/
/
title icon
GLOBAL EYE - ජනතා විරෝධයෙන් ගිනිගත් නේපාලයේ පාර්ලිමේන්තුව - අගමැති ඉල්ලා අස්වෙයි
GLOBAL EYE - ජනතා විරෝධයෙන් ගිනිගත් නේපාලයේ පාර්ලිමේන්තුව - අගමැති ඉල්ලා අස්වෙයි
Presila Sandaruwani
5 hours ago
Share:
GLOBAL EYE - ජනතා විරෝධයෙන් ගිනිගත් නේපාලයේ පාර්ලිමේන්තුව - අගමැති ඉල්ලා අස්වෙයි

ඊයේ දිනය එනම් සැප්තැම්බර් 09 වන දින නේපාලයේ ඉතිහාසයට සුවිශේෂි දිනයක් වූ අතර ශ්‍රී ලාංකික අපට ද එය  අපේ දේශපාලනික ඉතිහාසයේ එක් සංධිස්ථානයක් නැවතත් සිහිගන්වන සිදු වීමක් විය. එටර පවතින දේශපාලන තත්ත්වයට එරෙහිව දේශපාලන විරෝධතා ඇතිවෙමින් තිබූ නමුත් විශේෂයෙන් Gen Z පරම්පරාව විසින් මෙහෙයවන ලද විරෝධතා රැලිවල තීව්‍රත්වයේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට එරට අග්‍රාමාත්‍ය කේ. පී. ෂර්මා ඔලි සිය දූරයෙන් ඉල්ලා අස්වී ඇත.

ධූරයෙන් ඉල්ලා අස් වූ කේ. පී. ෂර්මා ඔලි
ඛඩ්ග ප්‍රසාද් ෂර්මා ඔලි (Khadga Prasad Sharma Oli) වන මොහු වර්ෂ 1952 පෙබරවාරි 22 දින උපත ලබා ඇති අතර මේ වන විට හැත්තෑතුන් වන වියේ පසු වෙයි. ඔහු 1960 දශකයේ දී සිය දේශපාලන ගමන ආරම්භ කර ඇත්තේ එවකට පැවති රාජාණ්ඩුවට එරෙහිව ය. කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත් ඔහු  ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීමේ චෝදනාව මත 14 වතාවක් සිරගත ව අතර 14 වසරක කාලයක් (1973-1987) සිරගතව සිට ඇත. මෙම සිරගතවීම ඔහුගේ දේශපාලන දැක්මට බෙහෙවින් බලපෑ බව පැවසෙයි. අනතුරුව ඔහු කොමියුනිස්ට් පක්ෂය නේපාලය (එක්සත් මාක්ස්වාදී-ලෙනින්වාදී) - CPN (UML) හි ප්‍රධාන නායකයෙකු බවට පත්ව ඇත. 2014 දී ඔහු පක්ෂයේ සභාපති ලෙස පත්ව පසුව CPN (Maoist Centre) සමඟ එක්ව නේපාල කොමියුනිස්ට් පක්ෂය (NCP) පිහිටුවීමට දායක වී ඇත. 

46405a274a62b643e5711cdb1854bc22.jpg


එමෙන් ම ඔලි සිය දේශපාලන ජීවිතය තුළ ජාතිකවාදී ස්ථාවරයක් දැරීමට ප්‍රසිද්ධිය. ඔහු ඉන්දියාව සමඟ නේපාලයේ සබඳතා සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක සිටි අතර නේපාලයේ භූමි ප්‍රදේශ සම්බන්ධයෙන් හිමිකම් කීමේදී ද ජාතිකවාදී ස්ථාවරය ප්‍රදර්ශනය කළේය. ඔහු නේපාලයේ අගමැති ධුරය කිහිප වතාවක් දරා ඇත. ඒ 2015 ඔක්තෝබර් - 2016 අගෝස්තු ද, 2018 පෙබරවාරි - 2021 ජූලි ද හා 2024 ජූලි - 2025 සැප්තැම්බර් ලෙස ය.

නේපාල රජය අස්ථාවර වූයේ ඇයි?
නේපාලයේ දේශපාලන පක්ෂ තුළ නිරන්තරයෙන් පවතින භේද, නායකත්ව අරගල සහ පෞද්ගලික මෙන් ම දේශපාලනමය වශයෙන් පක්ෂග්‍රාහී ස්වභාවයන් මීට ප්‍රධාන හේතු කාරණා සායයි. එමෙන් ම නායකයන්ට වගවීමක් නොමැති වීම සහ පක්ෂවල අභ්‍යන්තර ගැටුම් හේතුවෙන් එක්සත් ආණ්ඩු බිහි කිරීම දුෂ්කර කර්ත්ව්‍යයක් වී තිබේ. එපමණක් නොව රට පුරා පවතින දූෂණය, අකාර්යක්ෂම පාලනය සහ නායකයන්ගේ වගවීම් නොමැතිකම මහජනතාවගේ අතෘප්තියට හේතු වී ඇත. විශේෂයෙන් ම "නෙපෝ කිඩ්ස්" (Nepo Kids) යනුවෙන් හඳුන්වන දේශපාලනඥයන්ගේ දරුවන්ගේ සුඛෝපභෝගී ජීවන රටාවන්, දුප්පත් රටක ජනතාව අතර දැඩි අසමානතාවක් සහ අමනාපයක් ඇති කර තිබේ. නොනවතින විශාල දූෂණ වංචා (උදා: පෝඛරා ගුවන් තොටුපළ සිද්ධිය, සරණාගත වංචාව) ජනතාවගේ විශ්වාසය තවත් කඩාකප්පල් කර ඇත. ආර්ථික අභියෝග රැසක් සතු නේපාලයේ තරුණ පිරිස් අතරේ ඇති ඉහළ විරැකියාව, ආර්ථික අසමානතාව සහ ජීවන වියදම ඉහළ යාම වැනි ගැටලු මහජන අතෘප්තියට තවදුරටත් හේතු වී ඇත. එමෙන් ම රටේ ආර්ථික සංවර්ධනය මන්දගාමී වීම සහ යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් යොමු නොවීම ද ගැටලුවකි. 2008 වසරේ දී රාජාණ්ඩුව අහෝසි කර ජනරජයක් පිහිටුවීමෙන් පසු නැවත ස්ථාවර රජයක් පිහිටුවීමට නොහැකි වී තිබේ. 

511b09621a585368126ded8744ed5161.jpg

නේපාලය, ඉන්දියාව සහ චීනය වැනි විශාල රටවල් අතර පිහිටා ඇති බැවින් එහි දේශපාලනයට විදේශ බලපෑම් සැලකිය යුතු ලෙස බලපායි. විශේෂයෙන් ම දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් විදේශ බලවතුන්ගේ මැදිහත්වීම් වැඩි වී ඇති බව දැක ගත හැක. එමෙන් ම දේශපාලන පක්ෂ අතර මූලික මතවාදී වෙනස්කම් සහ 2006 සිවිල් යුද්ධයෙන් පසු ඇති වූ ගැටළු තවමත් නිරාකරණය වී නොමැත. දේශපාලනඥයන්ගේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් මතවාදයන් වෙනස් කිරීම සහ නිතර නිතර ආණ්ඩු මාරු වීම හේතුවෙන් ජනතාවට දේශපාලන පක්ෂ කෙරෙහි තිබූ විශ්වාසය ද බිඳී ගොස් ඇත. මෙකී හේතු කාරණා නේපාලයේ දේශපාලන මුල් ගල් සෙලවීමට ජනතාව පොළඹවා ඇති බව හඳුනා ගත හැක.

විරෝධතා රැල්ලේ ආරම්භය
මෙහි ආරම්භක ම හේතුව ලෙස හඳුනා ගත හැකි වන්නේ සමාජ මාධ්‍ය තහනමයි. නේපාල රජය විසින් Facebook, YouTube, X (Twitter) ඇතුළු සමාජ මාධ්‍ය වේදිකා 26ක් රට තුළ තහනම් කිරීමට ගත් තීරණය මෙයට මූලික හේතුව විය. මෙම තහනමට හේතුවක් ලෙස රජය දක්වා සිරියේ මෙම සමාජ මාධ්‍ය වේදිකා රජයේ සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ලියාපදිංචි වීමට අපොහොසත් වී ඇති බවයි. නමුත් මෙම සමාජ මාධ්‍ය තහනම, තරුණ පරම්පරාව සිය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට එල්ල වූ සෘජු පහරක් ලෙස සැලකූ අතර Gen Z කණ්ඩායම්, එයට එරෙහිව දැඩි විරෝධතාවක් ආරම්භ කළහ. මෙම විරෝධතා "Enough is Enough" සහ "End of Corruption" වැනි සටන් පාඨවලින් බලගැන්වී තිබිණ. සැප්තැම්බර් 9 වන ඊයේ දිනයේ විරෝධතාකරුවන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදී එහි එක් ගොඩනැගිල්ලකට ගිනි තබා ඇත. විරෝධතා උත්සන්න වීමත් සමඟ විරෝධතාකරුවන් සහ පොලීසිය අතර දරුණු ගැටුම් ද වාර්තා වී තිබූ අතර පොලීසිය විසින් කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ භාවිත කර විරෝධතා මර්දනය කිරීමට උත්සාහ කර ඇත. ඇතැම් මාධ්‍ය වාර්තාවලට අනුව විරෝධතාකරුවන් අගමැති කේ. පී. ෂර්මා ඔලිගේ උපන් ගම වන ඩමාක්හි පිහිටි ඔහුගේ නිවසට ද ගල්මුල් ගසා පහර දී තිබේ. උද්ගත වූ දැඩි උද්වේගකර අවස්ථාව හේතුවෙන් කත්මණ්ඩු ඇතුළු ප්‍රධාන නගරවලට ඇඳිරි නීතිය පැන වීමට සිදු වූ අතර ආරක්ෂක අංශ කැඳවා තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කරන තිබිණි. මෙම ගැටුම් හේතුවෙන් 19 දෙනෙකුට වැඩි පිරිසක් මිය ගොස්, 100 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා විය. මහජනතාවගේ දැඩි විරෝධය සහ තත්ත්වය තවත් උග්‍ර වීම හමුවේ, නේපාල රජය පනවා තිබූ සමාජ මාධ්‍ය තහනම ඉවත් කිරීමට පියවර ගනු ලැබී ය. එමෙන් ම මෙම තත්වය හමුවේ අගමැති කේ. පී. ෂර්මා ඔලි සිය ධුරයෙන් ඉල්ලා අස්විය.

9c71c25bb00d6a7534551c77dbe196f3.jpg


නේපාලයේ මේ වන විට දේශපාලන තත්ත්වය ඉතා අස්ථාවර වී තිබේ. සැප්තැම්බර් 2025 මුල් භාගයේදී ඇති වූ දැවැන්ත Gen Z විරෝධතා හේතුවෙන් අගමැති කේ. පී. ෂර්මා ඔලි ධුරයෙන් ඉල්ලා අස්විය. මෙම විරෝධතා, රජය විසින් සමාජ මාධ්‍ය තහනම් කිරීමට ගත් තීරණයට එරෙහිව ආරම්භ වූ නමුත්, රට පුරා පැතිරී ගිය දූෂණය, නෙපෝටිස්වාදය (nepotism) සහ ආණ්ඩුවේ අකාර්යක්ෂමතාව පිළිබඳව ජනතාව තුළ පැවති දැඩි කලකිරීම හා කෝපය නිසා ඒවා වඩාත් තීව්‍ර විය.

රටේ වර්තමාන තත්ත්වය කෙබඳුද?
නේපාලයේ ජනාධිපති රාම් චන්ද්‍ර පෞඩෙල් අගමැති ඔලිගේ ඉල්ලා අස්වීමෙන් පසුව සියලු පාර්ශ්වයන්ගෙන් සාමකාමිබව ඉල්ලා සිටි අතර සාකච්ඡා සඳහා ද ඉදිරිපත් වන ලෙස ඉල්ලා සිටියේය. තවදුරටත් ඔහු අවධාරණය කර සිටියේ මෙම අර්බුදය විසඳීම සඳහා එක්සත් රජයක් පිහිටුවීමේ අවශ්‍යතාව ඇති බවයි. මේ වන විට නේපාලයේ දේශපාලන තත්ත්වය ඉතා අවිනිශ්චිතය. 
අගමැති ඔලි ඉල්ලා අස්වීමෙන් පසු, පාර්ලිමේන්තුවට නව රජයක් පිහිටුවීමට හෝ එක්සත් රජයක් පිහිටුවීමට සිදු වනු ඇත. මේ සඳහා දේශපාලන පක්ෂ අතර සාකච්ඡා පැවැත්විය යුතුය. එහිදී රට තුළ පවතින අර්බුදය සමනය කර දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීම ප්‍රමුඛ කාර්යය වනු ඇත. Gen Z විරෝධතාවලින් මතු වූ දූෂණය, නෙපෝටිස්වාදය සහ රැකියා විරහිතභාවය වැනි ගැටළු විසඳීම සඳහා රජයට පියවර ගැනීමට සිදුවනු ඇත. ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි සාකච්ඡා මාර්ගයෙන් දේශපාලන ගැටලු විසඳීමට රජය උත්සාහ දරනු ඇත. ඇතැම් කණ්ඩායම් විසින් නැවත රාජාණ්ඩුවක් පිහිටුවීම සඳහා හඬ නඟමින් සිටින අතර එය ඉදිරි දේශපාලන සංවාදයේ දී යම් බලපෑමක් ඇති කළ හැකි අවස්ථාවක් විය හැකි ය.
කෙසේ වෙතත් මේ වන විට ඇති වී තිබෙන දේශපාලන අර්බුදය හේතුවෙන් ඉදිරි කාලය තුළ නේපාලයේ දේශපාලන ගමන් මඟ අතිශයින්ම අවිනිශ්චිත බව පෙනේ. දූෂණ, වංචා ඉවසමින් ජනතාව තවදුරටත් වහලුන් සේ ජීවත් නොවන බවත් එය ශ්‍රී ලංකාවට පමණක් නොව ඕනෑ ම රටකට පොදු බවත් නේපාලය සනාථ කර පෙන්වා අවසන් ය.

සැකසුම - ප්‍රසිලා සඳරුවනි

57f2cafc8c6747481924d84947ec693f.jpg
2fc8c210420e7998d3c0576686ed9e95.jpg
9bf9d8cfad5bfa276584be3a56e81ff6.jpg
160cff8b64a1ef45b82c4ba8cbcf7081.jpg
1a3edf8dbe8b47a0fa87bf1d7b407ac2.jpg
e83300ed941fafe8847d73d4ea49f54c.jpg
3b55f56f6ba0df89903835f362c52813.jpg
0932a1af1f49e89a2823071c9d6d1843.jpg
81e53f538ca13653d7bdfc0c475806d6.jpg
ed72c51f9eaf266668959d53dbceb1b9.jpg


 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required