
අතීතයේ සිටම මිනිසාගේ රූපලාවන්‍ය නිර්වචනය වූයේ හුදු පෙනුමකින් පමණක් නොවේ. එය එක් එක් සංස්කෘතියේ අනන්‍යතාව, සමාජ තරාතිරම සහ වයස අනුව වෙනස් විය. බහුලව මුහුණට පවුඩර් දැමීමේ ක්‍රමවේදවල සිට ඇතැම්විට අමානුෂික යයි හැඟෙන ශරීර අංග ඡේදනය දක්වා විවිධ චාරිත්‍රයන් මේ සඳහා යොදාගෙන තිබේ. අදටත් අප ජීවත්වන ලෝකයේ සමහර ජනකොටස් අතර, මේ චාරිත්‍ර තවමත් ජීවමානව පවතී. ඒවා හුදෙක් රූපලාවන්‍ය ක්‍රම පමණක් නොව, ඔවුන්ගේ ඉතිහාසය හා අනන්‍යතාවය කියාපාන සලකුණුය. එබැවින් අද අපි මේ සුවිශේෂී චාරිත්‍ර තවමත් ආරක්ෂා කරගෙන සිටින ජනකොටස් කිහිපයක් ගැන තොරතුරු ඔබ හා බෙදා ගැනීමට සූදානම්.
- නවසීලන්තයේ මාඕරි ගෝත්‍රය : ‘Ta Moko’ කලාවේ සුවිශේෂත්වය
ලොව පුරා සංස්කෘති අතර සිරුර මත සලකුණු කිරීමේ කලාවට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. නවසීලන්තයේ මාඕරි ගෝත්‍රිකයන් අතර ‘Ta Moko’ නමින් හැඳින්වෙන පච්ච කෙටීමේ සිරිත එවැනි අතීතයක සුන්දරත්වය කියාපායි. ඔවුන්ගේ විශ්වාසයට අනුව, මුහුණ පුරා පච්ච කොටාගත් කාන්තාවන් ඉතාමත් රූමත්ය. මෙම සිරිත ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම අනුගමනය කලද, පච්ච කෙටීම සිදුකරන ස්ථාන ස්ත්‍රී පුරුෂ භාවය අනුව වෙනස් වේ. පුරුෂයන් බොහෝවිට මුහුණ, තට්ටම් හා කලවා මත මෙම සලකුණු තබන අතර, කාන්තාවන් ඒවා තොල් සහ නිකට මත සටහන් කර ගැනීමට වැඩි නැඹුරුවක් දක්වයි. ඊට අමතරව නළල, බෙල්ල, පිට සහ තට්ටම් මතද මෙම පච්ච දැකිය හැකිය. ඉදිකටුවක් වෙනුවට කැපුම් කටුවක් භාවිතා කිරීම නිසා මෙම පච්ච බොහෝ විට රළු හා ඉලිප්පුම් සහිත ස්වභාවයක් ගනී. විසිවන සියවසේ මැද භාගය වන විට මෙම සිරිත ක්‍රමයෙන් අවසන් වූවත්, එම සියවසේ අගභාගයේදී සංස්කෘතික අනන්‍යතාවය සුරැකීමේ ව්‍යාපාරයක් ලෙස මෙය නැවතත් ජනප්‍රිය විය. වර්තමානයේ සාම්ප්‍රදායික කැපුම් ක්‍රම වෙනුවට නවීන පච්ච කෙටීමේ තාක්ෂණයන් මේ සඳහා භාවිතා වේ.‘Ta Moko’ යනු හුදු පච්චයක් පමණක් නොවේ. මාඕරි ජාතිකයකුගේ අනන්‍යතාවයේ සලකුණක් ලෙස සැලකේ. හැම මෝස්තරයක්ම එම පුද්ගලයාගේ පෙළපත, ජයග්‍රහණ සහ සමාජ තරාතිරම නිරූපණය කරයි. එය පුද්ගලයෙකුගේ මුළු ජීවිත කතාවම මුහුණ මත සටහන් කිරීමක් ලෙස හැඳින්විය හැකිය. එසේම මාඕරි සමාජයේ ඉහළම තරාතිරම්වල සිටි ප්‍රධානීන් සහ රණශූරයන් සඳහා ‘Ta Moko’ අත්‍යවශ්‍ය අංගයක් විය. එය ඔවුන්ගේ බලය, ගෞරවය හා අභිමානය කියා පෑවේය. බොහෝ විට, කාන්තාවන්ට ද ‘Ta Moko’ ලබා දුන්නේ ඔවුන්ගේ පෙළපතෙහි ඇති ගෞරවය මතයි. ‘Ta Moko’ ශෛලියේ ඇති මෝස්තර බොහෝ විට සොබාදහම මානව රූප සහ සත්ව රූප වලින් සමන්විත වන අතර නිදසුනක් වශයෙන් සමහර මෝස්තර වල කුරුල්ලන්ගේ පිහාටු, මාළුවන්ගේ කොරපොතු හෝ ශාකයක ස්වරූපයක් දැකිය හැකිය. මෙම සෑම සංකේතයකටම විශේෂ අර්ථයක් පැවති අතර, එය පැළඳ සිටින්නාගේ පෞද්ගලික ඉතිහාසය විදහා පෑවේය.
- සංකේතවල සැඟවුණු අර්ථයන්
කොරු (Koru) : මෙය නවසීලන්තයේ හඳුන් ශාකයේ අලුතින් වැඩෙන දල්ලක් මෙන් සර්පිලාකාර හැඩයක් ගනී. එය නව ජීවිතය, වර්ධනය සහ නව අර්ථයන් සංකේතවත් කරයි. බොහෝ විට, පවුලේ සාමාජිකයන් සහ පරම්පරා නිරූපණය කිරීමට මෙය යොදා ගනී.
මනෛයා (mania) : මෙය මිනිසකුගේ සිරුර,මාළුවෙකුගේ වලිගය හා පක්ෂියෙකුගේ හිසකින් යුත් රූපයකි. මනෛයා යන ස්වර්ගය, පොළව, සහ ජලය අතර සිටින ආත්මික ආරක්ෂකයා ලෙස සැලකේ. එය නපුරු බලවේග වලින් ආරක්ෂාව සපයන බවට විශ්වාසයක් ඇත.
හයි මාතෝ (Hei Matau) : මෙය මාළු කොක්කක හැඩය ගනී. මාඕරිවරුන්ට මුහුදෙන් ලැබෙන ආහාර ඉතා වැදගත් වූ නිසා මෙම සංකේතය සෞභාග්‍යය, සමෘද්ධිය, යහපත් සෞඛ්‍ය හා ජලය හරහා සිදු කරන ආරක්ෂිත ගමන් සංකේතවත් කරයි.
පකතී (Pakati) : මෙය සුනඛ සමෙන් සාදන ලද සරමක රටාවක් මෙන් දිස්වන අතර, නිර්භීතකම,ධෛර්ය හා පෞරුෂත්වයේ සංකේතයකි.
සාම්ප්‍රදායිකව, ‘Ta Moko’ සිදු කළේ උහි (uhi) නම් වූ කැපුම් කටු භාවිතයෙනි. මෙම කටු මෝර දත්, තියුණු අස්ථි හෝ තියුණු ගල් වලින් සකස් කරගෙන තිබේ. මෙම ක්‍රමවේදයෙන් සම මත ගැඹුරු ඉලිප්පුම් සලකුණු ඇති වූ අතර, ඒවා ලී කැටයම් වලට සමාන විය. තීන්ත සදහා පුළුස්සා දැමූ දැව හෝ වෙනත් භාවිත ද්‍රව්‍ය වලින් සාදා ගත් වර්ණක යොදාගෙන ඇත. මෙම ක්‍රියාවලිය ඉතාම පූජනීය සහ චාරිත්‍රානුකූල එකක් විය. එය බොහෝ විට වයස අවුරුදු 16 ක් වැනි කාලයකදී ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකේ. යටත් විජිත බලපෑම හේතුවෙන් ‘Ta Moko’ ක්‍රමයෙන් අඩුවී ගියද 1970 දශකයේ සිට එය මාඕරි ජාතිකයන්ගේ සංස්කෘතික අනන්‍යතාව නැවත ගොඩනැගීමේ ව්‍යාපාරයක ප්‍රබල සංකේතයක් බවට පත් විය. අද වන විට ‘Ta Mako’ යනු ගෝලීය වශයෙන් පිළිගත් කලාවක් වන අතර, නවීන පච්ච කෙටීමේ යන්ත්‍ර බහුලව භාවිතා වූවත්, තවමත් සාම්ප්‍රදායික 'උහි' ක්‍රමවේදය භාවිතා කරන ශිල්පීන් සිටිති. වර්තමානයේ මාඕරී ජාතිකයන් තම සම්ප්‍රදායික සිරිත් විරිත්, විශේෂයෙන්ම ‘Ta Moko’ කලාව, පරම්පරාව වෙත ලබාදෙමින් සිටින අතර, එය ඔවුන්ගේ අතීතයට, වර්තමානයට සහ අනාගතයට ඇති බැඳීම පෙන්වන අභිමානවත් සංකේතයක් බවට පත්ව ඇත. ඇත්තෙන්ම ‘Ta Mako’ යනු අතීතයේ සිටම මාඕරි ජාතිකයන්ගේ ජීවිතය සමඟ බැඳී පැවති ගැඹුරු, සංස්කෘතික සලකුණකි. එහි අතීතය හා වර්තමානය අතර විවිධ වෙනස්කම් දැකගත හැකිය. මාඕරි ජනප්‍රවාදයට අනුව 'Ta Moko' කලාව අපායෙන් මෙලොවට ගෙනාවේ මතයෝර (Matora) නම් ප්‍රධානියා විසින් බව පැවසේ. ඔහුගේ බිරිඳ වූ නීවාරේකා (Niwareka) ඔහු සමග වූ ආරවුලකින් පසු අපායට පලා ගිය අතර ඇයව සොයා ගිය මතයෝරට ඇගේ පියා විසින් මෙම පච්ච කෙටීමේ කලාව උගන්වා ඇත. එසේම මෙම ක්‍රියාවලිය චාරිත්‍රානුකූලව සිදුවූ අතර, පච්ච සිදු කිරීම සිදුකරන ශිල්පියා (Tohunga fa mola) සමාජයේ ඉහළ ගෞරවයකට පාත්‍ර විය. මිෂනාරිවරු මෙය 'අප්‍රබුද්ධ' ක්‍රියාවක් ලෙස සැලකූ අතර, අධික ලෙස වේදනාව ඇති කිරීම සහ බටහිර සංස්කෘතියට අනුගත නොවීම හේතුවෙන් එය තහනම් විය. කෙසේ නමුත් 20 වන සියවස අගභාවයේදී මාඕරී ජාතිකයන් ඔවුන්ගේ අනන්‍යතාවය නැවත ගොඩනැගීමට ගත් උත්සාහයත් සමඟ ‘Ta Moko’ කලාව නැවතත් පණ පෙවී ඇත. අද වන විට මෙය ලොව පුරා ප්‍රසිද්ධ සංස්කෘතික සංකේතයක් බවට පත්වී ඇති අතර, එය මාඕරිවරුන්ගේ අභිමානය සහ ආත්ම විශ්වාසය විදහා දක්වයි. අතීතයේදී ප්‍රධාන වශයෙන් ගෝත්‍රික රටාවන් හා පෙළපතට අදාළ සංකේත භාවිතා වූවත් වර්තමානයේදී පච්ච මෝස්තර වඩාත් පෞද්ගලික කතා පදනම් කරගනී. කෙසේ වෙතත් මෙම නව නිර්මාණ පවා සාම්ප්‍රදායික ‘Ta Moko’ නීතිය හා සංකේත මත පදනම් වී ඇත. වර්තමානයේ විවිධ වෙනස්කම් පැවතුණද ‘Ta Moko’ හි මූලික අරමුණ කිසිදා වෙනස් වී නැත. එය අදටත් පුද්ගලයෙකුගේ අනන්‍යතාව, ඉතිහාසය සහ ඔවුන්ගේ ගෝත්‍රය සමග ඇති බැඳීම පෙන්වන සුවිශේෂී සංකේතයක් ලෙස පවතී.
- දිගු බෙල්ලේ අරුමය: කායන් ලාහ්වි ගෝත්‍රයේ සුන්දරත්වයේ රහස
ලොව පුරා සංස්කෘතීන් තුළ සුන්දරත්වය නිර්වචනය වී ඇති ආකාරය විස්මයජනකය. මියන්මාරයේ කායන් ලාහ්වි ගෝත්‍රික කාන්තාවන්ගේ රූමත් බව මනින ප්‍රධාන මිනුමක් වන්නේ ඔවුන්ගේ දිගු බෙල්ලයි. මෙම සුවිශේෂී රූපලාවන්නේ චාරිත්‍රය පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන පුරාණ සිරිතකි. කායන් ලාහ්වි දැරියක් වයස අවුරුදු පහේදී පමණ ඇගේ බෙල්ලට පිත්තල වළලු පළඳවයි. වයසින් මුහුකුරා යන විට පැළඳ සිටින වළලු ඉවත් කර දඟර වැඩි ප්‍රමාණයක් සහිත නව වළලු පළඳවනු ලබයි. මෙම ක්‍රියාවලිය මගින් ඇගේ බෙල්ල ක්‍රමයෙන් දිගුවූවක් වැනි දෘශ්‍යමාන පෙනුමක් ලබාදෙයි සැබැවින්ම සිදුවන්නේ ගෙලෙහි අස්ථි දිගුවීමක් නොව උරහිස් පහළට තෙරපීමෙන් ව්‍යාජ දිගක් ගෙලට ලබා දීමයි දීමයි. ඇතැම් කාන්තාවන් ජීවිත කාලය පුරාම මෙම වළලු පැළඳ සිටින අතර තවත් සමහර ඒවා ඉවත් කර දමති. වළලු වලින් හිසට ආධාර ලැබෙන නිසා බෙල්ලේ මාංශ පේශි දුර්වල වුවද යම් කාලයක් වළලු නොපැළඳ සිටීමෙන් පේෂි යතා තත්ත්වයට පත්වන බව පැවසේ. මෙම අද්භූත චාරිත්‍රයට විවිධ අර්ථකථන පවතින අතර ඒවා අතර සැඟවුණු රහස් රැසක් ද තිබේ.
- කායන් ලාහ්වි චාරිත්‍රයේ සැඟවුණු රහස් සහ අතීතය
කායන් ලාහ්වි ගෝත්‍රිකයන්ගේ ඉතිහාසය ආරම්භ වන්නේ 12 වන සියවසේ මොංගෝලියානු ආක්‍රමණයන්ට පසුවයි. ඔවුන් චීනයෙන් පැමිණ මියන්මාරය නැගෙනහිර ප්‍රදේශයේ පදිංචි වූ අතර දිගු බෙල්ලේ චාරිත්‍රය ආරම්භ වූයේ මීට සියවස් ගණනාවකට පෙර යයි විශ්වාස කෙරේ. අතීතයේදී මෙම වළලු පළඳින ලද්දේ තම ගෝත්‍රයේ අනන්‍යතාවය ආරක්ෂා කර ගැනීම සඳහා යැයි මතයක් පවතී. සිංහයා සහ මකරා වැනි සතුන්ගෙන් පැවත එන බවට ඔවුන් විශ්වාස කළ නිසා දිගු බෙල්ල මෙම සතුන්ගේ ලක්ෂණයක් ලෙස සැලකූහ. තවත් විශේෂයක් වන්නේ මෙම වළලු, වන සතුන්ගෙන් විශේෂයෙන්ම ව්‍යාග්‍රයන්ගෙන් ආරක්ෂා වීමට යොදාගත් ක්‍රමයක් බවයි. ව්‍යාග්‍රයන් බෙල්ලට පහරදී ගොදුරු අල්ලා ගන්නා බැවින් පිත්තල බලලු මගින් මෙම ප්‍රහාරයෙන් ආරක්ෂාව සපයන බවට විශ්වාසයක් පැවතිණි. ඒ වගේම වෙනත් ගෝත්‍රිකයන් විසින් කායන් ලාහ්වි කාන්තාවන් වහල් භාවයට ගැනීම වැළැක්වීම සඳහා මෙම වළලූ පළඳින බවද පැවසේ. අතීතයේ මෙන්ම වර්තමානයේදී ද දිගු බෙල්ලක් සහිත කාන්තාවන් සමාජයේ ඉහළ ගෞරවයක් ලබති. එය ධනය, සමාජ තරාතිරම සහ සුන්දරත්වය සංකේතවත් කරයි. කාන්තාවකගේ බෙල්ලේ වළලු වැඩිවන තරමට ඇය ධනවත් හා සමාජය පිළිගත් තැනැත්තියක් ලෙස සැලකේ. අද වන විට මෙම ගෝත්‍රය විදේශීය සංචාරකයින්ගේ ප්‍රධාන ආකර්ෂණයක් බවට පත්වී ඇත. ඔවුන්ව දිගුබෙල්ල ඇති කාන්තාවන් ලෙස හඳුන්වනු ලබන අතර සංචාරක කර්මාන්තය ඔවුන්ගේ ආර්ථිකයට විශාල පිටුවහලක් සපයා ඇත.මේ නිසා තරුණ කාන්තාවන් පවා මෙම චාරිත්‍රය දිගටම පවත්වාගෙන යන්නේ එය සංස්කෘතියක් ලෙස මෙන්ම ජීවනෝපායක් ලෙසද පවතින බැවිනි. වර්තමානයේ දී කායන් ලාහ්වි ගෝත්‍රය තරුණ පරම්පරාව අතර මෙම චාරිත්‍රය පිළිබඳ විවිධ මත පවතී. සමහරු එය තම සංස්කෘතියේ අභිමානය ලෙස සලකන අතර තවත් සමහරුන්ට එය බාධාවක් ලෙස දැනේ. ගෝත්‍රයේ තරුණයින්ගේ අධ්‍යාපනය සහ නවීන ලෝකයට අනුගත වීමත් සමග මෙම චාරිත්‍රය අනාගතයේදී වෙනස් විය හැකි බවට විද්වතුන් පෙන්වා දෙන නමුත් ඔවුන්ගේ සුවිශේෂීත්වය සහ සංස්කෘතික අනන්‍යතාවය ලොවට විදහා දක්වන වැදගත් සංකේතයක් ලෙස එය තව දුරටත් පැවතුනු ඇත.
- චීනයේ ලෝටස් පාද : සුන්දරත්වයේ අඳුරු පැතිකඩ
අතීත චීන සමාජයේ රූපලාවණ්‍ය මිමි අතර සුවිශේෂීවූත්, වේදනාකාරී වූ චාරිත්‍රයක් විය. ඒ කාන්තාවන්ගේ කුඩා පාද පියකරු බවට සලකා සිදුකළ පියුම් පාද චාරිත්‍රයයි. දහවන සියවසේ දී පමණ ඇරඹි මෙම සිරිත විසිවන සියවස වන විට චීන රජය විසින් සම්පූර්ණයෙන්ම තහනම් කරන ලදී. මෙම අමානුෂික චාරිත්‍රය සිදු කළේ බොහෝවිට ඉහළ පැලැන්තයේ කාන්තාවන් අතරයි. කුඩා කොට බැඳ ඇති පාද නිසා සාමාන්‍ය ගමනක් හෝ බර වැඩ කිරීමක් අපහසු වූ බැවින් පහත් පැලැන්තියේ කාන්තාවන් මෙවැනි චාරිත්‍රයකින් වැළකී සිටි අතර දැරියක් වයස අවුරුදු හතරත් නවයක් අතර කාලයේදී මෙම ක්‍රියාවලිය ආරම්භ කෙරේ. පළමුව ඖෂධීය උණුසුම් මිශ්‍රණයක පාද තෙමා ගැනීමෙන් පසුව පා ඇඟිලිවල නියපොතු කපා දමා පාදයේ පතුලට නැමෙන සේ ඇඟිලි බිඳ දමනු ලබයි. ඉන්පසුව පාදයේ ආරුක්කුව බිඳ දමා ඇගිලි සහ පාදයේ අඩිය එකට ගෑවෙන පරිදි තදින් රෙදි පටි වලින් බැඳීම සිදු කරයි. මෙම වේදනාකාරි ක්‍රියාවලිය දිනපතා නැවත නැවතත් සිදු කළ යුතුය. මෙම චාරිත්‍රය දැඩි වේදනාකාරී වූ අතර ඇතැම් විට ආසාදන සහ රුධිර විෂ වීම වැනි හේතු වූ නිසා මරණය පවා අත්විය හැකිය. එහෙත් මෙම චාරිත්‍රය මුල් කාලයේදී ඉතා සුලභව පැවැති අතර අදටත් පියුම් පාද සහිත ඉතා වයස්ගත කාන්තාවන් චීනයේ ජීවත් වේ.
- පියුම් පාද චාරිත්‍රයේ සැඟවුණු අරුත් සහ ඉතිහාසය
පියුම් පාද යනු හුදෙක් රූපලාවණ්‍ය චාරිත්‍රයක් පමණක් නොව එය එකල චීන සමාජයේ තත්ත්වය, ධනය සහ ගෞරවය සංකේතවත් කළේය. කුඩා පාදයක් තිබීම යනු කාන්තාවකට නිවසේදී හෝ බාහිරව බර වැඩ නොකළ යුතු බවට වූ සංකේතයකි. එය ධනවත් පවුලක පුරුෂයෙකු සමග විවාහ වීමට ඇති අවස්ථාව වැඩි කළේය.බොහෝ විට ඉතා කුඩා පාද විවාහ වෙළඳපොලේදී පවා ඉතා වටිනා ලෙස සලකනු ලැබිණි. මෙම චාරිත්‍රය චීන කවි කතා සහ චිත්‍ර කලාව තුළද නිරූපණය විය. කුඩා ලෝටස් පාද සාම්ප්‍රදායික චීන සපත්තු සඳහා ආකෘති වූ අතර ඒවා කලා කෘති ලෙස පවා සැලකිනි. සමහර චීන කවිවල පවා කුඩා පාද සහිත කාන්තාවන් විස්තර කර ඇත. මෙමගින් මෙම චාරිත්‍රය සාමාන්‍ය සමාජයේ කෙතරම් ගැඹුරට මුල් බැසගෙන තිබුණාද යන්න පැහැදිලි වේ. මෙම චාරිත්‍රය ඉතා වේදනාකාරී වූවා පමණක් නොව කාන්තාවන්ගේ සෞඛ්‍යයට ද අහිතකර බලපෑම් එල්ල කළේය. පාදයේ අස්ථි විකෘති වීම, ආසාදන සහ රුධිර සංසරණ ගැටලු බහුල විය. බොහෝ කාන්තාවන්ට නිවසේ ඇවිදීමට හෝ සමබරතාව පවත්වා ගැනීමට පවා අපහසු විය. විසි වන සියවස ආරම්භයේදී චීන රජය මෙම චාරිත්‍රයේ අමානුෂික බව සහ එහි සෞඛ්‍යමය බලපෑම් හඳුනාගෙන එය නීතියෙන් තහනම් කළේය. මෙය සමාජ ප්‍රතිසංස්කරණවල කොටසක් වූ අතර කාන්තාවන්ට වැඩි නිදහසක් ලබාදීමේ පියවරක් විය. අද වන විට මෙම චාරිත්‍රය සම්පූර්ණයෙන්ම භාවිතයෙන් ඉවත් වී ඇත. නමුත් එහි අතීතය සළකුණු ලෙස පියුම් පාද සහිත ඉතා වයස්ගත කාන්තාවන් අදටත් චීනයේ දුර්ලභව හමුවේ. ඔවුන්ගේ පාද එම යුගයේ කාන්තාවන් විඳි දුක් වේදනා සහ රූපාලාවන්‍ය වෙනුවෙන් කරන ලද කැපකිරීම් පිළිබඳව සාක්ෂි දරයි. වර්තමාන සමාජය රූපලාවන්‍ය මිමි පෙර පැවති මිමිවලට වඩා හාත්පසින් වෙනස්ය. අද කාන්තාවන්ගේ සුන්දරත්වය පවතින්නේ නිරෝගී බව, ශක්තිය සහ ස්වභාවික පෙනුම තුලයි. පියුම් පාද චාරිත්‍රය අද වන විට භයානක අතීතයක මතකයක් බවට පත්ව ඇත.
- සුන්දරත්වයේ අරුම පුදුම සලකුණු: සූර්මා සහ මුර්සි ගෝත්‍රිකයින්ගේ තොල් පලක
ලෝකයේ ඇතැම් සංස්කෘතීන් තුළ රූපලාවන්‍ය නිර්වචනය වී ඇත්තේ අප කිසිසේත්ම නොසිතන ආකාරයටයි. ඉතියෝපියාවේ වෙසෙන සුර්මා සහ මුර්සි ගෝත්‍රිකයින් අතර කාන්තාවකගේ අලංකාරය සංකේතවත් කරන්නේ ඇයගේ යටි තොලේ පළඳින ලද විශාල මැටි පළකයක් මගිනි. මෙම සුවිශේෂී චාරිත්‍රය සාමාන්‍යයෙන් තරුණියක් විවාහ වීමට වසරකට පමණ පෙර ආරම්භ කෙරේ. මෙහිදී ඉහළ හෝ පහළ තොල් පෙත්තෙහි සෙන්ටිමීටර් එකක් දෙකක් පමණ වූ කැපුමක් ඇති කර ඒ තුළට කුඩා ලී කැබැල්ලක් ඇතුළු කරනු ලබයි. සති කිහිපයකින් තුවාලය සුව වූ පසු වඩා විශාල ලී කැබැල්ලක් ඇතුල් කරනු ලබයි. ක්‍රමයෙන් මෙම සිදුරේ විෂ්කම්භය සෙන්ටිමීටර් හතරක් පහක් පමණ වූ විට පළමු මැටි පලකේ ඇතුල් කිරීම සිදුවේ. මෙම ක්‍රියාවලිය දිගින් දිගටම සිදුවන අතර අවසානයේදී මෙම සිදුර සෙන්ටිමීටර් අටේ සිට විස්ස දක්වා වූ විශාලත්වයක් දක්වා වර්ධනය විය හැකිය. මෙවැනි චාරිත්‍ර අදටත් ඇතැම් අප්‍රිකානු සහ ඇමසෝනියානු ගෝත්‍ර අතර දක්නට ලැබේ. කෙසේ වෙතත් වර්තමානයේ බොහෝ ගෝත්‍ර විසින් මෙම චාරිත්‍රය සිදු කරනවද නැද්ද යන්න තීරණය කිරීමේ අයිතිය තරුණියන්ට ලබා දී ඇත.
- මැටි පලක චාරිත්‍රයේ සැඟවුණු අර්ථ සහ සංකේත
මැටි පලක පැළඳීමේ චාරිත්‍රය ආරම්භ වූයේ කෙසේද යන්න පිළිබඳව විවිධ මත පවතී. එක් මතයක් වන්නේ වහල් වෙළඳාම පැවති කාලයේදී තම කාන්තාවන් වහල් වෙළදුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට ඔවුන්ගේ පෙනුම විකෘති කිරීම සඳහා මෙම ක්‍රම යොදාගත් බවයි. නමුත් තවත් විශ්වාසයක් වන්නේ එය ගෝත්‍රික අනන්‍යතාවය සහ සමාජ තත්ත්වය සංකේතවත් කළ බවයි. තොල් පලකය විශාල වන තරමටම එම කාන්තාව සමාජයේ උසස් තත්වයක් දරන බවට හෝ ඇගේ පවුල ධනවත් බවට හෝ සාක්ෂි දරයි. විවාහය සඳහා මනාලියක් තෝරා ගැනීමේදී මෙම පලකේ විශාලත්වය වැදගත් සාධකයක් විය. සමහර විට මෙම පලක මත සතුන්ගේ හෝ ශාකවල රටා ඇද ඇති අතර ඒවාට විශේෂිත අර්ථයක් පැවතිය හැකිය. නිදසුනක් වශයෙන් සමහර ගෝත්‍රවල මැටි පලකය විවාහක කාන්තාවන්ගේ සලකුණක් ලෙස සැලකේ. මුර්සි ගෝත්‍රික කාන්තාවන් ඔවුන්ගේ තොල්පලක ඉවත් කරන්නේ ආහාර ගැනීමේදී පමණි. අනෙක් සෑම අවස්ථාවකම එය පැළඳ සිටින අතර ඔවුන් එදිනෙදා ජීවිතයේ කොටසක් බවට පත්වීී ඇත. අතීතයේදී මැටිපලක පැළඳීම නිත්‍ය චාරිත්‍රයක් වූ අතර ඒ ප්‍රධාන වශයෙන් කාන්තාවගේ සමාජ තත්ත්වය සහ විවාහයට ඇති සූදානම තීරණය කළේය. එය ගෝත්‍රික සම්ප්‍රදායේ අත්‍යවශ්‍ය අංගයක් විය. නමුත් වර්තමානයේදී මෙම චාරිත්‍රය තවදුරටත් අනිවාර්ය දෙයක් නොවේ. තරුණ බොහෝ දෙනෙක් නවීන ජීවන රටාවන්ට අනුවර්තනය වී ඇති අතර මෙම චාරිත්‍රය අත්හැර දමා ඇත. නමුත් සංචාරක කර්මාන්තය නිසා මෙම සිරිත තවමත් ජනප්‍රිය වී පවතී. බොහෝ කාන්තාවන් සංචාරකයින්ගේ ආකර්ශනය දිනා ගැනීම සඳහා මෙම පලක පැළද සිටින අතර එය ඔවුන්ගේ ආදායම් මාර්ගයක් බවට පත්වී ඇත. කෙසේ වෙතත් මෙය සංස්කෘතික අනන්‍යතාවය සහ ආර්ථිකය අතර ඇති සියුම් සමබරතාවය විදහා දක්වයි. සුර්මා සහ මුර්සි ගෝත්‍රිකයින්ගෙ ඉතිහාසය, අභිමානය සහ ඔවුන්ගේ විශ්වාසයන් ලොවට විදහා දක්වන සුවිශේෂී සංකේතයක් ලෙස අදටත් පවතී.
- මොරිටේනියාවේ සෞභාග්‍යයේ සංකේතය - ලෙබ්ලූහ් චාරිත්‍රය
ලෝකයේ ඇතැම් සංස්කෘතීන් තුළ සුන්දරත්වය නිර්වචනය වී ඇත්තේ අප කිසිසේත්ම නොසිතන ආකාරයටයි. බටහිර අප්‍රිකානු රටක් වන මොරිටේනියාවේ ජනතාව විශ්වාස කරන්නේ අධික ලෙස තරබාරු කාන්තාවන් ඉතාමත් රූමත් බවත් ඔවුන් විවාහයට ඉතා සුදුසු තරබාරු සිරුරක් සෞභාග්‍යයේ සහ ධනයේ සංකේතයක් ලෙසත් සැලකේ. මෙමසුවිශේෂී චාරිත්‍රය ලෙබ්ලූහ් ලෙස හැඳින්වේ. මෙම චාරිත්‍රයට අනුව කුඩා දැරියන් සහ තරුණියන් බලහත්කාරයෙන් අධික ලෙස ආහාර අනුභව කිරීමට යොමුකරයි.මෙම ක්‍රියාවලිය සඳහා පුහුණු වූ වැඩිහිටි කාන්තාවන් සෑම ගම්මානයකම පාහේ සිටින අතර ඒ සඳහාම වෙන් වූ ගොවිපළවල් ද දැකගත හැකියි. එවැනි ගොවිපලකදී දැරියකට දිනකට සාමාන්‍යයෙන් ඔටු කිරි ලීටර් 20කට අධික ප්‍රමාණයක් මෙනේරි කිලෝ ග්‍රෑම් දෙකක් සහ බටර් කෝප්ප දෙකක් ,ආහාරයට ගැනීමට සිදුවේ. එම ආහාර වේලෙන් දිනකට කැලරි 15,000 කට අධික ප්‍රමාණයක් ශරීරයට ලැබේ.
- ලෙබ්ලූහ් චාරිත්‍රයේ සැඟවුණු අරුත්
අතීතයේදී මෙම චාරිත්‍රයේ ප්‍රධාන වශයෙන් සමාජ තරාතිරම සංකේතවත් කළේය. තරබාරු කාන්තාවක් යනු ඇගේ පවුලට ආහාර හිඟයක් නොමැති බවත් ඔවුන් ධනවත් බවත් පෙන්වන සංකේතයකි. එය ධනවත් පවුලක පුරුෂයෙකු සමග විවාහ වීමට ඇති අවස්ථාව වැඩි කළේය. සිහින් සිරුරක්, දුප්පත්කමේ සහ පහත් සමාජ තරාතිරමේ සලකුණක් ලෙස සැලකූ අතර එය ලැජ්ජා සහගත දෙයක් ලෙස බොහෝ දෙනා සැලකූහ. අතීතයේදී ලෙබ්ලූහ් චාරිත්‍රය ඉතාම දරුණු ආකාරයට සිදු කෙරිණි. දැරියන් බලහත්කාරයෙන් ආහාර අනුභව කිරීමට යොමු කළ අතර ඔවුන් ආහාර ප්‍රතික්ෂේප කළොත් ශාරීරික දඩුවම් පවා ලබා දී ඇත. ඇතැම් විට ආහාර වමනය කළහොත් නැවත පානය කිරීමට පවා බල කළ අවස්ථා වාර්තා වෙයි. මෙම අමානුෂික ක්‍රියාවන් සඳහා සයියර් (Zayar) වැනි ක්‍රමද භාවිතා විය. ලොව පුරා සංස්කෘතීන් තුළ පැවති සහ පවතින මෙම අරුම පුදුම රූපලාවන්‍ය චාරිත්‍ර බැලූ බැල්මට අසෝබන, අප්‍රසන්න මෙන්ම අමානුෂික ලෙස පෙනෙන්නට පුළුවනි. එහෙත් අප ජීවත්වන සමාජයේ පවා මෙවැනිම පීඩාකාරී පෙනුම වෙනස් කරන චාරිත්‍ර විවිධ ස්වරූපයෙන් දක්නට ලැබේ. එබැවින් මේ සියලු චාරිත්‍ර දෙස හුදෙක් සෞන්දර්යාත්මක හෝ සදාචාරාත්මක ඇසකින් පමණක් බැලීම ප්‍රමාණවත් නොවේ. ඒ වෙනුවට ඒවා ඒ ඒ සමාජයේ පැවැත්ම විශ්වාසයන් සහ ඉතිහාසය සමඟ බැඳී ඇති අයුරු තේරුම් ගැනීම වැදගත්ය. මෙම චාරිත්‍ර හෙලා දකිනවාද නැතහොත් ඒවා තුළ ඇති සංස්කෘතික විවිධත්වය අගය කරමින් සිටිය යුතුද , ඒ ගැන සිතමින් බලා රස විඳිනවාද යන්න ඔබටම තීරණය කළ හැකිය.
මදුමාලිකා වික්‍රමසිංහ