/
/
title icon
ඉවරයක් නැති දුප්පත්කම
ඉවරයක් නැති දුප්පත්කම
Thilini Yapa
3 hours ago
Share:
ඉවරයක් නැති දුප්පත්කම

ඉන්දියාව යනු ලොව විශාලතම ජනගහනයක් සහිත රටකි. එහි ජනගහණය බිලියන 1.46ක් ලෙස පෙන්වාදිය හැකිය. එමෙන්ම අද වන විට ඉන්දියාව තාක්ෂණික, ආර්ථික, අධ්‍යාපනික සහ වෙළඳාම, කර්මාන්ත සහ අන්තර්ජාතික දේශපාලනයේ ඉදිරියෙන්ම සිටින බව දැක ගත හැකියි. නමුත් දුප්පත්කම යනු අදටත් ඉන්දියානු ජනතාවගේ ජීවිත අවුළුවන ප්‍රශ්නයකි. මෙය ඉන්දියාව තුළ පවතින විශාල ගැටලුවකි. ආර්ථික වශයෙන් ඉදිරියෙන් සිටින රටක දුප්පත්කමින් පීඩා විඳිනවා කියන්නේ මොන තේරුමක් ඇති කතාවක්ද යනුවෙන් කෙනෙක්ට සිතිය හැකියි. ඔව් ආර්ථිකය අතින් කෙතරම් ඉදිරියෙන් සිටියත්, තාක්ෂණයෙන් හැම පිම්මක්ම පැන්නත්, දුප්පත්කම කියන මඩ වලට තවමත් පස් පුරවා, තණකොළ අතුරා ශක්තිමත් ගොඩබිමක් කරගන්නට ඉන්දියාවට නොහැකි වී තිබෙනවා. ඇත්තෙන්ම මෙය නැවත ඇසිය යුතු ප්‍රශ්නයක්. බැරිවෙලාද..? එහෙමත් නැතිනම් උත්සාහයක් අරගෙන නැද්ද..?

ඉන්දියාව එහෙමත් නැතිනම් මහා භාරතය  විවිධ සංස්කෘතීන්, විවිධ භාෂා කතා, කරන විවිධ ආගම් අදහනක් විවිධ කුල වලට අයත් මිනිසුන්ගෙන් සමන්විතයි. බුදුරජාණන්වහන්සේගේ  දවස සිටි අද දක්වාම ඉන්දියාව තුළ කුල ක්‍රමයට ඇත්තේ මහත් ඉඩකඩකි. එමෙන්ම කුල ක්‍රමය නිසාවෙන් පීඩා විඳින මිනිසුන් බොහෝයි. එය එදා මෙන්ම අදත් සිදුවෙමින් පවතිනවා. ඉන්දියාව තුළ බ්‍රාහ්මණ, ක්ෂේත්‍රීය, වෛශ්‍ය සහ ශුද්‍ර යන කුල ප්‍රධාන වශයෙන්ම දැක ගතහැකියි. ඉන්දියාව තුළ සංවර්ධනයේ යම් දියුණුවක් පැවතියත්, මේ කුල ක්‍රමය තුළින් සමාජය තුළ අසමානතාවයක් නිර්මාණය කරනු ලැබේ. මේ හේතුවෙන් ආර්ථික පසුබෑමද දැඩිව දැක ගත හැකිය. ඒ නිසාම ඉන්දියාවට ඇති අභියෝගයක් ලෙස දුප්පත්කම හැඳින්විය හැකියි.

ඉතිහාසය පිරික්සා බලන විට ඉන්දියාවේ ආර්ථික පසුබෑමට ප්‍රධාන හේතුවක් ලෙස බ්‍රිතාන්‍ය පාලන සමයේ සිදුවීම් ද බලපා තිබේ. ප්‍රධාන ලෙසම බ්‍රිතාන්‍ය පාලන සමය තුළින් භාණ්ඩාගාර සහ සම්පත් ගෙන යෑම ජනතාව තුළ ආර්ථික පසුබෑමට හේතුවිය.  ඉන්දියාවේ දුප්පත්කම සම්බන්ධයෙන් මුල්ම අදහස් දැක්වූ විශිෂ්ට පුද්ගලයෙකු වූයේ Dadabhai Naorojiය. ඔහු ඉන්දියාවට “Drain Theory” හඳුන්වා දුන් අතර, බ්‍රිතාන්‍යයන් ඉන්දියාවේ ධනය සහ සම්පත් විශාල වශයෙන් භාවිත කර ඇති බව පැහැදිලිව පෙන්වා දුන්නා. Naoroji ගේ මතය අනුව, ඉන්දියාවේ සම්පත් හා ආර්ථික වර්ධනයේ අදායම් බොහෝමයක් බ්‍රිතාන්‍යයන්ගේ අතට ගලා ගොස්, ජනතාව දුප්පත් තත්ත්වයට යොමු වීමේ ප්‍රධාන හේතුව විය. ඔහුගේ Poverty and Un-British Rule in India යන කෘතිය මෙම අදහස් පැහැදිලි කිරීමට හා ඉන්දියාව තුළ පැවති දුප්පත්කමට සාධක පෙන්වීමට මහත් භූමිකාවක් වුණා. මේ අතර ඉන්දියාවේ පවතින දුප්පත්කම සහ සමාජ අසමානතාව පිළිබඳව විවිධ කෘති පවා රචනා වුණි. ඒ අතර අශ්වින් දේශපාන්ඩේ රචිත Grammer of Cast  කෘතිය ද පෙන්වා දිය හැකිය.



1947 නිදහස ලැබීමෙන් පසු ඉන්දියාවට නව ආර්ථික අභියෝගවලට මුහුණ දීමට සිදුවිය. කෘෂිකර්මය ඉන්දියාව තුළ අදටත් ප්‍රධාන ජීවනෝපාය මාර්ගයකි. නමුත් එකල ගොවීන්ගේ  ජීවිත දැඩිව දුප්පත්කමට ලක්විය.1960 දශකයේදීද ග්‍රීන් රෙවලූෂන් හරහා කෘෂිකර්මය නවීකරණය කළත් සම්පූර්ණ ජනගහනයට එහි ප්‍රතිඵල ලැබුණේ නැත. අනතුරුව 1991 වසරේ විවෘත ආර්ථික ක්‍රමය හරහා ආර්ථිකය වේගයෙන් වර්ධනය වුවත්, දුප්පත් ජනතාවට ඒ සංවර්ධනයේ ප්‍රතිඵලද සපූර්ණයෙන්ම හිමි  වූයේ නැත.

මෙලෙස ඉන්දියාව තුළ ව්‍යාප්තවත්  පවතින දුප්පත්කමට ප්‍රධාන හේතු කීපයක්ම පවතිනවා. ප්‍රධාන ලෙසම ඉන්දියාව විශාල ජනගහනයක් සිටින රටක්, මේ හේතුවෙන් ඉන්දියාවේ සිටින සියලුම දෙනාට පූර්ණ රැකියා ලබාදීමට ඉන්දියාව නොහැකි වී තිබේ. එමෙන්ම ඉන්දියාවේ ග්‍රාමීය ජනතාවට ගුණාත්මක අධ්‍යාපනයක් නොලැබීමද තවත් ප්‍රධාන හේතුවකි. ජන ඝනත්වය ඉහළ යාම නිසා සම්පත් බෙදා ගැනීම පවා පවතින්නේ අසමරූපී තත්ත්වයකයි. එමෙන්ම ඉන්දියාව තුළ  නගරය සහ ගම අතර පවතින්නේ දැඩි අසමතුලිතතාවයක්ය. ඉතිහාසයේ සිටම පැවත එන කුල ක්‍රමයද , ලිංගය මත පදනම් වූ වෙන් කිරීම් ද දුප්පත්කම පවත්වාගෙන යෑමට හේතු වී තිබේ. මේ හේතුවෙන් අද වන විටත් මේ සමාජය තුළින් අසමතුලිතතාවයක් , අසමානතාවයක් ගොඩනැගී ඇත. කෙතරම් තාක්ෂණික අතින් ආර්ථිකමය ලෙස ඉදිරියෙන් සිටින රටක් වුවත්, ඉහත හේතුන් නිසා මා මුලින් සඳහන් කළ දුප්පත්කම නම් මඩ වගුර සම්පූර්ණයෙන්ම වසා දැමීමට නොහැකි වී ඇත.

මේ හේතුවෙන්, ඉන්දියානු සමාජය තුළ අද වන විට දරුවන් අතර පෝෂණ හිඟය, දරුවන් පාසල් නොයෑම, පාසල් යන වයසේ දරුවන් වැඩට යැවීම, අඩු වයසින් ගැහැනු දරුවන් විවාහ කිරීම, වැනි තත්ත්වයන් කොතෙකුත් දැකිය හැකියි. පාසල් යන වයසේ දරුවන්ටහිමි බොහෝ දේ මේ දරුවන්ට මගහැරෙනු ඇත. අද වන විටත් ඔවුන්ට බොහෝ දේ මගහැරී ඇත.එපමණක් නොවේ අද වන විට සෞඛ්‍ය ගැටලු රැසක් ඉන්දියාව තුළ පැන නැගී ඇත. වියදම් සීමාවන් නිසා රෝග වලට අවශ්‍ය ප්‍රතිකාර නොලැබීම කොතෙකුත් දැකිය හැකියි. මෙලෙස පරම්පරාවෙන් පරම්පරාවට දුප්පත් වීම හේතුවෙන් තම ඉදිරි පරම්පරාවටත් යහපත් අනාගතයක් තැනීමේ හැකියාවක් ඔවුන් සතු නොවේ. ඉන්දියාව තුළ මෙය ඛේදනීය ඉරණමකි. මේ දුප්පත්කම හේතුවෙන් සමාජය තුළ අපරාධ ඉහළ ගොස්ය. මේ නිසා සමාජය තුළ ආරක්ෂාව ගැන දහස් වතාවක් සිතීමට සිදුව ඇත. මෙය භයානක තත්ත්වයකි. මේ තුළින් සොරුන්, අපරාධකරුවන්, මංකොල්ලකාරයින් නිර්මාණය වීමද සිදුවේ. ඒ අනුව දුප්පත්කම යනු අද වන විට මිනිසුන් අයහපතට පොළඹවන හේතුකාරකයක් වී ඇත.

ඊළඟ ප්‍රශ්නය ඉන්දියානු රජය මේ වෙනුවෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් අද වෙනතක් ගනු ලැබුවේ නැතිද යන්නයි. ඉන්දියානු රජයේ ඉන්දියාව තුළ දුප්පත්කම අඩු කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබුවා. මුලින්ම ඉන්දියාවේ දුප්පත් ජනතාවට සහය වීමේ අරමුණින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළේය. Mahatma Gandhi National Rural Employment Guarantee Act හරහා ගම් ප්‍රදේශවල ජනතාවට රැකියා සහ ආදායම් අවස්ථා ලබා දී තිබේ. එමෙන්ම Public Distribution System මගින් අඩු මිලට ආහාර ලබා දීම සිදු කෙරුණා. Ayushman Bharat වැඩසටහන ඔස්සේ දුප්පත් ජනතාවට නොමිලේ සෞඛ්‍ය සේවාවන් ලබා දුන් අතර, Skill India සහ Digital India වැඩසටහන් මගින් තාක්ෂණික දැනුම හා නව රැකියා අවස්ථා හරහා දුප්පත්කම අඩු කිරීමට උත්සාහ දරන ලදී. එහෙත්, මෙම වැඩසටහන් ඉන්දියාව තුළ ක්‍රියාත්මක වුණත් ඒ තුළින් දුප්පත් ජනතාවට සැබෑ ප්‍රතිඵල ලැබුණේ නැත. මෙහිදී ද සිදුවූයේ දූෂණය, වංචාව, මුදල් අවභාවිත කිරීම, කළමනාකරණ හිගය යනාදියයි. මේ හේතුවෙන් ඉහත වැඩසටහන්වල බලපෑම අඩු විය.


ඉන්දියාවේ ප්‍රසිද්ධ සමාජ ආර්ථික විවේචක Jean Dreze සඳහන් කරන්නේ, Mahatma Gandhi National Rural Employment Guarantee Act (MNREGA), Public Distribution System (PDS), සහ පාසල් මධ්‍යහන ආහාර වැඩසටහන (School Midday Meals) වැනි සමාජ ආරක්ෂණ ක්‍රම දුප්පත්කම අඩු කිරීමට වැදගත් දායකත්වයක් සපයන බවයි. නමුත්, ඔහු තවදුරටත් අවධාරණය කරන්නේ, රජයේ ක්‍රියාකාරකම් දුර්වල සහ ප්‍රතිපාදන පද්ධති අකාර්යක්ෂම වීම නිසා මෙම සම්පත් සම්පූර්ණයෙන්ම දුප්පත් ජනතාවට නොලැබෙන බවයි.

එමෙන්ම රජය සමඟ එක්ව, රටේ දුප්පත් ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට NGO සහ සමාජ සංවිධාන විශාල භූමිකාවක් භාරගත්තේය. ඒ සඳහා කුඩා ණය වැඩසටහන් (microfinance), ගුණාත්මක අධ්‍යාපනය සහ ගෘහ ආර්ථිකය වර්ධනය කිරීමේ ක්‍රමයන් ක්‍රියාත්මක කරන ලදී. මෙම ක්‍රියාකාරකම් මගින් දුප්පත් ජනතාවට ආර්ථික ස්වාධීනතාවය සහ ජීවන තත්ත්වය වැඩි දියුණු කර ගැනීමට හැකි විය.

අද වන විට ඉන්දියාවේ ජනගහනය බිලියන 1.46ක් වශයෙන් පවතී. 1990 දී 45% ක් වූ දුප්පත්කම 2023 වන විට 10% දක්වා අඩු කිරීමට රටට හැකිව තිබුණද, තවමත් ලක්ෂ ගණනක් මිනිසුන් දුප්පත් ජීවිත ගතකරන බව වාර්තා වේ. මේ අතර විශේෂයෙන් කාන්තා ජනතාව, ගම්මානවල පදිංචිව සිටින අය සහ අඩු කුලවලට අයත් ජනතාව අධික ලෙස දුප්පත්කමට ලක්ව සිටින බව අවධාරණය කරයි.



ඉන්දියාවේ දුප්පත්කම පිළිබඳව නෝබෙල් ත්‍යාග ලාභී ආර්ථිකවේදී අමර්ත්‍ය සෙන් දැක්වූ අදහස විශේෂයි. ඔහුගේ මතය අනුව, දුප්පත්කම කියන්නේ මුදල් අඩුව පමණක් නොව, “ශක්ති අඩුවීම” (Capability Deprivation) යන අර්ථයෙන් සලකිය යුතු දෙයක් වේ. එනම්, මිනිසුන්ට මූලික ජීවිත අවශ්‍යතා සපුරා ගැනීම, අධ්‍යාපනය ලබාගැනීම, සෞඛ්‍ය සේවාවන් භුක්ති විඳීම සහ සමාජ ජීවිතයට සම්පූර්ණව සහභාගී වීමේ හැකියාවන් අහිමිවීම දුප්පත්කම ලෙස සැලකිය යුතුය. ඉන්දියාවේ ආර්ථික වර්ධනය ගොඩනගා ගියත් එම වර්ධනය සියලු ජනතාවට සම සමානව ප්‍රයෝජනවත් නොවන විට, දුප්පත්කම තවමත් පවතින බව සෙන් පැහැදිලි කරයි. එබැවින්, ඔහුගේ මතය අනුව දුප්පත්කම මිනුම් කිරීමේදී මුදල් පමණක් නොව, සෞඛ්‍ය, අධ්‍යාපන, ආහාර සහ සමාජ ආරක්ෂාව වැනි මූලික මානව අවශ්‍යතා ද සලකා බලන්න අවශ්‍ය වේ.

එමෙන්ම Oxfort India Report (2023) පවසන්නේ ඉහළ පන්තිය ලොකු ලාභ ලබන අතර දුප්පත් පන්තියට පමණක් කුඩා ප්‍රතිලාභ ලැබෙන බවයි. මෙහිදී ඉහළ ආදායම් පංතියට වැඩි බදු, දුප්පත් පන්තියට වැඩි සමාජ සේවා ඔවුන් යෝජනා කරයි.

එමෙන්ම ලෝක බැංකුව ද සඳහන් කරන්නේ, ඉන්දියාවේ ආර්ථික වර්ධනය දැඩිව පවතින නමුත් එය සම සමාන වශයෙන් සියළු ජනතාවට ප්‍රයෝජනවත් නොවන බවයි. දුප්පත් සහ ධනවත් පන්තිය අතර ඇති අධික අසමානතාවය නිසා, අනාගතයේ “Inclusive Growth” ලෙස හැඳින්වෙන සියල්ලන්ට යහපත්වන වර්ධනයට දැඩි සීමා ඇතිවනු ඇති බව ලෝක බැංකුව අවධාරණය කරයි.

අංගුත්තර නිකායෙහි (අටුවා සංග්‍රහයඅංගුත්තර නිකායෙහි (අටුවා සංග්‍රහය) සඳහන් ගාථාවක බුදුන් වහන්සේ මෙලෙස දේශනා කර තිබුණා.
“චතුර්ධා භජතෙ මිතං — ධනං භඝ්ගවතො නරො,
එකං භොගාය භොගෙත්වා — ද්වෙ ච කම්මං පයොජයේ,
චතුත්ථං නික්ඛිපෙ චේව — ආපදාසු භවිස්සතී”
(අංගුත්තර නිකාය, චතුක්ක නිපාතය, අපරාපරියක්ඛණ සූත්‍රය

මිනිසෙක් උපයාගත් ධනය යුක්තිසහගතව භාවිතා කළ යුතු බවයි. ඒ අනුව ධනයේ කොටසක් ජීවිතය පවත්වා ගැනීමට, මිතුරන් හා පවුලේ අය සමග බෙදා ගැනීමට යෙදිය යුතුය. කොටස් දෙකක් තම ජීවිකාව වැඩි දියුණු කිරීමට, ව්‍යාපාර හා වෘත්තීය කටයුතු සඳහා යෙදිය යුතු බවයි. ඉතිරි කොටසක් අනාගත ආපදා සහ අනතුරු සඳහා සුරැකිය යුතුය. මේ මධ්‍යස්ථ ආකාරය පාවිච්චි කළොත් ජනතාව ණය බරෙන් මිදී දුප්පත්කම අඩු කර ගත හැකි අතර, ඉන්දියාව වගේ විශාල ජනගහණයක රටක ආර්ථිකයත්, සමාජයත් යහපත් කර ගන්න පුළුවන්.



ඉන්දියාව විශාල භූමි ප්‍රමාණයක් සහ හොඳ දේශගුණයක් ඇති රටක් වුවත්, බොහෝ මිනිසුන් ගෙවල් නොමැතිව පාරවල් මත ජීවත් වන අතර, දරුවන්ගෙන් බොහෝ දෙනා අධ්‍යාපනයෙන් දුරස් වී ඇත. මේ තත්ත්වය ඇති වන්නේ වේගවත් නගරීකරණය, අධික අසමානතාවය, සහ නිවාස මිල වැඩිවීම වැනි හේතු නිසාය. මෙවැනි ගැටලුවට විසඳුමක් ලෙස, අඩු වියදමේ නිවාස වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, දරුවන්ට නොමිලේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය පහසුකම් ලබාදීම, ග්‍රාමීය සහ නගර ප්‍රදේශවල කුඩා ව්‍යාපාර සහ වෘත්තීය පුහුණුව ශක්තිමත් කිරීම වැදගත් වේ. තවද, තාක්ෂණය භාවිතයෙන් ඩිජිටල් අධ්‍යාපනය, ණය පහසුකම් සහ නවෝත්පාදන ව්‍යාපෘති දුප්පත් පන්තියට ගෙන යාමත් සවිබලගැන්වීමේ මාර්ගයක් වෙයි. ලෝකයේ වෙනත් රටවල් භාවිතා කළ උදාහරණ ඉන්දියාවටත් ගත හැකි අතර, සිංගප්පූරුවේ “Public Housing Scheme” යටතේ අඩු ආදායම් පවුල් සඳහා ගොඩනගන ලද නිවාස ලබාදී ජනගහණයේ බොහෝ කොටසක් නිවාස හිමියන් කරගත් ආකාරය මෙයට උදාහරණයකි. එවැනි ක්‍රියාමාර්ග ඉන්දියාවේ සමාජ ආරක්ෂණ වැඩසටහන්, අධ්‍යාපන සහ සෞඛ්‍ය වැඩසටහන් සමඟ සම්බන්ධ කළහොත්, දුප්පත්කම අඩු කරමින් සියළු ජනතාවට යහපත් ජීවිතයක් ගොඩනගා ගත හැකි වේ.

එමෙන්ම දුප්පත්කම සහ සමාජ අසාධාරණය අහෝසි කිරීම සඳහා අපි මුලින්ම භෞතික වශයෙන් කටයුතු කළ යුතුය. නමුත් සම්පත් ලබා දීම පමණක් ප්‍රමාණවත් නොවේ. ඒ මිනිසුන්ද තමන්ගේ ජීවිතය උසස් කරගැනීමට උත්සාහවන්තව කැපවීමෙන් ක්‍රියා කළ යුතුය. මිනිස්සුන් මනසින් වර්ධනය විය යුතුය. මනසින් උසස් විය යුතුයි. බුදුහුමුදුරුවෝ දේශනා කරන ආකාරයට, මිනිස්සුන්ගේ උසස්කම හෝ පහත්කම තීරණය වන්නේ, ඔවුන්ගේ ක්‍රියාකලාප මගින්ය. ඒ නිසා, අපේ හැසිරීම් සහ අදහස් මඟින් තම ජීවිතය හා සමාජය වෙනස් කළ හැක. ඉන්දියාවේ ජීවත්වන සියලු මිනිසුන්, උසස් හෝ පහත් මට්ටමක නොවන, එකිනෙකා සමාන ලෙස ගරු කරමින්, කරුණාව, සාධාරණය සහ සහයෝගය ප්‍රවර්ධනය කළ යුතුය. මෙම මනෝභාවය මුළු ලෝකයේමද මිනිස්සුන් අතර සමානාත්මතාවය ඇති කිරීමට මඟ පෙන්විය හැක.

දරුවෙකු කිනම් දේශයක උපත ලැබුවත් ඔහු ඉපදෙන විට කුලයක් රැගෙන එන්නේද.? සමාජයක් තුළ හිමිකම් අහිමිවීම් තීරණය කිරීමට එය සාධාරණ හේතුවක්ද.? මේ හේතුවෙන් බොහොමයක් මිනිසුන් එදා වේලවත් නොකා නිදාගන්න අවස්ථා ඉන්දියාව තුළින් කොතෙකුත් දැක ගත හැකියි. අයෙක් උපතින් දුප්පත් වුවත් ඔහු දුප්පතෙකු ලෙස මිය යාම සිදුවිය යුතුද..? එය එසේ වීමට අවශ්‍ය නැත. එය වෙනස් කිරීමද ඇත්තේ මේ සමාජය තුළමයි. එමෙන්ම සෑම මනුෂ්‍යයෙකුටම තමන්ගේ ජීවිතය, තමන් කැමති ආගමක් ඇදහීම, තමාගේ අනාගතය ගැන තීරණ ගැනීමට අයිතියක් තිබිය යුතුයි. තමන්ගේ ජීවිතය ගැන තීරණ ගැනීමේ අයිතිය තමන්ගේ ආගම හෝ කුලය මත පදනම් නොකළ යුතුයි. අන්‍ය ආගම්වලටද  අප ගරු කළ යුතු බව බුදුන් වහන්සේ ද දේශනා කර තිබෙනවා. අපි කුමන රටක ජීවත් වුවත් සියලු දෙනාම කුසගින්න හඳුනන, හැඟීම් දැනීම් අඩු වැඩි වශයෙන් එකිනෙකාට දැනෙන මිනිසුන්ය. මනුෂ්‍යයකු ලෙස මේ ලොව උපත ලබන ඕනෑම මිනිසෙකුට නිදහසේ ජීවත් වීමේ අයිතිය වරප්‍රසාද භුක්ති විදීමේ අයිතිය හිමි විය යුතුමයි.

අද වන විට ලෝකය තාක්ෂණික වශයෙන් බොහෝ ඉදිරියෙන් සිටිනවා. ගෝලීයකරණය වූ ලොවක ජීවත්වන මිනිසුන් ලෙස දිනෙන් දින නැවුම් විය යුතුයි. සම්ප්‍රදායන් තුළ සිරවී සිටීම වෙනුවට අලුත් දේවල් යහපත් ලෙස වැළඳ ගත යුතුයි. ඉන්දියාව තුළ ජීවත්වන දුප්පත්කමෙන් පීඩා විඳින මිනිසුන්ටද දුප්පත්කම නම් මඩ වලට සමුදී, සමානාත්මතාවය පිරි යහපත් ජීවන වටපිටාවක් ඉක්මනින්ම උදාවේවා යයි ප්‍රාර්ථනා කරමු. ඒ දවසට අද ඉන්දියාවේ මහපාර අයිනේ  නිදන  මහා අහස් කුස වියනක් වුණු මිනිසුන්ගේ මුහුණුත් පරම්පරා ගණනකටම අනිවාර්යයෙන්ම හදවතින්ම සිනහවේවි.






තිළිණි යාපා

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required