
චීනය සිය සමීපත ම රාජ්‍ය නායකයින් වන රුසියාව සහ උතුරු කොරියාව සමග සිදු කළ හමුදා පෙලපාලිය, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව උදහසට ලක් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. මෙම සමගි සන්ධානය එක්ව තෙවන ලෝක සංග්‍රාමය සඳහා මුල පිරීමක් කුමන්ත්‍රණය කරනු ඇති බවට ට්‍රම්ප් සැක පළ කරන බව ද අනාවරණය වී ඇත. ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් එම රටවල් අමෙරිකා එක්සත් ජනපදයට එරෙහිව කුමන්ත්‍රණය කරන බවට ට්‍රම්ප් චෝදනා කර තිබුණි. එපමණක් නොව සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ට්‍රම්ප් පවසා ඇත්තේ මෙතෙක් ලෝකයේ පැවති ශක්තිමත් ම හමුදාව අමෙරිකාව සතුව ඇති බැවින් චීනය කිසි විටෙකත් ඔවුන්ගේ හමුදාව අමෙරිකාවට එරෙහිව භාවිත නොකරනු ඇතැයි තමා විශ්වාස කරන බවයි.
ඇත්තට ම ඇමරිකාවේ හමුදා ශක්තිය කෙතරම් විශාලද?
ඇමරිකා එක්සත් ජනපදයේ යුධ ශක්තිය ලොව ප්‍රමුඛත ම යුධ ශක්තිය වන අතර එය එහි ආර්ථික ශක්තිය, තාක්ෂණික සංවර්ධනය සහ ගෝලීය සන්ධාන පද්ධතිය මත ගොඩනැගී ඇත. ලොව පුරා රටවල් 60 කට අධික සංඛ්‍යාවක් සමඟ සන්ධානගතව සිටින ඇමරිකාව ලෝක ආර්ථිකය සහ යුධ ශක්තියෙන් දෙකෙන් තුනක පමණ පාලනය සිය සන්ධාන සමඟ එක්ව දරමින් සිටියි. ඇමරිකාවේ යුධ හමුදාව ප්‍රධාන අංශ හයකින් සමන්විත වේ.
1 ඇමරිකානු ගොඩබිම් හමුදාව (U.S. Army):
ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන මෙය ඇමරිකාවේ ආරක්ෂාව වෙනුවෙන් බිම් බලකාය සපයයි. 2025 ජූනි 30 ලබා ගත් දත්ත අනුව මෙම හමුදාව සතුව ආසන්න වශයෙන් 452,823ක් සක්‍රීය සාමාජිකයන් සිටින අතර මොවුන් පූර්ණ කාලීනව සේවය කරන එනම් ස්ථිර රැකියාවක් ලෙස හමුදා සේවයේ නියැලෙන සොල්දාදුවන් ය. යුධ හමුදා ජාතික ආරක්ෂක සාමාජිකයන් 328,084 ක සංඛ්‍යාවක් ද සේවයේ යෙදෙන අතර ජාතික ආරක්ෂක බලකාය යනු එක්සත් ජනපදයේ එක් එක් ප්‍රාන්තවලට අයත් සොල්දාදුවන් වේ. මොවුන් අවශ්‍යතාව මත ජාතික මට්ටමේ මෙහෙයුම් සඳහා යොදා ගනු ලබයි. මීට යුධ හමුදා සංචිත සාමාජිකයන් 170,601ක් ද අයත් වන අතර යුධ හමුදා සංචිතය යනු ජාතික ආරක්ෂක බලකායට සමාන තනතුරක් වේ. ඒ අනුව සමස්ත නිලධාරීන් 946,961ක් ගොඩබිම් හමුදාව සතුව පවති. මීට අමතරව ගොඩබිම් හමුදාවට 223,382ක සිවිල් කාර්ය මණ්ඩලයක් ද සිටින අතර ඔවුන් පරිපාලන, තාක්ෂණික සහ සහායක කාර්යයන්හි නිරත වෙයි.

2 ඇමරිකානු නාවික හමුදාව (U.S. Navy):
මුහුදේ, මුහුදට ඉහළින් සහ ජලයට යටින් ක්‍රියාත්මක වන නාවික හමුදාව ලොව පුරා ඇමරිකාවේ ඉදිරි පෙරමුණේ බලකාය ලෙස කටයුතු කරන අතර ආක්‍රමණශීලී ක්‍රියාවන්ට එරෙහිව ප්‍රබල බාධකයක් ලෙස ද ක්‍රියා කරයි.
ඇමරිකානු නාවික හමුදාව යනු ලොව විශාලත ම සහ වඩාත් ම බලගතු නාවික හමුදාවන්ගෙන් එකකි. එහි ශක්තිය, විශාල නාවික බලඇණියක්, නවීන ගුවන් යානා, සහ ලෝක ව්‍යාප්ත මෙහෙයුම් හැකියාවන්ගෙන් සමන්විත වේ. ඇමරිකානු නාවික හමුදාවේ සංයුතිය සලකන කල්හි සක්‍රීය සේවයේ යෙදී සිටින නිලධාරීන් දළ වශයෙන් 332,507 - 334,896 ක ප්‍රමාණයක් වන අතර මෙයින් බහුතරයක් (80% ට වඩා) ස්ථිර රැකියා ලෙස නාවික සේවයේ නියැලෙන සොල්දාදුවන් වේ. නාවික සංචිත සාමාජිකයන් එනම් අර්ධ-කාලීනව සේවය කරන සොල්දාදුවන් දළ වශයෙන් 54,263 - 54,741 වන අතර මුළු ඒකාබද්ධ නිලධාරීන් දළ වශයෙන් 387,637 වේ. මෙම සංඛ්‍යාව සක්‍රීය සහ සංචිත සාමාජිකයන් යන සියලු සොදාදුවන්ගේ එකතුවකි. නාවික හමුදාවේ පරිපාලන, තාක්ෂණික සහ සහායක කාර්යයන් සඳහා වන සිවිල් සේවකයින් එනම් නාගරික සේවකයින් දළ වශයෙන් 274,854 - 279,471ක විශාල සංඛ්‍යාවක් ද සේවයේ නියැලී සිටියි.
නාවික බලඇණිය සහ ගුවන් යානා විශාල සංඛ්‍යාවක් ද ඇමරිකාව සතු වන අතර සක්‍රීය සේවයේ නාවික යාත්‍රා දළ වශයෙන් 289 (Deployable Battle Force Ships) ද, සංචිත බලඇණියේ යාත්‍රා 181 ද වශයෙන් මුළු යාත්‍රා දළ වශයෙන් 470ක් ඔවුන් සතු වේ. එමෙන් ම සැලසුම්ගත ඉදිකෙරෙමින් පවතින යාත්‍රා 105කට වැඩි සංඛ්‍යාවක් ද පවති. නව සැලසුම් අනුව 2054 වන විට යාත්‍රා 390 කින් සමන්විත විශාල බලඇණියක් ගොඩනැගීමට අපේක්ෂා කර ඇත. ගුවන් යානා (Aircraft) දළ වශයෙන් 3,700ක් පවතින අතර නාවික හමුදාව සතුව අතිරේක ගුවන් යානා 4,000 කට අධික ප්‍රමාණයක් මෙහෙයුම් හැකියාවෙන් යුතුව ඇත. ගුවන් යානා වාහක නෞකා (Aircraft Carriers) 11ක් පවතින අතර ඉන් 10 ක් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වේ. මේවා නාවික හමුදාවේ ප්‍රහාරක ශක්තියේ හදවත ලෙස හඳුන්වනු ලබයි. ජලය යට ක්‍රියාත්මක වන සබ්මැරීන ගතහොත් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන න්‍යෂ්ටික ප්‍රහාරක සබ්මැරීන (Nuclear-powered fleet carriers) ද 11ක් පවතින අතර ඉන් 10 ක් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වේ. ඔවුන් සතු ලොස් ඇන්ජලිස්-පංතියේ (Los Angeles-class) සබ්මැරීන දැනට සේවයේ පවතින නමුත් ඒවායෙන් සමහරක් 2026 දී විශ්‍රාම ගැනීමට නියමිත ය. වර්ජිනියා-පංතියේ (Virginia-class) සබ්මැරීන නවීනත ම සහ දියුණු තාක්ෂණයෙන් යුක්ත ඒවා වේ.
නාවික හමුදාව සඳහා මෙම වසරේ දී දළ වශයෙන් ඩොලර් බිලියන 203.9ක් වෙන් කර ඇති අතර නාවික යාත්‍රා ඉදිකිරීම සඳහා දළ වශයෙන් ඩොලර් බිලියන 32.4 ද, ගුවන් යානා මිල දී ගැනීම සඳහා දළ වශයෙන් ඩොලර් බිලියන 16.2ක් ද වෙන් කර ඇති අතර මෙයින් ගුවන් යානා 75 ක් මිල දී ගැනීමට ඔවුන් සැලසුම් කර ඇත.

3 ඇමරිකානු ගුවන් හමුදාව (U.S. Air Force):
ඇමරිකානු ගුවන් හමුදාව (United States Air Force - USAF) යනු ලොව විශාලත ම සහ වඩාත් ම තාක්ෂණික වශයෙන් දියුණු ගුවන් බලකායයි. එහි කාර්ය මණ්ඩලය, ගුවන් යානා සහ ගෝලීය මෙහෙයුම් හැකියාවන් ඇමරිකාවේ ආරක්ෂක ශක්තියේ ප්‍රධාන අංගයකි. 2025 මාර්තු වන විට ආසන්න වශයෙන් 313,615ක සෙබළුන් සංඛ්‍යාවක් සක්‍රීය සේවයේ නියුතු වන අතර ඉන් 82.6% පිරිමි සහ 17.4% කාන්තාවන් වේ. මෙම සෙබළුන් 82.6% හිස්පැනික් නොවන (Non-Hispanic) ජාතිකයන් වන අතර 17.4% හිස්පැනික් (Hispanic) හෝ ලැටිනෝ (Latino) ජාතිකයන් වේ. එමෙන් ම 71.5% සුදු ජාතිකයින් වන අතර ඉතිරි කොටස කළු ජාතිකයින්, ආසියාතික/පැසිෆික් දූපත්වාසීන් සහ අනෙකුත් ජාතීන්ගෙන් සමන්විත වේ. ගුවන් හමුදාවේ මෙහෙයුම් සඳහා සිවිල් කාර්ය මණ්ඩලය අතිශයින් ම වැදගත් වන අතර ඔවුන් පරිපාලන, තාක්ෂණික, ඉංජිනේරු සහ පර්යේෂණ වැනි විවිධ ක්ෂේත්‍රවල සේවය කරයි. 2024 වසරේ දත්ත අනුව සිවිල් කාර්ය මණ්ඩලය ආසන්න වශයෙන් 181,000ක් පමණ වන අතර යුධ හමුදා ජාතික ආරක්ෂක සාමාජිකයන් ආසන්න වශයෙන් 104,000ක් ද, ගුවන් හමුදා සංචිත සාමාජිකයන් ආසන්න වශයෙන් 66,000ක් ද වශයෙන් සමස්ත ඒකාබද්ධ නිලධාරීන් 2025 ඇස්තමේන්තු දත්ත පරිදි ආසන්න වශයෙන් 325,000ක් ගුවන් ශක්තිය සපයනු ලබයි.
ඇමරිකානු ගුවන් හමුදාව සතුව 5,000 කට අධික ගුවන් යානා සංඛ්‍යාවක් ඇත. මෙයට F-22 Raptor, F-35 Lightning II වැනි 5 වන පරම්පරාවේ සටන් ගුවන් යානා, B-2 Spirit සහ B-1B Lancer වැනි ස්ටෙල්ත් බෝම්බ හෙලන ගුවන් යානා, C-17 Globemaster III සහ C-5 Galaxy වැනි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා, සහ විවිධ වර්ගවල transports, helicopters, tankers (ගුවන් ඉන්ධන පිරවුම්) සහ intelligence, surveillance, and reconnaissance (ISR) ගුවන් යානා ද ඇතුළත් වේ.

4 ඇමරිකානු අභ්‍යවකාශ හමුදාව (United States Space Force - USSF):
මිනිත්තු කිහිපයක් තුළ ලොව ඕනෑ ම ස්ථානයකට හමුදා යැවීමේ හැකියාව ඇති, වේගවත්, නම්‍යශීලී සහ මාරාන්තික ගුවන් සහ අභ්‍යවකාශ හැකියාවන් ඇමරිකා ගුවන් හමුදාව සතු වේ. එක්සත් ජනපදයේ සන්නද්ධ හමුදාවේ නවත ම අංශය මෙය වන අතර මෙය 2019 දෙසැම්බර් 20 වන දින ස්ථාපිත කරන ලදී. එහි ප්‍රධාන අරමුණ වන්නේ අභ්‍යවකාශයේ එක්සත් ජනපදයේ සහ එහි මිත්‍ර පාක්ෂිකයන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීම සහ අභ්‍යවකාශයේ තරඟකාරී වාසියක් පවත්වා ගෙන යාමයි. මෙම අංශයේ මෙහෙවර වන්නේ "අභ්‍යවකාශයේ අපේ ජාතික අවශ්‍යතා ආරක්ෂා කිරීම" (Secure our Nation's interests in, from, and to space) යන්නයි. මූලික කාර්යයන් ලෙස අභ්‍යවකාශයේ සහ ඊට එරෙහිව එල්ලවන තර්ජනවලින් ආරක්ෂා වීම, මිසයිල අනතුරු ඇඟවීම්, චන්ද්‍රිකා සන්නිවේදනය, සහ ස්ථානගත කිරීම, සංචලනය සහ කාලය (GPS) වැනි ගෝලීය මෙහෙයුම් සිදු කිරීම හා අභ්‍යවකාශයේ උපකරණ දියත් කිරීම සහ නඩත්තු කිරීම සිදු කරනු ලබයි.
2023 නොවැම්බර් වන විට 8,938ක් පමණ සක්‍රීය අභ්‍යවකාශ හමුදා සාමාජිකයින් සිට ඇත. 2023 සංඛ්‍යා දත්ත අනුව මෙම සාමාජිකයින්ගෙන් 46.3%ක් පමණ කොලරාඩෝහි ස්ථානගතව සිටී. සක්‍රීය සාමාජිකයින් අතරින් 81.1%ක් පිරිමි වන අතර 62.3%ක් හිස්පැනික් නොවන සුදු ජාතිකයින් වේ. මෙම හමුදා සාමාජිකයින්ගෙන් 57.9%කට උසස් (Bachelor's Degree) හෝ ඊට වැඩි අධ්‍යාපනික සුදුසුකම් ද ඇත. අභ්‍යවකාශ හමුදාවේ සිවිල් කාර්ය මණ්ඩලය ද අති විශාල වන අතර ඔවුන් විද්‍යාව, තාක්ෂණය, ගගනගාමී සහ ඉංජිනේරු විද්‍යාව වැනි ක්ෂේත්‍රවල සේවය කරයි. මොවුන් සම්බන්ධව නිශ්චිත සංඛ්‍යා ලබා ගැනීම ශුෂ්කර වූ නමුත් මෙම අංශය හමුදාවේ ක්‍රියාකාරිත්වයට අත්‍යවශ්‍ය සේවාවක් සපයන බව මෑතකාලීනව ද අපට දැක ගත හැකි විය.
අභ්‍යවකාශ හමුදාව චන්ද්‍රිකා (උදා: Advanced Extremely High Frequency - AEHF, Mobile User Objective System - MUOS), ගුවන්විදුලි සංඥා (GPS), සන්නිවේදන පද්ධති (DSCS, WGS), අභ්‍යවකාශ නිරීක්ෂණ පද්ධති (Space Surveillance Network) සහ අභ්‍යවකාශ දියත් කිරීම් (National Security Space Launch - NSSL) ඇතුළු විවිධ උපකරණ සහ තාක්ෂණයන් භාවිතා කරයි. ඇමරිකානු අභ්‍යවකාශ හමුදාව සාපේක්ෂව නව අංශයක් වන අතර එහි සංඛ්‍යා, අයවැය සහ මෙහෙයුම් විකාශනය වෙමින් පවතී. එහි ප්‍රධාන අරමුණ වන්නේ අභ්‍යවකාශයේ එක්සත් ජනපදයේ ආරක්ෂාව සහ උපායමාර්ගික වාසිය තහවුරු කිරීමයි.

5 ඇමරිකානු මැරීන් බළකාය (U.S. Marine Corps):
ඇමරිකානු මැරීන් බළකාය යනු එක්සත් ජනපද සන්නද්ධ හමුදාවේ කැපී පෙනෙන සහ වේගයෙන් ක්‍රියාත්මක වන අංශයකි. එය නාවික දෙපාර්තමේන්තුවේ කොටසක් වන අතර ගොඩබිම්, මුහුදු සහ ගුවන් මෙහෙයුම්වල අතිරේක හැකියාවන්ගෙන් සමන්විත වේ. 2024 වසරේ දෙසැම්බර් වන විට ඇමරිකානු මැරීන් බළකායේ සක්‍රීය සේවයේ යෙදී සිටින නිලධාරීන් ආසන්න වශයෙන් 168,298ක් විය. සංචිත නිලධාරීන් ආසන්න වශයෙන් 32,967කි. මැරීන් ගුවන් යානා (Manned Aircraft) ආසන්න වශයෙන් 1,317ක් ඇමරිකා යුධ ශක්තියට සේවය සපයනු ලබයි. මැරීන් බළකාය, එහි දැඩි පුහුණුව සහ ඕනෑ ම තත්ත්වයකට අනුවර්තනය වීමේ හැකියාව නිසා ප්‍රසිද්ධියක් උසුලනු ලබයි. ඔවුන්ගේ මෙහෙයුම්වල වේගය මෙන් ම ගොඩබිම්, මුහුදු සහ ගුවන් යානා ඒකාබද්ධ කිරීමේ හැකියාව මැරීන් බළකායේ විශේෂත්වයයි.

6 ඇමරිකානු වෙරළාරක්ෂක බළකාය (U.S. Coast Guard):
ඇමරිකානු වෙරළාරක්ෂක බළකාය යනු එක්සත් ජනපදයේ මුහුදු ආරක්ෂාව, නීතිය ක්‍රියාත්මක කිරීම සහ ජාතික ආරක්ෂාවට අදාළ විවිධ කාර්යයන් සිදු කරන විශේෂිත සේවා අංශයකි. සාම කාලවල දී එය හෝමාබිම් ආරක්ෂක දෙපාර්තමේන්තුව (Department of Homeland Security) යටතේ ක්‍රියාත්මක වන අතර යුධ සමයේ දී නාවික හමුදාවට සම්බන්ධ වේ. නාවික ගමනාගමන සුරක්ෂිත භාවය, සෝදිසි හා මුදා ගැනීමේ මෙහෙයුම්, මුහුදු මාර්ගවල ආරක්ෂාව තහවුරු කිරීම, ත්‍රස්තවාදී ක්‍රියා වැළැක්වීම, නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම, ජාතික ජල සීමාව ආරක්ෂා කිරීම, තෙල් කාන්දුවීම් සහ අනෙකුත් පරිසර දූෂණ වැළැක්වීම සහ පාලනය කිරීම, ධීවර නීති රීති ක්‍රියාත්මක කිරීම, වෙරළබඩ සහ ජාත්‍යන්තර ජලයේ නීතිය ක්‍රියාත්මක කිරීම යන කාර්යයන් ඇමරිකානු වෙරළාරක්ෂක බළකායේ ප්‍රධාන මෙහෙයුම් සහ කාර්යයන් වේ.
2025 මාර්තු වන විට ආසන්න වශයෙන් නිලධාරීන් 40,590ක් සේවයේ නියුතු විය. වෙරළාරක්ෂක බළකායේ පරිපාලන, තාක්ෂණික සහ සහායක කාර්යයන් සඳහා සිවිල් කාර්ය මණ්ඩලයක් ද සේවය කරයි. එමෙන් ම වෙරළාරක්ෂක බළකායේ සංචිත සාමාජිකයින් ද සිටින අතර ඔවුන් අවශ්‍යතාව මත සක්‍රීය සේවයට කැඳවිය හැකිය. ස්වේච්ඡා සේවකයන් ද මෙම බළකාය යටතේ සේවය සපයනු ලබයි.
වෙරළාරක්ෂක බළකාය සතුව විවිධ ප්‍රමාණයේ නාවික යාත්‍රා 240 කට අධික සංඛ්‍යාවක් ඇත. මේවාට දිගු දුර මුර සංචාරය සඳහා යොදාගන්නා විශාල යාත්‍රා (High Endurance Cutters) මෙන් ම වෙරළබඩ මුර සංචාරය සඳහා යොදාගන්නා කුඩා යාත්‍රා ද අයත් වේ. 1,600 කට අධික කුඩා යාත්‍රා ප්‍රමාණයක් ද වෙරළාරක්ෂක බළකාය සතුව ඇත. මේවා සෝදිසි සහ මුදා ගැනීමේ මෙහෙයුම්, නීතිය ක්‍රියාත්මක කිරීම සහ අනෙකුත් විශේෂිත කාර්යයන් සඳහා යොදාගනී. ආසන්න වශයෙන් 200 කට අධික ගුවන් යානා ප්‍රමාණයක් වෙරළාරක්ෂක බළකාය සතුව ඇත. මේවාට හෙලිකොප්ටර් (HH-65 Dolphin, MH-60 Jayhawk) සහ ගුවන් යානා (HC-130 Hercules, E-2C Hawkeye) ඇතුළත් වේ. මෙම ගුවන් යානා සෝදිසි හා මුදා ගැනීමේ මෙහෙයුම්, නීතිය ක්‍රියාත්මක කිරීම, හදිසි වෛද්‍ය ආධාර සහ ජාතික ආරක්ෂක මෙහෙයුම්වල දී ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

ඒ කෙසේ නමුත් මෙතරම් අති දැවැන්ත යුධ ශක්තීන් තිබියදීත් ඇමරිකානු හමුදාවට එකවර ප්‍රධාන කලාපීය ගැටුම් දෙකකට මුහුණ දීමට තරම් ශක්තියක් නොමැති බවට ඇතැම් විශ්ලේෂකයන් මත පළ කර ඇත. ට්‍රම්ප්ගේ චෝදනාවන් හා කෝපය පිටුපස සැඟව ඇත්තේ ද චීනය, උතුරු කොරියාව හා රුසියාව එක්වීමේ බිය බව විචාරශීලිකයන්ට මත පළ කළ හැක. මෙම රටවල් තුන ම එක්වීමෙන් ලෝක බලවතා බිමට ඇද ඇදීම එතරම් දුෂ්කර කාර්යයක් නොවනු ඇති බව Global Eye අපගේ මතයයි.
සැකසුම - ප්‍රසිලා සඳරුවනි