තටම වේදිකාවෙනුත් බිහිවෙන්න ඕනි. ඉතින් මේ කියපු අය හැරුනහම නවපරපුර තුළ අතිදක්ෂ රංගන ශිල්පීන්, ශිල්පිනියන් ඉන්නවා තවත්. ඉතින් නවපරපුරේ මේ කියපු කලාකරුවන් ගැන මගේ අදහස තමයි ඔය.
12. මෙරට කලා ක්ෂේත්‍රය තුළ සිටින දැවැන්තයෙක් විදිහට, මේ ක්ෂේත්‍රයට පැමීණීමට බලපොරොත්තු වන නවකයින් සඳහා ඔබතුමාට දෙන්න තිබෙන පණිවිඩය කුමක් ද?
කලා ක්ෂේත්‍රය තුළ යන ගමන ඇත්තටම හරි හිමින් මුල ඉඳලා එන්න ඕන ගමනක් විදිහට තමයි මම දකින්නේ. අපිත් මේ අද ඉන්න තැනට එන්න ගොඩ කාලයක් ගියා. ඉතින් අද දකින දෙයක් තමයි කලාව තුළ නවකයින් විදිහට එන පිරිසව කෙලින්ම යම් යම් අවස්ථා තුළින් ඉහළම තැනට ගෙනිහින් නිකන්ම අතාරිනවා. ඇත්තටම ඒක සුදුසු දෙයක් නෙමෙයි. මොකද මේ වගේ ගමනක් යද්දි කැපකිරීම් කරමින් ඉහළට පැමිණීම තමයි විය යුත්තේ. මොකද නැත්නම් කෙලින්ම ඉහළම තැනට ගිහින් අතඇරියහම වෙන්නේ ඒ කෙනාට තමන් පැමිණි ගමන ගැන නිසි අවබෝධයක්, නිසි දැනීමක්, තේරුමක් නැතිවෙන එක. ඒ වගේම මෙහිදී අර මුල ඉඳලා අභියෝග වලට මුහුණදෙමින්, දැඩි කැපකිරීම් කරමින් පැමිණෙන පුද්ගලයාට මේ ක්‍රියාවලිය නිසා වේදනාවක් ඇතිවෙන්නන පුළුවන්. මොකද තමන් ගොඩක් කැපකිරීම් කරලා පැමිණි ගමනට ඒකෙන් වටිනාකමක් නොලැබෙන නිසා. ඉතින් මං මුලින්ම දෙන අවවාදය තමයි මේ යන ගමන හරි පරිස්සමට, හිමින්, තේරුමක් ඇතිව ගියාම තමයි ඒකෙ ලස්සන අවසානයක් දකින්න පුළුවන් වෙන්නේ.
මම කලා ක්ෂේත්‍රය තුළ වැඩි බරක් යොදවන්නේ පිටපත් රචනය කියන පැත්තට. ලංකාව තුළ පිටපත් රචනයට සිටින පුද්ගලයන්ගේ ලොකු හිඟයක් තිබෙනවා. ඉතින් ඇත්තටම මමත් ගොඩක් කාර්යබහුල කෙනෙක්. මටත් වැඩ ගොඩක් එනවා මේ ක්ෂේත්‍රය තුළින්. ඉතින් පිටපත් රචකයෙකුට හොඳ ගමනක් තියෙනවා ඇත්තටම. පිටපත් රචකයෙක් වීමේදී විශේෂයෙන්ම හොඳින් කියවීම වැදගත්. ඒ වගේම තමයි පිටපතක් ලිවීමේදී එකපාරටම කෙනෙක්ට සර්ව සම්පූර්ණයෙන් ඒක 100% නිවැරදිව කරගන්න ලැබෙන්නේ නැහැ. ඉතිං එහෙමයි කියලා තමන් ලියන්න ගත්තු දේ අතරමග දාලායන්න හොඳ නෑ කොයිම වෙලාවකවත්. ලියන දේ නැවත නැවත ලිවීම තමයි මෙහිදී වැදගත් වෙන්නේ.

1984 වර්ෂයේ දී මම මුහුණ දෙන පුද්ගලික අනුවේදනීය අත්දැකීමක් 1985 දී ටෙලි නාට්‍ය ස්ක්‍රිප්ට් එකක් විදිහට ලියනවා. මේ කතාව 'දෙණිපොතේ සුළඟ' කියලා මම නම් කළා. ඉතින් ඒ පිටපත ලිවීමත් සමග මම අර හිටපු තත්ත්වයෙන් ගැලවෙන්න මට පුළුවන් වෙනවා. මම මේ ස්ටෝරි එක අමුවෙන්ම ලිව්වේ නැහැ. මම මේ කතාව ලිව්වේ 1970 වර්ෂයේ දී කීර්ති ශ්‍රී රාජසිංහ රජ්ජුරුවන්ට විරුද්ධව මහනුවර ඇතිවෙච්ච කැරැල්ලක් මේ සිදුවීමත් එක්ක යා කරලා. මම මේ කතාව ලිව්වට මම මේ කතාව කාටවත් දුන්නේ නැහැ මුලදි. නමුත් පසු කාලීනව 2010 වසරේදී මේ ලියපු ස්ක්‍රිප්ට් එක යම් යම් වෙනස්කම් වලට ලක් කරමින් ඒ ඔස්සේ ෆිල්ම් එකක් නිර්මාණය කළා. මෙම චිත්‍රපටය නිර්මාණය කළේ දේවින්ද කෝන්ගහගේ කියලා කලාකරුවෙක්. පසුව මෙම කතාවෙ මුල් නම වෙනස් කරලා මෙම චිත්‍රපටය 'භව තරණ' කියලා නම් කරනවා. ඉතින් මෙම චිත්‍රපටය 2015 දී ඉන්දියාවේ නවදිල්ලි සිනමා උළෙලේ ප්‍රධාන සම්මානයට පවා පාත්‍ර වෙනවා. මම මේක මුලින් කතාවක් විදිහට ලියන්න පටන් ගත්තේ 1985 වසරේදී. පසුව මෙම කතාව චිත්‍රපටයක් දක්වා නිර්මාණය වී වසර තිහකට පසුව මෙය සම්මානයට පවා පාත්‍ර වෙනවා.
ඉතින් මට මෙතනදි කියන්න ඕන වුණේ උත්සහය, කැපවීම කියන දේ අනිවාර්යයෙන්ම කෙනෙකුට අත්‍යවශ්‍ය දෙයක්. මොකද මෙතනදි මම මේ පිටපත කිහිපසැරයක්ම ලිය ලිය, ලියන ඒවා වෙනස් කරමින් තමයි මේක නිර්මාණය කළේ. ඉතින් තමන් යම්කිසි පිටපතක් ලිව්වොත් එතනදී ඒ දේ එකසැරයක් කාගෙන් හෝ ප්‍රතික්ෂේප වුවහොත් ඒ දේ එතනින් නවත්තන්නේ නැතුව ඒ දේ තව තව වෙනස් කරමින් නිරන්තරයෙන් දිගටම ලියාගෙන යන්න. හොඳ පිටපත් රචකයෙක් බිහිවෙන්නේ එතකොට. පිටපත් රචනයේදී ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා. මම ලෙක්චර්ස් වලදී උගන්නනවා කොහොමද ටෙලිනාට්‍ය පිටපතක් ලියන්නේ, කොහොමද චිත්‍රපට පිටපතක් ලියන්නේ, ඒකාංගික නාට්‍ය පිටපතක් කොහොමද ලියන්නේ කියන කාරණා. මේවා ලියවෙන්නේ එකිනෙකට වෙනස් විදිහට. ඉතින් මම කියන්නේ වරදින්න හරි ලියන්න. නිරන්තරයෙන් ලිවීම, කියවීම කියන දෙක පිටපත් රචකයකුට ඉතාම වැදගත්. පිටපතක් තුළින් ප්‍රේක්ෂක සිත් ඇඳ බැඳ ගැනීමට හැකියාව ලැබෙන්නේ ඔවුන්ට දැනෙන විදිහට ඒ දේ ලිව්වහම. ඒ වගේම මේ ගමන හරි පරිස්සමට හිමින් යන්න ඕන ගමනක් මම කලින් කිව්වා වගේ. ලොකු බරක් ඔලුවට දාගන්න එපා. ඒ වගේම තමන් මොන දේ කළත් තමන්ගේ පවුලට ප්‍රමුඛස්ථානය දෙමින් ඒ වැඩවල නිරතවීමට වග බලා ගත යුතුයි.
13. ඔබතුමාට දැනෙන ආකාරයට වත්මන් දේශපාලන ක්‍රියාවලිය, කලා ක්ෂේත්‍රය කෙරෙහි කටයුතු කරන්නේ කුමන ආකාරයට ද?
අපි හැමෝම දේශපාලන සත්ත්වයෝ නිසා අපිට දේශපාලනයෙන් බැහැර වෙන්න බෑ. දේශපාලනය තුළ අපිට ප්‍රශ්න දෙකක් තිබෙනවා. එකක් දූෂණය සහ හොරකම. අනිත් එක තමයි සංවර්ධනය කියලා කියන්නේ. ගෝඨාභය දේශපාලනයට එද්දි එයාගේ පළවෙනි ඉන්ටර්විව් එක කරන්නේ මම. ඒ එයාගේ ගෙදර පුස්තකාලය තුළ. ඒක ඇත්තට ම හොඳ පුස්තකාලයක්. ඒ පුස්තකාලය දැක්කාම මට හිතුනා ඔහු රටට වැඩක් කරයි කියලා. ඒත් ටික කාලයක් ගියාම මට මතක් වුණා බිලී මෝයර්ස් කියන ඇමරිකාවේ ඒබීසී රූපවාහිනියේ පූරක, 1979 රොනල්ඩ් රේගෙන් ජනාධිපති වුණාම මෙහෙම කිව්වා. "අපි දේශපාලනය ආගමක් හැටියට ඇඳවූ ජාතියක් වීමු. එහෙත් අපගේ සියලු ම දෙවිවරු අසාර්ථක වූහ." කියලා. අපිටත් වුණේ ඒකම තමයි. පවතින රජය පිළිබඳව අපිට ලොකු හීනයක් තියෙනවා. ඒ හීනය හීනයක් ම නොවෙයි කියලා ලොකු විශ්වාසයකින් ඉන්නවා. ආර්. ප්‍රේමදාස කියලා කියන්නේ කලාවට ලොකු සේවයක් කරපු කෙනෙක්. ඔහු තමයි ටවර් ෆවුන්ඩේෂන් එක හැදුවේ. ඒ වගේම ටවර් හෝල් එක ප්‍රතිසංස්කරණය කළේත් එතුමා. ඒ වගේම මහින්ද රාජපක්ෂත් කලාවට යම් යම් දේවල් සිදු කරලා තියෙනවා. කලාකරුවන්ට ඉන්ෂුවරන්ස් හදලා දුන්නා. වාහන ගන්න මූල්‍ය පහසුකම් සැලැස්සුවා. ඒ වගේ වැඩ ඔහුත් කළා. දැන් ගත්තොත් අපි ඉන්නේ නව රජයක් සමග. ඉතින් ලොකු විශ්වාසයක් තියෙනවා දූෂණය, වංචාව කියන එක මෙතැන් සිට ලංකාවේ සිදු වෙන එක අවම වෙයි කියලා. ඒ වගේම කලාවටත් යහපතක් වෙයි කියලා මම විශ්වාස කරනවා. කතාවක් තියෙනවා රටක කලාව පිරිහෙන විට ඒ රට සංස්කෘතික වශයෙන් සහ ආර්ථික වශයෙන් පිරිහේ කියලා. ඒ වගේම රටක් ආර්ථික වශයෙන්, සංස්කෘතික වශයෙන් ගොඩනැගෙනකොට ඒ රටේ කලාවත් සංවර්ධනය වෙනවා කියලා. ඉතින් මම විශ්වාස කරනවා පවතින රජය මගින් කලාවට ලොකු සේවයක්, ලොකු වටිනාකමක් ලැබෙයි කියලා.
හොදයි. ඉතින් බොහොමයක් වැඩ රාජකාරීන් මධ්‍යයේ අද අපගේ සාකච්ඡාව සමග ඔබතුමා සම්බන්ධ වුණා. ඉතින් ඔබතුමා වැනි අග්‍රගණ්‍ය කලාකරුවෙකු සමග මෙවැනි සාකච්ඡාවක් සිදුකිරීමට ලැබීමත් අපගේ භාග්‍යක්. ඉතින් ඔබතුමාට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා අපගේ සාකච්ඡාවට සම්බන්ධ වූවාට. ඔබතුමාගේ ඉදිරි වැඩකටයුතු සියල්ලටම අප ඔබතුමාට සුබපැතුම් එක්කර සිටිනවා.
සැකසුම - උපේක්ෂා තඹවිට