
ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සිසුන්ට විශාල සෙතක් සලසන මහපොළ අරමුදල හුදෙක් ආධාරයක් පමණක් නොව එය ලලිත් ඇතුලත්මුදලි නම් දුරදක්නා නුවණක් ඇති දේශපාලනඥයෙකුගේ ජීවිත අත්දැකීමකින් උපන් අද්විතිය සංකල්පයකි. දශක ගණනාවක් පුරා මෙම අරමුදල මෙරට අඩු ආදායම්ලාභී සිසුන් දහස් ගණනකගේ උසස් අධ්‍යාපන සිහින සැබෑ කිරීමට අසීමිත දායකත්වයක් ලබා දී තිබේ.
මහපොළ අරමුදලේ ආරම්භක කතාව ඇතුලත්මුදලිගේ ම පෞද්ගලික අත්දැකීමක් මත පදනම් වූවකි. 1958 වසරේදී ඔහුගේ පියා වූ ඩැනියල් ඇතුළත් මුදලි මහතාගේ අභාවයෙන් පසු එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ සිය අධ්‍යාපන කටයුතු කරගෙන යාමට ලලිත්ට මූල්‍ය අභියෝග රැසකට මුහුණ දීමට සිදුවිය. එවකට අග්‍රාමාත්‍ය එස් ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා හමුවූ ඔහු තම ගැටලුව ඉදිරිපත් කළේය. බණ්ඩාරනායක මහතාගේ ප්‍රතිචාරය අතිශයින්ම මානුෂීය විය. "රෝඩ්ස් ශිෂ්‍යත්වය" වෙනුවට විශේෂ රාජ්‍ය ශිෂ්‍යත්වයක් ලලිත්ට ලබාදීමට බණ්ඩාරනායක මහතා කටයුතු කළ අතර, එය ඔහුගේ අධ්‍යාපනය සාර්ථකව නිමා කිරීමට විශාල රුකුලක් විය. මෙම ශිෂ්‍යත්වය ලලිත්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් විය. අනාගතයේදී තමන්ට මෙන් අසරණ වන දුප්පත් දරුවන් වෙනුවෙන් මෙවැනි ම අරමුදලක් පිහිටුවීමේ අදහස ඔහුගේ සිතේ මුල්බැස ගත්තේය.
1977 මහ මැතිවරණයෙන් රත්මලාන ආසනය ජයග්‍රහණය කරමින් පාර්ලිමේන්තුවට පිවිසී ලලිත් ඇතුලත්මුදලි වෙළඳ සහ නාවික අමාත්‍ය ධුරයට පත්විය. තම අදහස ක්‍රියාවට නැංවීමට මෙය කදිම අවස්ථාවක් බව ඔහු තේරුම් ගත් අතර රත්මලාන ආසනයේ සංවර්ධන කටයුතු සඳහා "රත්මලාන ආසන සංවර්ධන පදනම" පිහිටුවා, වෙළඳ ප්‍රදර්ශන සංවිධානය කරමින් අරමුදල් රැස් කිරීමට ඔහු පටන් ගත්තේය. මෙම ප්‍රදර්ශන මගින් උපයාගත් ලාභය යොදා ගනිමින් ප්‍රදේශයේ දුප්පත් දරුවන්ට නොමිලේ අධ්‍යාපන පහසුකම් ලබා දුන්නේය.
මෙම අත්හදා බැලීමේ සාර්ථකත්වය දුටු ඇතුලත්මුදලී 1980 වසරේ දී හිඟුරක්ගොඩ දී පැවති වෙළඳ ප්‍රදර්ශනයට මහපොළ යන නම යොදා ගත්තේය. මෙය මහපොළ අරමුදලේ උපත සනිටුහන් කළ තීරණාත්මක මොහොතක් විය. මෙම ප්‍රදර්ශන මාලාවෙන් රැස්වූ සැලකිය යුතු මුදල, සමස්ත රටම ආවරණය වන ශිෂ්‍යත්ව වැඩසටහනක් ආරම්භ කිරීමට ඔහුට ශක්තියක් විය.
නෛතික පදනම සහ ආරම්භය
1981 ඔක්තෝම්බර් 6 වැනිදා ඇතුළත් මුදලි මහතා" මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාරකාර අරමුදල" පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, එය බහුතර ජන්දයෙන් සම්මත විය. මෙලෙස මහපොළ සිහිනය යථාර්ථයක් බවට පත්විය. අරමුදලට අවශ්‍ය මුදල් රැස්කර ගැනීම සඳහා ඇතුලත්මුදලි මහතා ප්‍රදර්ශනවලදී විකිණීම සඳහා ලොතරැයියක් හඳුන්වා දුන් අතර, ජනතාව රටේ අනාගතය වෙනුවෙන් විශාල ලෙස එම ලොතරැයි මිල දී ගත්හ.
1981/82 අධ්‍යයන වර්ෂයේදී, මහපොළ අරමුදල යටතේ සිසුන් 422 දෙනෙකුට ප්‍රථම වරට ශිෂ්‍යත්ව ප්‍රධානය කෙරිණි. මේවා දක්ෂතා මත පදනම් වූ ශිෂ්‍යත්ව, අඩු ආදායම්ලාභී සිසුන් සඳහා වූ ශිෂ්‍යත්ව, රැකියාවක් කරමින් අධ්‍යාපනය ලබන සිසුන් සඳහා වූ ශිෂ්‍යත්ව සහ විශේෂ පරිත්‍යාගශීලී ශිෂ්‍යත්ව ලෙස වර්ග හතරක් යටතේ ක්‍රියාත්මක විය. වසරින් වසර වර්ධනය වූ මහපොළ අරමුදල 1990/91 වසර වන විට ශිෂ්‍යත්ව 3615ක් ලබාදෙන තත්ත්වයට විය. ඉන්පසු පත්වුණු රජයන්ද මහපොළ ශිෂ්‍යත්ව වැඩසටහන අඛණ්ඩව ඉදිරියට ගෙන ගියේය. 1992 වසරේදී මහ පොළ ශිෂ්‍යත්ව ලාභියෙකුට මසකට රුපියල් 1000 බැගින් ලබා දී එය 5000 දක්වා වැඩි වූ නමුත් ඉන්පසු පසුගිය කාලය තුළ ජීවන වියදම් වැඩිවීමට සාපේක්ෂව මහපොළ ශිෂ්‍යත්ව මුදල වැඩි වී නොමැති බව පැහැදිලිවම පෙනෙන කරුණකි. කෙසේ නමුත් 2025 වසරේදී නවක රජය විසින් එය රුපියල් 5000 සිට 7500 දක්වා වැඩිකරන ලදී.
ලලිත් ඇතුලත්මුදලි විසින් අසූව දශකයේදී හඳුන්වා දුන් මහපොළ අරමුදල මගින් එදා මෙදා තුර ප්‍රතිලාභ ලබා ගත් දිළිඳු දරු දැරියන් ප්‍රමාණය බොහෝයි. එසේම මහපොළ ශිෂ්‍යත්වය මගින් හෙට දවසේදීත් දරු දැරියන් රැසකට සහන සැලසෙනු ඇති බවට කිසිදු සැකයක් නැත. ලලිත් ඇතුලත් මුදලි මහතාගේ දැක්ම සහ කැපවීම නිසා බිහි වූ මහපොළ අරමුදල, අදටත් මෙරට දහස් ගණනක් සිසුන්ගේ අධ්‍යාපන ගමනට විශාල ශක්තියක් වෙමින් අඛණ්ඩව ක්‍රියාත්මක වේ. එය හුදෙක් මුදල් ආධාරයක් පමණක් නොව මිනිසෙකුගේ ජීවිත අත්දැකීමකින් උපන් රටේ අනාගතය වෙනුවෙන් කළ සදාතනික ආයෝජනයකි.
මදුමාලිකා වික්‍රමසිංහ