/
/
title icon
GLOBAL EYE - යේමනයේ හූති රජයේ අග්‍රාමාත්‍යවරයාට ද දිවි අහිමි කළ ඉශ්‍රායල් - යේමන් යුද්ධයේ සුල මුල
GLOBAL EYE - යේමනයේ හූති රජයේ අග්‍රාමාත්‍යවරයාට ද දිවි අහිමි කළ ඉශ්‍රායල් - යේමන් යුද්ධයේ සුල මුල
Presila Sandaruwani
3 days ago
Share:
GLOBAL EYE -  යේමනයේ හූති රජයේ අග්‍රාමාත්‍යවරයාට ද දිවි අහිමි කළ ඉශ්‍රායල් - යේමන් යුද්ධයේ සුල මුල

හූති ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් අගෝස්තු 25 වන දින ඊශ්‍රායලය විසින් යේමනයේ අගනුවර වෙත ප්‍රහාර මාලාවක් එල්ල කර තිබූ අතර ඉන් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තිබුණි. එම ප්‍රහාරවලින් තවත් පුද්ගලයින් 86 දෙනෙකු තුවාල ලබා ඇති බව ද හූති සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර තිබුණි. කෙසේ නමුත් ඊශ්‍රායල හමුදාවේ ප්‍රකාශය වූයේ යේමනයේ ජනාධිපති මන්දිරයේ පිහිටා ඇති හමුදා සංකීර්ණයක්, විදුලි බලාගාර දෙකක් සහ ඉන්ධන ගබඩා ස්ථානයක් තම ඉලක්ක අතරට ඇතුළත් වු බවයි. නමුත් එම ප්‍රදේශවලට හානි වූවාද යන්න තවමත් ප්‍රකාශයට පත්කොට නැත.

ඊශ්‍රායලය සහ යේමනය අතර සෘජු යුද්ධයක් නොමැති නමුත් ගාසා තීරයේ සිදු වන යුද්ධය හේතුවෙන් ඊශ්‍රායලය සහ යේමනයේ හූති කැරලිකරුවන් අතර දැඩි ගැටුම්කාරී තත්වයක් පවතී. හූතිවරුන් ඉරානයේ සහාය ලබන කණ්ඩායමක් වන අතර ඔවුන් පලස්තීනුවන්ට සහය පළ කරමින් ඊශ්‍රායලයට සහ රතු මුහුදේ ගමන් කරන නෞකාවලට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරනු ලබයි. මෙම ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය යේමනයේ හූතිවරුන්ගේ පාලනය යටතේ පවතින ප්‍රදේශවලට ගුවන් ප්‍රහාර එල්ල කරයි. ඊයේ දින එනම් අගෝස්තු මස 30වන දින ඊශ්‍රායල විසින් සානා ප්‍රදේශයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් යේමනයේ හූති පාලන කොටසේ අග්‍රාමාත්‍යවරයා වන අහමඩ් අල්-රහාවි මිය ගොස් ඇති බව ද ඒ සමග ම තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ම මිය ගිය බව හූති කැරලිකරුවන්  නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණි. 2024 වසරේ අගෝස්තු මාසයේ සිට හූති ප්‍රමුඛ රජයේ අගමැති ලෙස මොහු කටයුතු කර ඇත.

572253f1dc6dc6babb08dd0e790b1a2c.jpg

යේමනය, ගාසා තීරය සහ ඊශ්‍රායලය යන රටවල්වල භූගෝලීය පිහිටීම සලකන කල්හි ඒවා එකිනෙකින් බොහෝ දුරින් පිහිටන අතර ඒවා අතර සෘජු භූමි මායිම් නොමැත. ඊශ්‍රායලය සහ ගාසා තීරය යන කලාප දෙක එකිනෙක මායිම්ව පවතින අතර ඒවා භූගෝලීයව ඉතා සමීපය. ගාසා තීරය, ඊශ්‍රායලයට බටහිරින් පිහිටා ඇති අතර එය ඊශ්‍රායලය සහ ඊජිප්තුව අතර පිහිටි පටු භූමි තීරයකි. යේමනය පිහිටා ඇත්තේ අරාබි අර්ධද්වීපයේ දකුණු කෙළවරේ ය. ඊශ්‍රායලයට සහ ගාසා තීරයට ඊසාන දෙසින් යේමනය පිහිටා ඇත. මෙම කලාප දෙක අතර සෘජු මායිම් නොමැති අතර සෞදි අරාබිය සහ ජෝර්දානය වැනි රටවල් ඒවා අතර පිහිටා තිබේ. මෙම භූගෝලීය පිහිටීම අනුව, යේමනයේ සිට ගාසා තීරයට හෝ ඊශ්‍රායලයට ළඟා වීමට සැලකිය යුතු දුරක් ගමන් කිරීමට සිදු වේ. එබැවින් හූති කැරලිකරුවන් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරනුයේ රතු මුහුද හරහා මිසයිල සහ ඩ්‍රෝන යානා යොදා ගනිමිනි.

හූතිවරුන් යනු යේමනයේ ෂියා මුස්ලිම් ප්‍රජාවට අයත් සන්නද්ධ කණ්ඩායමකි. ඔවුන් හඳුන්වනු ලබන්නේ "අන්සාර් අල්ලාහ්" (Ansar Allah) ලෙසයි. ඔවුන්ට හූතිවරුන් යන නම ලැබී ඇත්තේ ඔවුන්ගේ නායකයා වූ හුසේන් අල්-හූතිගේ නමිනි. හූතිවරුන්ගේ කණ්ඩායම ආරම්භ වූයේ 1990 දශකයේ යේමනයේ සයිදී ෂියා (Zaidi Shia) මුස්ලිම්වරුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණෙනි. එකල යේමනයේ රජය විසින් සයිදී ප්‍රජාවට එරෙහිව දැඩි වෙනස්කම් කිරීම් සිදු කරන බවට ඔවුන් චෝදනා කළහ. හූතිවරුන්ගේ ප්‍රධාන ඉලක්ක වූයේ යේමනයේ සිවිල් යුද්ධය තුළ රජය බලයෙන් පහ කිරීම, සවුදි අරාබිය සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල බලපෑම අවසන් කිරීම සහ යේමනය ස්වාධීන රාජ්‍යයක් බවට පත් කිරීමයි. 2014 වසරේ දී හූතිවරුන් යේමනයේ අගනුවර වන සනා අල්ලාගෙන රජය බලයෙන් පහ කළහ. මෙය කලාපයේ බලවත් රටවල් කිහිපයක මැදිහත්වීමෙන් යේමනයේ සිවිල් යුද්ධයක් ඇතිවීමට ප්‍රධාන හේතුවක් විය. මෙම යුද්ධයේ දී සෞදි අරාබිය ඇතුළු සන්ධානයක් විසින් හූතිවරුන්ට එරෙහිව සටන් කරන ලදී. හූතිවරුන්ට ඉරානයේ සහාය ලැබේ. ඉරානය ඔවුන්ට මුදල්, ආයුධ සහ පුහුණුව ලබා දෙන බවට චෝදනා එල්ල වේ. මෙම සහයෝගය නිසා හූතිවරුන් මැදපෙරදිග කලාපයේ ඉරානයේ බලපෑම පුළුල් කරන කණ්ඩායමක් ලෙස සැලකේ. ඊට අමතරව ඔවුන් හිස්බුල්ලා වැනි වෙනත් ෂියා සන්නද්ධ කණ්ඩායම් සමඟ ද සමීප සබඳතා පවත්වයි. වර්තමානය ස්ලකන කල්හි හූතිවරුන් යේමනයේ උතුරු ප්‍රදේශයේ විශාල කොටසක් පාලනය කරයි. විශේෂයෙන්ම ගාසා තීරයේ ගැටුම් ආරම්භ වීමත් සමඟ ඔවුන් පලස්තීනුවන්ට සහය පළ කරමින් රතු මුහුදේ ගමන් කරන නෞකාවලට සහ ඊශ්‍රායලයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරනු ලබයි. මෙම ප්‍රහාරවලින් ජාත්‍යන්තර වෙළෙඳ මාර්ගවලට බාධා ඇතිවීම හේතුවෙන් ලෝක ආර්ථිකයට ද යම් බලපෑමක් එල්ල වී තිබේ. ඊට ප්‍රතිචාර ලෙස ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය ප්‍රමුඛ සන්ධානයක් හූතිවරුන්ට එරෙහිව ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටී.

b96f7baef5725413a0bf7bfc6da527fc.jpg

ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින සබඳතාව ගතහොත් එය ඉතා සංකීර්ණ සහ විරුද්ධත්වයෙන් යුක්ත වූ එකකි. මෙම රටවල් දෙක එකිනෙකාගේ ප්‍රධාන කලාපීය සතුරන් ලෙස සැලකේ. මෙම ගැටුමට ප්‍රධාන හේතු කීපයක් බලපායි. ඉන් එක් කරුණක් ලෙස දේශපාලනික සහ දෘෂ්ටිවාදාත්මක වෙනස්කම් කතිකාවට ගැනෙයි. ඉරානය, ඊශ්‍රායලය අරාබි සහ මුස්ලිම් ලෝකයට තර්ජනයක් ලෙස සලකන අතර එය "සයනවාදී පාලනයක්" (Zionist Regime) ලෙස හඳුන්වයි. ඉරානයේ විප්ලවයෙන් පසු 1979 සිට ඔවුන් ඊශ්‍රායල රාජ්‍යය පිළිගැනීම ප්‍රතික්ෂේප කරයි. අනෙක් අතට ඊශ්‍රායලය ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සහ කලාපයේ ත්‍රස්තවාදී කණ්ඩායම්වලට (හමාස්, හිස්බුල්ලා වැනි) දක්වන සහයෝගය, තමන්ගේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් ලෙස සලකයි. මෙම රටවල් දෙක සෘජු යුද්ධයකට මුහුණ දී නොසිටියද ඔවුන් විවිධ ආකාරයේ "සෙවණැලි යුද්ධයක" නිරත වෙති. එමෙන් ම ඊශ්‍රායලය, ඉරානයේ න්‍යෂ්ටික විද්‍යාඥයින් ඝාතනය කිරීම, න්‍යෂ්ටික වැඩසටහන්වලට සයිබර් ප්‍රහාර එල්ල කිරීම සහ ඉරානය තුළ වෙනත් රහසිගත මෙහෙයුම් සිදුකරන බවට ද චෝදනා එල්ල වේ. එපමණක් නොව ඉරානය, සිරියාව, යේමනය සහ ලෙබනනය වැනි රටවල සිටින හිතවාදී සන්නද්ධ කණ්ඩායම් (හූතිවරුන්, හමාස්, හිස්බුල්ලා) හරහා ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමට සහ එහි බලපෑමට එරෙහිව ක්‍රියා කිරීමට ඔවුන් කටයුතු කරයි. ඊශ්‍රායලය ද සිරියාවේ ඉරාන හමුදා ඉලක්කවලට සහ මිත්‍ර කණ්ඩායම්වලට ගුවන් ප්‍රහාර එල්ල කරයි. තවත් එක් හේතුවක් ලෙස න්‍යෂ්ටික අර්බුදය එනම් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන, ඉරානය සහ ඊශ්‍රායලය අතර ගැටුමේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය වී ඇත. ඊශ්‍රායලය විශ්වාස කරන්නේ ඉරානය න්‍යෂ්ටික අවි නිපදවීමට උත්සාහ කරන බවයි. මෙය "ඊශ්‍රායලයේ පැවැත්මට තර්ජනයක්" බව ඔවුන් ප්‍රකාශ කරයි. මේ නිසා ඉරානයට න්‍යෂ්ටික අවි ලබා ගැනීම වැළැක්වීම සඳහා ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට ඊශ්‍රායලය සූදානම් බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත. ඒ අනුව ඉරානය සහ ඊශ්‍රායලය අතර සම්බන්ධතාවය, ගැඹුරු දේශපාලනික, දෘෂ්ටිවාදාත්මක සහ ආරක්ෂක හේතු මත පදනම් වූ සංකීර්ණ සතුරුකමක් වශයෙන් ද හැඳින්විය හැක. මෙම ගැටුම මැදපෙරදිග කලාපයේ ස්ථාවරත්වයට විශාල තර්ජනයක් එල්ල කර තිබේ.

 ඊශ්‍රායලය හා හූති කැරලිකරුවන් අතර පවතින යුධ තත්ත්වයේ ඉතිහාසය කුමක්ද? ගැටුම ආරම්භ වූයේ කොතනින්ද? යන්න පිළිබඳව විමසුවහොත් ඊශ්‍රායලය සහ හූති කැරලිකරුවන් අතර යුද ගැටුම මෑතකාලීන සිදුවීමක් ලෙස හැඳින්විය හැක. එනම් ඊට දිගුකාලීන ඉතිහාසයක් නොමැත. මෙම ගැටුම සෘජුව ම ආරම්භ වූයේ 2023 ඔක්තෝබර් මාසයේ දී ගාසා තීරයේ හමාස් සහ ඊශ්‍රායලය අතර ඇති වූ යුද්ධයත් සමඟයි. 2023 ඔක්තෝබර් 7 වන දින හමාස් සංවිධානය ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව ඊශ්‍රායලය ගාසා තීරයට දැඩි ලෙස ප්‍රතිප්‍රහාර එල්ල කළේය. මෙම යුද්ධය ආරම්භ වීමත් සමඟ ම හූති කැරලිකරුවන් පලස්තීනුවන්ට සහය පළ කරමින් ඊශ්‍රායලයට එරෙහිව සටනට එක් වන බව ප්‍රකාශ කළහ. 2023 ඔක්තෝබර් 31 වනදා හූතිවරුන් ඊශ්‍රායලයට එරෙහිව ප්‍රථම මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බව වාර්තා විය. ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වූයේ ඊශ්‍රායලයේ දකුණුදිග නගර වන ඉලාත් (Eilat) සහ ඒ අවට ප්‍රදේශයි. හූතිවරුන් මෙම ප්‍රහාර එල්ල කිරීමට හේතු ලෙස දැක්වූයේ ගාසා තීරයේ පලස්තීන ජනතාවට ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ප්‍රහාරවලට විරෝධය පළ කිරීම සහ ඔවුන්ට සහාය දැක්වීමයි. ආරම්භයේ දී ඊශ්‍රායලයට සෘජුව එල්ල කරන ලද ප්‍රහාරවලට අමතරව හූතිවරුන්ගේ ක්‍රියාකාරකම් තවදුරටත් වර්ධනය විය. ගාසා යුද්ධය ආරම්භ වීමෙන් පසුව හූතිවරුන් රතු මුහුදේ ගමන් කරන වාණිජ නෞකාවලට ප්‍රහාර එල්ල කිරීමට පටන් ගත්තේය. ඔවුන් ප්‍රකාශ කළේ ඊශ්‍රායලයට හෝ ඊශ්‍රායලයට සම්බන්ධ ඕනෑම නෞකාවකට ප්‍රහාර එල්ල කරන බවයි. මෙම ප්‍රහාර නිසා ජාත්‍යන්තර වෙළඳ මාර්ගවලට බාධා ඇති විය. ඊට ප්‍රතිචාර වශයෙන් ඇමරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ප්‍රමුඛ බටහිර රටවල් සන්ධානයක් පිහිටුවා, හූතිවරුන්ට එරෙහිව යේමනයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමට පටන් ගත්තේය. හූතිවරුන්ගේ මෙම ප්‍රහාරවලට ඉරානය සහයෝගය ලබා දුන්නායැයි ඊශ්‍රායලය සහ බටහිර රටවල් චෝදනා කර තිබුණි. ඉරානය, ඊශ්‍රායලයට එරෙහි කලාපීය ප්‍රතිරෝධයේ කොටසක් ලෙස හූතිවරුන් භාවිතා කරන බව විශ්වාස කෙරේ.

7daf6a378e7f9146e3f394060ec0f8c4.jpg

ඊශ්‍රායලය සහ හූති කැරලිකරුවන් අතර පවතින ගැටුමේ වර්තමාන තත්ත්වය තවදුරටත් උණුසුම්ව පවතී. මෙම ගැටුම ප්‍රධාන වශයෙන් සිදුවන්නේ හූතිවරුන් විසින් රතු මුහුදේ සහ ඊශ්‍රායලයට එරෙහිව එල්ල කරන ප්‍රහාර සහ ඒවාට ඊශ්‍රායලයේ හා එහි මිත්‍ර පාක්ෂිකයන්ගේ ප්‍රතිප්‍රහාර මගිනි. හූතිවරුන් දිගින් දිගට ම ඊශ්‍රායලයට සහ රතු මුහුද හරහා ගමන් කරන නෞකාවලට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරනු ලබයි. මෙම ප්‍රහාරවලින් බොහෝමයක් ඊශ්‍රායලයේ ගුවන් ආරක්ෂක පද්ධති මගින් හෝ රතු මුහුදේ පිහිටි ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය නාවික හමුදා විසින් විනාශ කරනු ලබයි. ඊට ප්‍රතිචාර වශයෙන් ඇමරිකාව සහ එක්සත් රාජධානිය යේමනයේ හූති ඉලක්කවලට ගුවන් ප්‍රහාර එල්ල කරනු ලබයි. රතු මුහුදේ සිදුවන ප්‍රහාර හේතුවෙන් බොහෝ නාවික සමාගම් තම නෞකා අප්‍රිකාව වටා වූ දිගු මාර්ග ඔස්සේ යොමු කිරීමට පටන් ගෙන ඇත. මෙය ජාත්‍යන්තර වෙළඳාමට සහ සැපයුම් දාමයන්ට සැලකිය යුතු බලපෑමක් ඇති කර තිබේ. කෙසේ නමුත් හූතිවරුන්ගේ ප්‍රහාරවලින් ඊශ්‍රායලයට මේ දක්වා සැලකිය යුතු ජීවිත හා දේපල හානි සිදු වී නොමැත. ඔවුන්ගේ ප්‍රහාරවලින් වැඩි ප්‍රමාණයක් ඊශ්‍රායලයේ ආරක්ෂක පද්ධති මඟින් හෝ ඇමරිකානු නාවික හමුදාව විසින් විනාශ කර ඇත. නමුත් හූතිවරුන්ගේ ප්‍රහාරවලින් සමහර වාණිජ නෞකාවලට හානි සිදුවී ඇති අතර කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් කිහිප දෙනෙකුට තුවාල සිදුවී ඇති අවස්ථා වාර්තා වී ඇත. එමෙන් ම ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය ගුවන් ප්‍රහාරවලින් යේමනයේ හූති පාලන ප්‍රදේශවලට හානි සිදුවී ඇති අතර හූති සටන්කාමීන් කිහිප දෙනෙකු මියගිය බවට වාර්තා වී ඇත. සිවිල් වැසියන්ට හානි සිදු වී ඇති බවට ද චෝදනා එල්ල වී ඇත.

මෙම යුද්ධය තවදුරටත් කලාපීය සහ ජාත්‍යන්තර වශයෙන් ප්‍රබල බලපෑමක් ඇති කරමින් පවතී. ලෝකය පුරා ඇවිලෙන යුධ ගිනි දැල්වල දිශානතිය කෙසේ වෙනස් වන්නේද යන්න සිතීම පවා අනපේක්ෂිත ය. නමුත් ලොව්ට ම සාමය උදා වීම අප සැමගේ ප්‍රාර්ථනයයි.

සැකසුම - ප්‍රසිලා සඳරුවනි

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required