/
/
title icon
GLOBAL EYE - රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කළ මෑත කාලීන දරුණුත ම ප්‍රහාරය
GLOBAL EYE - රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කළ මෑත කාලීන දරුණුත ම ප්‍රහාරය
Presila Sandaruwani
6 hours ago
Share:
GLOBAL EYE - රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කළ මෑත කාලීන දරුණුත ම ප්‍රහාරය

අගෝස්තු 21 වන දින රුසියාව විසින් බටහිර යුක්‍රේනයට එක් රැයකින් ඩ්‍රෝන යානා සහ මිසයිල විශාල ප්‍රමාණයක් දියත් කරන ලද අතර එය මෑත සතිවල සිදු වූ දරුණුත ම ප්‍රහාරය බව යුක්‍රේනය නිවේදනය කර තිබුණි. සැපොරිෂියා, ඩිනිප්‍රොපෙට්‍රොව්ස්ක් සහ ලිවිව් (Zaporizhzhia,Dnipropetrovsk,and Lviv) යන ප්‍රදේශවලින් මෙම ප්‍රහාර වාර්තා වී තිබිණ. මෙම ප්‍රහාරයෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර පුද්ගලයින් 26 දෙනෙකු පමණ තුවාල ලබා ඇත. තුවාල ලැබූවන් අතරින් 15 දෙනෙක් Mukachevo නගරයේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික භාණ්ඩ කර්මාන්ත ශාලාවක සේවකයින් වන අතර තිදෙනෙක් Lviv නගරයේ පදිංචිකරුවන් ලෙස වාර්තා වී තිබිණ. එමෙන් ම Lviv නගරයෙහි නේවාසික ගොඩනැගිලි 26 කට පමණ මෙම ප්‍රහාරයෙන් හානි සිදු වී ඇති අතර Mukachevo නගරයෙහි පිහිටි ඇමරිකානු ආයෝජනයක් සහිත ඉලෙක්ට්‍රොනික භාණ්ඩ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවකට ප්‍රහාර එල්ල වී තිබුණි. එහි දී කර්මාන්ත ශාලාවේ ගබඩා ගොඩනැගිලි විනාශ වී විශාල ගින්නක් ද හටගෙන ඇත. මේ සම්බන්ධව යුක්රේන ගුවන් හමුදාව ප්‍රකාශ කරනුයේ රුසියාව විසින් ඩ්‍රෝන යානා 574 ක් සහ මිසයිල 40 ක් (බැලැස්ටික් මිසයිල ඇතුළුව) රාත්‍රී කාලයේ දී එල්ල කළ බවත් ඔවුන්ගේ ගුවන් ආරක්ෂක පද්ධති මඟින් මෙම ප්‍රහාරවලින් වැඩි ප්‍රමාණයක් මැඩපැවත් වූ බවත් ය. එලෙස ම සාම සාකච්ඡා පිළිබඳ නැවත අවධානය යොමුව ඇති අවස්ථාවක දී මෙවැනි ප්‍රහාර එල්ල වීම රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන්ට බාධා ඇති කිරීම බව දේශපාලක විචාරකයින්ගේ මතයයි.

17d135c5f33d11f4b18db4751cb84375.png

ගැටුමේ ඉතිහාසය
මෙම යුක්රේන-රුසියානු ගැටුම හදිසියේ ආරම්භ වූවක් නොවෙයි. එහි මූලයන් සොයා යෑමට නම් වසර ගණනාවක් ඈතට දිවෙන සංකීර්ණ ඉතිහාසයක් ගැන අවබෝධයක් ලබා ගත යුතුයි. ගැටුමේ මූලාරම්භය වර්ෂ 1991 දක්වා දිවෙන අතර එහි දී සෝවියට් සංගමය බිඳී ගිය පසු, යුක්රේනය ස්වාධීන රාජ්‍යයක් බවට පත් විය. මේ වනවිටත් රුසියාව සහ යුක්රේනය අතර සමීප සබඳතා පැවතුන ද ඊටත් වඩා යුක්රේනුවන් බොහෝ දෙනා බටහිර ලෝකයට, විශේෂයෙන් ම යුරෝපා සංගමයට සහ නේටෝවට (NATO) සමීප විය. සෝවියට් සංගමයේ පැරණි සාමාජික රටවල් කිහිපයක් නේටෝ සංවිධානයට එක්වීම යන සිද්ධිය රුසියාව සැලකන ලද්දේ තමන්ගේ ආරක්ෂාවට තර්ජනයක් ලෙසයි. යුක්රේනයත් නේටෝවට එක්වෙතැයි යන බිය රුසියාවට ඇති විය. 2013 වසරේ දී යුක්රේනයේ සිටි රුසියානු හිතවාදී ජනාධිපති වික්ටර් යනුකොවිච් (Viktor Yanukovych) යුරෝපා සංගමය සමඟ ගිවිසුමක් අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළ අතර මේ හේතුවෙන් රටපුරා දැවැන්ත විරෝධතා ඇති විය. "යුරෝමයිඩාන්" (Euromaidan) ලෙස හැඳින්වුණු මෙම විරෝධතා හමුවේ යනුකොවිච්ට එරටින් පලා යෑමට සිදු විය. ඉන් අනතුරුව බිහි වූ නව යුක්රේන රජය බටහිරට නැඹුරු වූ එකකි. කෙසේ නමුත් යනුකොවිච්ගේ බලය අහිමි වීමෙන් පසු රුසියාව, යුක්රේනයට අයත් ක්‍රිමියා අර්ධද්වීපය ඈඳා ගත් අතර ඊට කරුණු දක්වමින් රුසියාව කියා සිටියේ එහි රුසියානු ජනගහනය බහුලව ජීවත්ව සිටීම හේතුවෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් රැක ගැනීමට මෙය අවශ්‍ය වූ බව‍යි. නමුත් මෙම ප්‍රකාශය ජාත්‍යන්තර ප්‍රජාව හෙළා දැක තිබුණි. වර්ෂ 20214 සිට ඩොන්බාස් යුද්ධය, එනම් ක්‍රිමියාව ඈඳා ගැනීමත් සමඟ ම යුක්රේනයේ නැගෙනහිර ප්‍රදේශයේ ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් ප්‍රාන්තවල රුසියානු හිතවාදී කැරලිකරුවන් සහ යුක්රේන හමුදාව අතර සටන්ැති වීම ඇරඹිණි. රුසියාව මෙම කැරලිකරුවන්ට ආධාර කළ අතර මේ හේතුවෙම් වසර අටක් පුරා යුද්ධයක් පැවතුණු අතර 2022 රුසියානු ආක්‍රමණයට පෙර 14,000කට වැඩි පිරිසක් මෙම යුධමය වාතාවරණයෙන් ජීවිතක්ෂයට පත් විය. වර්ෂ 2022 පෙබරවාරි 24 වන දින රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් "විශේෂ හමුදා මෙහෙයුමක්" ලෙස හඳුන්වමින් යුක්රේනයට පූර්ණ පරිමාණ ආක්‍රමණයක් දියත් කරන ලදි. යුක්රේනය නේටෝවට එක්වීම වැළැක්වීම, "නාසිවාදීන්ගෙන්" යුක්රේනය මුදවා ගැනීම සහ රුසියානු භාෂාව කතා කරන ජනතාව ආරක්ෂා කිරීම මෙහි අරමුණු ලෙස ඔහු දක්වා තිබිණ. එතැන් පටන් අද දක්වා ම මෙම යුධමය තත්ත්වය ක්‍රියාත්මකයි.

c2e91e999cf08b8086c75bf311f86e4a.jpg

2022 වසරේ ජනපති පුටින් කළ නිවේදනයත් සමඟ රුසියානු හමුදා උතුරු, නැගෙනහිර සහ දකුණු දෙසින් යුක්‍රේනයට ඇතුළු වූ අතර කීව් අගනුවර ඇතුළු ප්‍රධාන නගර වෙත මිසයිල ප්‍රහාර එල්ල කරන ලදි. යුද්ධයේ මුල් අදියරය වන පෙබරවාරි - මාර්තු සමයේ රුසියානු හමුදා ඉතා වේගයෙන් යුක්‍රේන දේශසීමා පසුකරමින් කීව් අගනුවර දෙසට ඉදිරියට ගමන් කළ අතර ඔවුන්ගේ අරමුණ වූයේ යුක්‍රේන රජය ඉක්මනින් පෙරළා දමා තමන්ගේ හිතවාදී රජයක් පිහිටුවීමයි. නමුත් යුක්‍රේන හමුදාවේ සහ ජනතාවගේ දැඩි ප්‍රතිරෝධය නිසා රුසියානු හමුදාවන්ට කීව් නගරය අල්ලා ගැනීමට අසමත් විය. මාර්තු මස අවසානය වන විට රුසියාව කීව් අවටින් සිය හමුදා ඉවත් කර ගැනීමට තීරණය කළ අතර මෙය යුක්‍රේනයට ලැබුණු ප්‍රධාන ජයග්‍රහණයක් ලෙස ඉතිහාසයට එක් වී ඇත. නමුත් ඔවුන් සටන අත්නොහැ‍රිය අතර ඇසෝව් මුහුදට මායිම්ව පිහිටි උපායමාර්ගික නගරයක් වන මරියුපෝල් (Mariupol) අල්ලා ගැනීමට රුසියාව ක්‍රියාත්මක විය. මෙම වැටලීම මාස තුනකට ආසන්න කාලයක් පැවතුණු අතර එය යුද්ධයේ දරුණුත ම සටනක් බවට ද පත්වී තිබුණි. එම නගරය සම්පූර්ණයෙන් ම පාහේ විනාශ වූ අතර 2022 මැයි මාසයේ දී  එම නගරය රුසියාවට යටත් විය. කීව් ප්‍රහාරය අසාර්ථක වීමෙන් පසු රුසියාව සිය අවධානය නැගෙනහිර යුක්‍රේනයේ ඩොන්බාස් (Donbas) කලාපය සහ දකුණු ප්‍රදේශ වෙත යොමු කළහ. ඔවුහු ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් ප්‍රදේශවල තවදුරටත් සිය පාලනය තහවුරු කර ගනිමින් ඉදිරියට ගමන් කළහ. නමුත් 2022 වසරේ අගභාගයේ දී යුක්‍රේනය විසින් අනපේක්ෂිත අයුරින් හදිසි හා සාර්ථක ප්‍රතිප්‍රහාරයක් එල්ල එල්ල කරන ලදි. විශේෂයෙන් ම ඛාර්කිව් (Kharkiv) කලාපයේ දී ඔවුන් විශාල භූමි ප්‍රමාණයක් යළි අත්පත් කර ගැනීමට සමත් විය. එමෙන් ම ඩොනෙට්ස්ක් ප්‍රදේශයේ පිහිටි බක්මුට් (Bakhmut) නගරය වසරකට ආසන්න කාලයක් පුරා දෙපාර්ශවයේ දරුණු සටනකට මැදි වූ අතර එමගින් දෙපාර්ශවයට ම විශාල ජීවිත හානි ද සිදු වී ඇත. කෙසේනමුත් අවසානයේ දී රුසියාව විසින් එම නගරය අල්ලා ගනු ලැබුවේය. මෙහි වත්මන් තත්ත්වය, එනම් 2024 වසර වන විට යුද්ධය නව අවධියකට පිවිස ඇති බව හඳුනා ගත හැකි අතර පෙර පරිදි විශාල වශයෙන් භූමි අල්ලා ගැනීම් සිදු නොවූවත්, දෙපාර්ශවය ම ප්‍රබල මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරමින් සිටිති. මේ වනවිට යුක්‍රේනයට බටහිර රටවල්වලින් ලැබෙන ආධාර අත්‍යවශ්‍ය වී ඇති අතර රුසියාව සිය ප්‍රහාර තවදුරටත් තීව්‍ර කරමින් සිටියි.

e6538be62dc41ef70d1cf8a8176c0cfd.jpg


රුසියාවේ හා යුක්‍රේනයේ යුධ ශක්තිය 
රුසියාවේ සහ යුක්රේනයේ හමුදා ශක්තිය සැසඳීමේ දී රුසියාවට සැලකිය යුතු වාසිදායක තත්ත්වයක් තිබුණ ද යුද්ධය පුරා යුක්රේනය විශිෂ්ට ලෙස සටන් කර ඇති බව ඉතිහාසය සාක්ෂි දෙනු ලබයි. ඒ සඳහා බටහිර රටවලින් ලැබෙන සහයෝගය නිසා ඔවුන්ගේ යුධ හැකියාවන් ශක්තිමත් වී ඇති බව ද නොරහසකි.

  • රුසියාවේ යුධ ශක්තිය
    ලෝකයේ දෙවැනි - තෙවැනි විශාලත ම හමුදා බලය ලෙස රුසියාව සැලකෙන අතර ඔවුන් සතුව විශාල හමුදා බලඇණියක්, ආයුධ සංචිතයක් පවති. හමුදා සාමාජිකයන් ගත් කළ ක්‍රියාකාරී හමුදා සාමාජිකයන් 1.1 සිට 1.5 දක්වා වන අතර ඊට අමතරව විශාල සංචිත හමුදා බලඇණියක් ද පවති. රුසියානු ආරක්ෂක වියදම් සඳහා 2024 වසරේ දී සිය දළ දේශීය නිෂ්පාදිතයෙන් 7% කට වඩා ප්‍රමාණයක් හමුදා වියදම් සඳහා වෙන් කර ඇත. මෙය අමෙරිකානු ඩොලර් බිලියන 149 ක් පමණ වන ඉතා දැවැන්ත අගයක් වීම සුවිශේෂි කරුණකි. ආයුධ සහ උපකරණ පිළිබඳව සැලකීමේ දී යුධ ටැංකි 15,000 කට අධික ප්‍රමාණයක් ද, යුධ ගුවන් යානා 1,458 කට අධික සංඛ්‍යාවක් ද, නාවික හමුදාව වශයෙන් නැව් සහ සබ්මැරීන් ඇතුළු නෞකා 866 ක් ද රුසියාව සතු වෙයි. එමෙන් ම තාක්ෂණය අතින් ගත් කළ රුසියාව ලොව විශාලත ම න්‍යෂ්ටික අවි ගබඩාව සතු වූ රටයි. ඔවුන් අති නවීන මිසයිල සහ වෙනත් යුධ උපකරණවලින් සන්නද්ධ වූ බලවත් රාජ්‍යයකි. එලෙස ම රුසියාව යනු ලොව දෙවැනි විශාලත ම ආයුධ අපනයනකරුවා වන අතර ඔවුන්ගේ හමුදා උපකරණ නිෂ්පාදන කර්මාන්තය ඉතා ශක්තිමත්ව වර්ධනය වී ඇත.
26c3884bfc2e8cb7502a82d55607ed41.jpg
  • යුක්රේනයේ යුධ ශක්තිය
    යුද්ධයට පෙර යුක්රේනයේ හමුදාව කුඩා එකක් වූ නමුත් 2022 ආක්‍රමණයෙන් පසු එය විශාල වශයෙන් වර්ධනය විය. හමුදා සාමාජිකයන් ගත් කළ ක්‍රියාකාරී හමුදා සාමාජිකයන් මිලියනයකට ආසන්න ප්‍රමාණයක් සිටින අතර ඊට අමතරව මිලියන 4 කට අධික සංචිත හමුදා බලඇණියක් ද පවති. එරට ආරක්ෂක වියදම් සඳහා යුද්ධයට පෙර අඩු වියදමක් දරූ නමුත් බටහිර රටවල්වලින් ලැබෙන ඩොලර් බිලියන 120කට වැඩි හමුදා ආධාර නිසා ඔවුන්ගේ වියදම් විශාල වශයෙන් ඉහළ ගොස් ඇත. ආයුධ සහ උපකරණ පිළිබඳව සැලකීමේ දී යුධ ටැංකි 1,000 කට ආසන්න ප්‍රමාණයක් ද, යුධ ගුවන් යානා 66 කට අධික සංඛ්‍යාවක් ද, නාවික හමුදාව වශයෙන් නෞකා 36 කට ආසන්න ප්‍රමාණයක් ද පවති. යුක්රේනයට ලැබෙන බටහිර ආධාර නිසා ඔවුන් සෝවියට් යුගයේ පැරණි ආයුධ වෙනුවට නේටෝ ප්‍රමිතියේ නවීන යුධ උපකරණ යුද්ධය සඳහා යොදා ගන්නා අතර විශේෂයෙන් ම ඩ්‍රෝන යානා නිෂ්පාදනය සහ භාවිතය සම්බන්ධයෙන් විශාල දියුණුවක් ලබා ඇති බව ද වාර්තා වේ.

කෙසේ නමුත් වත්මන් සටන් බිමේ තත්ත්වය සලකන කල්හි යුද්ධය තවමත් දැඩි ලෙස සිදුවන අතර දෙපාර්ශවය ම මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මගින් තත්ත්වය තීව්‍ර කර ඇති බව හඳුනා ගත හැක. රුසියානු හමුදා ප්‍රධාන වශයෙන් ඩොනෙට්ස්ක් ප්‍රදේශයේ ඉදිරියට යමින් සිටින අතර ඔවුන් ලුහාන්ස්ක් ප්‍රාන්තයේ සම්පූර්ණ පාලනය සහ චාසිව් යාර් වැනි උපායමාර්ගික නගර යටත් කරගෙන ඇත. මේ වන විට රුසියාව, යුක්රේන භූමියෙන් 20%ක් පමණ අත්පත් කරගෙන ඇති බව ද වාර්තා වේ. මින් පසුබට නොවන යුක්රේනය, රුසියාව තුළට ම ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරමින් සිටියි. මෑතක දී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඇලස්කාවේ දී සාකච්ඡා සිදු කළ අතර එහි දී පුටින් යුක්රේනයට නේටෝවට සම්බන්ධ වීමෙන් වැළකී සිටිය යුතු බවට සහ බටහිර හමුදා එරටින් ඉවත් විය යුතු බවට යෝජනා කළ බව වාර්තා විය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිශ්චිත ගිවිසුමක් ඇති වී නොමැත. යුක්රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි අවධාරණය කරන්නේ තම භූමියෙන් කිසිවක් රුසියාවට පවරා දිය නොහැකි බවයි. මේ අතර ඇමරිකාව, යුක්රේනය සඳහා ඩොලර් බිලියන 61ක ආධාර පැකේජයක් අනුමත කර ඇත. එමෙන් ම උතුරු කොරියාවේ හමුදා භට පිරිස් රුසියාවට යුද්ධයේ දී සහය දක්වන බව වාර්තා වේ. යුද්ධය සාමකාමී තත්ත්වයකට පත්වෙතැයි ලොවක් දෑස් දල්වා බලාසිටියි. මන්ද මින් අසරණ වන්නේ සාමාන්‍ය සිවිල් පුරවැසියන් වන බැවිනි.

සැකසුම - ප්‍රසිලා සඳරුවනි
 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required