/
/
title icon
ළමයා සහ අන්තර්ජාලය
ළමයා සහ අන්තර්ජාලය
Upeksha Thambavita
23 hours ago
Share:
ළමයා සහ අන්තර්ජාලය

ළමයා සහ අන්තර්ජාලය කියන මේ මාතෘකාව සම්බන්ධව පුංචි විග්‍රහයක් සිදු කරන්නට සිතුනේ අද සමාජය තුළින් අසන්නට දකින්නට සිදුවන අන්තර්ජාලය හරහා සිදුවුණු බිහිසුණු අපරාදකාරී සිදුවීම් හේතුවෙන්. ළමයෙක් යනු වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයෙක්. ඉතින් මෙම අවධිය තුළදී දරුවන් විවිධ වැරදි ක්‍රියාවලට පෙළඹෙන්න තිබෙන ඉඩකඩ බොහොමයක් වැඩී. අන්තර්ජාලය කියන්නේ අද වන විට මිනිසුන් වන අපිට නැතුවම බැරි තාක්ෂණික භූමිකාවක්. මෙම අන්තර්ජාලය වටා ගොඩනැගුණු සමාජ මාධ්‍යයන් ද මෙහිදී ඉතාමත් වැදගත් සාධකයක් ලෙසට පෙන්වාදිය හැකියි. 

2019 වසරේ දී කොරෝනා වෛරසය පැමිණීමත් සමග අප කවුරුත් අන්තර්ජාලය සමග ඊට පෙර නොවූ ආකාරයෙන් සමීපව සම්බන්ධ වූවා. මේ තත්ත්වය හමුවේ පාසල් ළමුන්ද බොහොමයක් මෙම අන්තර්ජාලය හා සම්බන්ධ වී වැඩ කටයුතු සිදු කළා. සියලු අධ්‍යාපනික වැඩකටයුතු මාර්ගගතව සිදුවූ හෙයින් ළමුන්ට විවිධ තාක්ෂණික උපාංග භාවිත කිරීමට සිදුවුණා. මේ තත්ත්වයත් සමඟ ඊට පෙරට වඩා පාසල් දරුවන් ජංගම දුරකථන, ටැබ් පරිගණක, පරිගණක ආදී තාක්ෂණික උපාංග භාවිත කිරීමට නැඹුරුවූවා. මෙහිදී කෙමෙන් කෙමෙන් දරුවන් අධ්‍යාපනික කටයුතුවලදී පමණක් නොව අනෙකුත් අවස්ථාවලදීද ටිකෙන් ටික ජංගම දුරකථනය භාවිත කිරීමට කටයුතු කරනු ලැබුවා. කුඩා දරුවාගේ, පෙරපාසල් දරුවාගේ පටන් ජංගම දුරකථන භාවිතා කරන තත්ත්වයක් ඉන්පසු කාලයේදී සිදුවුණා. මෙහිදී මෙම තාක්ෂණය, අන්තර්ජාලය භාවිතා කිරීමට දරුවන් පෙළඹීම තුළින් ආන්දෝලනාත්මක අපරාධ රැසක් පසුගිය කාලපරිච්ඡේදය තුළදී අපට අසන්නට, දකින්නට ලැබුණා. 

අන්තර්ජාලය යනු භාවිතයට නුසුදුසු දෙයක් නොවේ. නමුත් අන්තර්ජාලය තුළ හොඳ නරක කියන දෙපැත්තටම අයත් දේවල් නිරන්තරයෙන් සංසරණය වනු ඇත. එම නිසා එහිදී අපි මෙය භාවිතා කිරීමේ දී යහපත් දේ පමණක් භාවිතයට ගැනීමට වගබලා ගත යුතුයි. කලින් සඳහන් කළා වගේ පාසල් දරුවන් නැතිනම් මේ ළමුන් ඔවුන්ගේ වයස් කාණ්ඩයත් සමඟ අලුත් අත්දැකීම් ලබා ගැනීමට නිරන්තරයෙන් උත්සාහ කරනු ලබන පිරිසක්. එහිදී ඔවුන් අන්තර්ජාලය හරහා සංසරණය වන පරිශීලනයට නුසුදුසු දේවල් නරඹන්න, රසවින්දනය කරන්න පෙලඹෙනවා. පසුව ඔවුන් ඒ දේවල් අත්දැකීමක් විදිහට අරගෙන ප්‍රායෝගිකව එම දේවල් ක්‍රියාත්මක කිරීමට පෙළඹෙන අවස්ථා ඕනිතරම් අද සමාජයෙන් වාර්තා වී තිබෙනවා.

මීට අමතරව අද ෆේස්බුක්, යූ - ටියුබ් විශේෂයෙන් ටික්ටොක් වැනි සමාජ මාධ්‍ය බොහොමයක් පිරිස පරිශීලනය කරනු ලබනවා. සමාජ මාධ්‍ය හරහා පාසල් ළමුන් කී දෙනෙක් අද ප්‍රේම සම්බන්ධතාවල පැටලෙනවා ද? ගොඩක් වෙලාවට මේ වයස අවුරුදු 15, 16, 17 වැනි වයස්වල දරුවන් විශේෂයෙන් ගැහැණු දරුවන් තමන්ගේ වයසට වඩා තෙගුණයක් පමණ වයසින් වැඩි පිරිමි පුද්ගලයන් සමග එම සම්බන්ධතා ඇතිකර ගැනීමට පෙළඹෙනවා. ඒ ආකාරයට ප්‍රේම සම්බන්ධතා පටන් ගෙන පසුව ජීවිත වලින් වන්දි ගෙවූ පුවත් ඕනිතරම් අද රූපවාහිනිය, ගුවන්විදුලිය තුළින් අපට අසන්නට, දකින්නට ලැබෙනවා. ඒ වගේම තව දෙයක් තමයි මේ සමාජ මාධ්‍ය තුළින් විශේෂයෙන් අපි මේ කතා කරන වයසේ පසුවන දරුවන් තම නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය හරහා හුවමාරු කර ගැනීම සිදුකරනු ලබනවා. ඉන්පසු ඒ දේවල් සමාජ මාධ්‍යයට මුදා හරින බවට ඔවුන්ව බියවද්දමින් ඔවුන්ගෙන් මිල මුදල් සහ ඔවුන්ගේ ශරීරය මුදලට අලෙවි කරවා ගැනීමට කටයුතු කරනු ලබනවා. මෙවැනි දේවල් නිසා අද පාසල් යන දරුවන් කොයිතරම් ප්‍රමාණයක් සියදිවි නසාගෙන තිබෙනවා ද? මෙරටින් වසරකට සියදිවි නසා ගැනීම් කීයක් මේ තත්ත්වය නිසා වාර්තා වෙනවා ද? ඒ වගේම මේ අන්තර්ජාලය හරහා සංසරණය වන ළමුන්ට නැරඹීමට නුසුදුසු වීඩියෝපට, චිත්‍රපට ආදිය පාසල් ළමුන් වැඩි වශයෙන් නැරඹීමට පෙළඹෙනවා සහ එකිනෙකා අතර හුවමාරු කර ගැනීම සිදුකරනු ලබනවා. එපමණක් නොව මීට කලින් සඳහන් කළා වගේ ඔවුන් ප්‍රායෝගික මේ දේවල් අත්හදා බැලීමට පවා පෙළඹෙනවා. මෙවැනි දරුවන් මේ දේවල් නැරඹීම තුළින් තව මව, සහෝදරිය අඳුනන්නේ නැති තත්ත්වයකට පත්වී තිබෙනවා. මේ හැරුණු කොට අනෙක් කාරණය තමයි මත්ද්‍රව්‍ය. පාසල් දරුවන් බොහොමයක් අද මත්ද්‍රව්‍යවලට පෙළඹීමක් දක්නට ලැබෙනවා. මෙලෙස  මත්ද්‍රව්‍යවලට පෙළඹීමට අන්තර්ජාලය, සමාජ මාධ්‍ය ද වක්‍රාකාරව හෝ බලපානු ලබනවා. මන්දයත් ඒ තුළ අන්තර්ගත දේවල් නරඹා එයින් නරක ආදර්ශයන් ලබාගෙන ඒ ඔස්සේ මෙවැනි දේවල් වලට ඇබ්බැහි වූ දරුවන් ඕනිතරම් සිටින බැවිනි.

ඉතින් මෙහිදී සඳහන් කිරීමට උත්සහ ගනු ලබන්නේ අන්තර්ජාලය, තාක්ෂණය, ජංගම දුරකථනය භාවිතය නවතා දැමිය යුතු බව නොව. පාසල් දරුවන් වශයෙන් මේ අන්තර්ජාලය, ජංගම දුරකථන භාවිතය යම්තාක් දුරකට හෝ සීමා කර එයින් යහපත් දේ පමණක් ලබාගන්නා ලෙසයි. වත්මනයේ දී තාක්ෂණය භාවිත නොකර සිටීමට නොහැකි තරම් බව දන්නා නමුදු එය භාවිත කිරීමේදී විශේෂයෙන් දරුවන් ඉන් තමාට අවශ්‍ය යහපත් දේ පමණක් උකහා ගැනීමට පෙළඹිය යුතුයි. දෙමව්පියන්ද තම දරුවන් පිළිබඳ නිරන්තරයෙන් අවධානයෙන් සිටිය යුතුයි. මන්දයත් මේ පාසල් විය යනු දරුවන් වැරදි දේවල්වලට නැඹුරු වීමට බොහෝ ඉඩකඩක් තිබෙන අවධියක් බැවිනි. අන්තර්ජාලය හරහා සිදුවන අපරාධ අතින් ශ්‍රී ලංකාව ප්‍රමුඛස්ථානයක සිටින අතර එම තත්ත්වය වෙනස් කිරීමට අපි සෑමදෙනා කටයුතු කළ යුතුයි. එහිදී තනිව තමන් සහ මෙම අන්තර්ජාලය සම්බන්ධව ස්වයං විනයක්, හික්මීමක් නිර්මාණය කර ගැනීමට කටයුතු කළහොත් මෙම තත්ත්වය උඩියටිකුරු කළ හැකිය. ඉතින් අවසාන වශයෙන් සදහන් කරන්නට තිබෙන්නේ, අපි තාක්ෂණය ඔස්සේ හොඳ දේ ලබාගමු. නරක දේ බැහැර කරමු. ලෙසට යි.

 

උපේක්ෂා තඹවිට

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required