/
/
title icon
ළමා මිනීමරුවන්
ළමා මිනීමරුවන්
Madumalika Wickramasinghe
3 days ago
Share:
ළමා මිනීමරුවන්

ළමයි සුන්දරයි, ඒ වගේම අහිංසකයි. සමාජයේ පොදු පිළිගැනීම වන්නේ එයයි. මල් වගේ පුංචි දරුවෝ තරහව, වෛරය වැනි නරක ගතිගුණවලින් තොරයි කියලා තමා අපි විශ්වාස කරන්නේ. ඒ නිසාම බොහෝ අපරාධ වලට ගොදුරු වෙන්නෙත් ඒ අහිංසක දරුවන්මයි.

ඒත් අහිංසක දරුවෙක් අපරාධකාරයෙක් උනොත්? ඒක විශ්වාස කරන්න අමාරු දෙයක්. ඒත් ලෝක ඉතිහාසයේ වාර්තා වුනු ඔබ හිතනවාටත් වඩා දරුණු අපරාධ කරපු ළමා අපරාධකරුවන් බොහොමයක් සිටී. ඒ අය පොඩි සෙල්ලම් බඩු හොරකම් කරපු අයනම් නොවේ. මිනීමරුවන්ය. ඒ අතරින් කෲර ලෙස මිනී මැරූ ලොව ලාබාලත ම මිනීමරුවන් පස් දෙනෙකු ගැන තොරතුරුයි මේ.

අමර්දීප් සාදා -  ලොව ළාබාලත ම මිනීමරුවා

අමරදිප් සාදා යනු ලෝකයේම ඉතිහාසයට එක් වුණු ළාබාලතම මිනීමරුවා වේ. මෙම අපරාදය සිදු සිදුකරන විට ඔහුට වයස අවුරුදු 08කි. ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ උපන් මෙම දරුවා 2007 දී තමන්ගේ අසල්වැසි පවුලක හය හැවිරිදි දැරියක් ඝාතනය කල අතර  අමරදීප් ඇය නිදාගෙන සිටින විට පැහැරගෙන ගොස් ගලකින් ගසා මරා දමා ඇති බව ගම්වාසීන් විසින් ඔහුව අල්ලා ගැනීමෙන් අනතුරුව හෙළිවිය.

පොලිස් විමර්ශන වලින් හෙළිවූයේ මෙය අමරදීප්ගේ පළමු අපරාධය නොවන බවත් ඔහු මෙලෙස තමන්ගේ මාස අටක් වයසැති නැගණිය ද, මාස නවයක් වයසැති ඥාති සහෝදරයා ද මරා දමා ඇති බවයි. මේ සිදුවීම් සියල්ල පවුලේ පිරිස විසින් රහසක් ලෙස තබාගෙන සිටි අතර පරීක්ෂණවලින් පසුව අමර්දීප්ට මානසික ආබාධයක් ඇති බව හෙළි විය.

මේරී බෙල් - කුඩා දරුවන් දෙදෙනෙකුගේ මරණය

1968 වසරේ එංගලන්තයේ දී මේරි ෆ්ලෝරා බෙල් නම් මෙම දැරිය වයස අවුරුදු එකොළහේ දී අවුරුදු තුනක් සහ හතරක් වයසැති පිරිමි දරුවන් දෙදෙනකු ගෙල සිරකර මරා දැමීම සම්බන්ධයෙන් වරදකාරිය බවට පත්විය. ඇය ලිංගික ශ්‍රමික වෘත්තියේ නිරත වුනු මවකට දාව උපන් දැරියක් වන අතර එනිසා ම කුඩා කාලයේ සිට ම ඇය ලිංගික අපචාරයන්ට ගොදුරු වී තිබුණි.

මේරී ඇගේ එකළොස් වෙනි උපන්දිනයට දිනකට පෙර අතහැර දැමූ ගෙදරක දී හතර හැවිරිදි මාටින් බ්‍රවුන් නම් දරුවාව ගෙල සිරකර මරා දමයි. ඊට මාස කීපයකට පසුව තුන් හැවිරිදි බ්‍රයන් හෝවි නම් තවත් දරුවෙකු ගෙල සිරකර මරා දමා බ්ලේඩ් තලයකින් ඔහුගේ බඩේ' M' අකුර කැටයම් කරයි. මේ මිනීමැරුම් දෙකට ම වරදකාරිය වූ ඇය අවුරුදු දොළහක් සිර දඬුවම් විඳ අදටත් වෙනත් නමකින් නිදහසේ ජීවත්වෙයි.

ජෝර්ඩන් බ්‍රවුන් - ඊර්ෂ්‍යාවෙන් කළ ඝාතනය

2009 වසරේදී බ්‍රවුන් නම් එකොළස් හැවිරිදි දරුවා තමන්ගේ පියාගේ පෙම්වතිය වී සිටිය මාස අටක ගැබිනියක්ව වෙඩි තබා ඝාතනය කරන අතර මෙම අපරාධයට හේතුව ලෙස සඳහන් වන්නේ ඊර්ෂ්‍යාවයි. ඔහුගේ පියාගේ පෙම්වතියට දරුවෙක් ලැබුණු පසු ඔහුගේ කාමරය අහිමි වේ යැයි බිය හේතුවෙන් මෙම මරණය සිදු කර ඇති බව සදහන්වේ.

මෙම ඝාතනයේ  කෲරත්වය හේතුවෙන් ජෝර්ඩන්ව  දරුවෙකු ලෙස සැලකීමට උසාවිය මුලදී අකමැති විය. එහෙත් ඔහුගේ නීතිඥවරුන්ගේ උත්සාහය හේතුවෙන් මෙම නඩුව බාලවයස්කාර උසාවියක විභාග විය. ඝාතනයට අදාළ සෑම සාක්ෂියකින්ම ඔහු වැරදිකරු වුවත් 2016 දී නිදහස් වන විටද ඔහු තමන්ගේ වරද පිළිගත්තේ නැත.

ග්‍රැහැම් යං - වස විසට ඇලුම් කළ දරුවා

1947 දී ලන්ඩනයේ උපන් ග්‍රැහැම් යං  සමාජශීලී කෙනෙක් නොවේ. ඔහු මිනීමැරුම්, රසායන විද්‍යාව සහ විෂ විද්‍යාව පිළිබඳව විශේෂ උනන්දුවක් දැක්වූ අතර ඔහුට අවුරුදු දහතුනේදීත් ඔහුගේ පියාගෙන් ලැබුණු රසායන විද්‍යා කට්ටලය භාවිතා කර ඔහු විවිධ අත්හදාබැලීම් බැලීම් සිදු  කළේය.

තමන්ගේ දැනුම භාවිතා කරමින් ඖෂධවේදීන්ව රවටමින් විෂ වර්ග මිලදී ගත් ඔහුට පසුව පවුලේ අයගේ තේ පානයට එම විෂ ටික ටික දමා ඔවුන්ව සෙමින් මරණයට පත් කරන්නට පටන් ගත්තේය. ඔහුගේ පළමු ගොදුර වූයේ සුළු මවය. ඔහුගේ ගුරුවරයා මෙම විෂ වර්ග සොයාගෙන පොලිසියට දැනුම් දුන් අතර ඒ වන විට ඔහුට වයස අවුරුදු දාහතරකි. සිරගෙදර සිටින විටදී ඔහු තවත් සිරකරුවකු ඝාතනය කළ අතර පසුව නිදහස් වූ ඔහු නැවතත් තමන්ගේ රැකියා ස්ථානයේ සගයන්ට වස දී දෙදෙනෙක් මරා දමා අවසානයේ ඔහු ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය.

ජොෂුවා ෆිලිප්ස් - ඇද යට තිබූ මළසිරුර

1998 නොවැම්බර් මස දවසක ජොෂුවා පිලිප්ස්ගේ මව ඔහුගේ කාමරය පිරිසිදු කිරීමට යන විට ඔහුගේ ඇඳ යට තිබුණු තෙත් පැල්ලමක් දැක ජෝෂුවාගේ දිය මෙට්ටය කාන්දු වනවා යැයි සිතූ ඇය විදුලි පන්දමක් ආධාරයෙන් ඇද යට නිරීක්ෂණය කරන අතර එවිට දවස් 7ක් අතුරුදහන්ව සිටි අට හැවිරිදි මැඩී ක්ලිෆ්ටන්ගේ මළ සිරුර ඇයට දකින්නට ලැබුණි. ඇයට බේස් බෝල් පිත්තකින් පහර දී පිහියකින් ඇන මරා දමා තිබූ අතර මෙම අපරාධය සිදු කරන විට ජොෂුවාට වයස අවුරුදු 14කි.

මැඩී අතුරුදහන් වුණු දවසේ සිට ම ඇයව සෙවීමට උදව්  කළ අසල්වැසියෙක් නිසා ජොෂුවාව කිසිම කෙනෙක් සැක කළේ නැත. පොලිසිය විසින් ඔහු අල්ලා ගත් පසුව ද ඔහු නිශ්චිත හේතුවක් පවසා නොමැති අතර අත් අත්වැරදීමකින් මැඩීට ඔහු පහර දුන්  බව පැවසුව ද උසාවිය විසින් එය පිළිගත්තේ නැත. බාල වයස්කරුවෙක් නිසා මරණ දඬුවමින් බේරුණු ජොෂුවා ෆිලිප්ස් අදටත් සිරගෙදර සිටි.

ඉහත විස්තර වලින් අපරාධකරුවන් ගැන තිබුණු ඔබගේ අදහස වෙනස් වෙන්න ඇති. හැම අහිංසක මූණක් පිටිපස්සෙ ම අහිංසක සිතුවිල්ලක්ම තියෙනවාද? නැතිනම් හැම වයසකම, හැම සමාජ ස්ථාරයකම අපරාධකාරයෝ ඉන්නවාද යන්න ඔබට සිතෙන්නට ඇති. නමුත් මේ හැම ළමා අපරාධකාරයකුගේ ම පරිසරය, පවුල මෙන් ම ආදරය යන කාරණා ඔවුනට නිසි පරිදි නොලැබීම මත සිදු වූ අපරාධයන් බව තව දුරටත් මෙම සිදු වීම් අධ්‍යයනය කිරීමෙන් වටහා ගත හැක. එබැවින් දරුන්වන්ට නිසි ආදරය, රැකවරණය මෙන් ම අවධානය ඉතාමත් අවශ්‍යය වන අතර දරුවන් පිළිබඳව මීට වඩා සැලකිලිමත් වීම වැඩිහිටියන්ගේ වගකීම වේ.

මදුමාලිකා වික්‍රමසිංහ 

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required