/
/
title icon
GLOBAL EYE - දිනෙන් දින ගාසාව ළඟා වන්නේ මරණයට ද?
GLOBAL EYE - දිනෙන් දින ගාසාව ළඟා වන්නේ මරණයට ද?
Presila Sandaruwani
2 hours ago
Share:
GLOBAL EYE - දිනෙන් දින ගාසාව ළඟා වන්නේ මරණයට ද?

ඊයේ දින එනම් සැප්තැම්බර් 26 වන දින ගාසා තීරයට ඊශ්‍රායල විසින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළ අතර ඉන් වාර්තා වන පරිදි පලස්තීනුවන් 60කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇත. සිකුරාදා දින උදෑසන සිට සිදු වූ මෙම ප්‍රහාරවලින් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බවත් වාර්තා වේ. ගාසා නගරයේ අල් රිමාල් ප්‍රදේශයේ පිහිටි නේවාසික ගොඩනැගිල්ලකට ද ප්‍රහාරයක් එල්ල වී ඇති අතර එහි සුන්බුන් අතරින් දිවි ගලවා ගත් අය සෙවීමට මේ වන විට කටයුතු කරමින් ඇත. ගැටුමේ උග්‍රවන තත්ත්වය කෙබදුද නම් මධ්‍යම ගාසා හි අල්-අක්සා මාටයර්ස් රෝහල විසින් තවත් අවුරුදු 17ක පිරිමි ළමයෙකු ඊශ්‍රායල ප්‍රතිපත්ති හේතුවෙන් ඇති වූ කුසගින්නෙන් සහ ප්‍රතිකාර නොලැබීමෙන් මිය ගිය බව වාර්තා කර ඇත. එමෙන් ම මානුෂීය ආධාර වෙනුවෙන් ක්‍රියා කළ ඩොක්ටර්ස් විතවුට් බෝඩර්ස් (Doctors without Borders - MSF) නම් වෛද්‍ය පුණ්‍යායතනය, ගාසා නගරයේ සිදුවෙමින් පවතින ඊශ්‍රායල ප්‍රහාරය හේතුවෙන් එහි වැඩ කටයුතු අත්හිටුවීමට සිදුවූ බව පවසා තිබේ. මෙම තත්ත්ව දිනෙන් දින උත්සන්න වනවා මිසක නිවී යන අයුරු අපට දැක ගත නොහැක.

මෙම වසරේ සැප්තැම්බර් මස පුරා ම ගාසාවට ඊශ්‍රායලය විසින් ප්‍රහාර‍යන් එල්ල කරන ලදි. එහි දී වාර්තා වූ ප්‍රධාන සිදුවීම් මෙසේ සාරාංශගතව ඔබට දැක්විය හැක.

  • සැප්තැම්බර් 3 – 10 යන දිනයන් තුළ සමස්ත ගාසා තීරය ම ඉලක්ක කර ගත් ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය අනුව පලස්තීනුවන් 499ක් මිය ගොස්, 2,258ක් තුවාල ලබා තිබුණි. 
  • සැප්තැම්බර් 4 වන දින උතුරු රාෆා හි වූ මානුෂීය බෙදාහැරීම් ස්ථානය ආශ්‍රිතව එල්ල වූ    ඊශ්‍රායල ප්‍රහාරවලින්    පලස්තීනුවන් 7 දෙනෙකු මිය ගිය බවට වාර්තා විය.
94c34ca457c4ab3a80fd6d75f6572fd4.jpg
  • සැප්තැම්බර් 6 වන දින උතුරු ගාසා හි අස් සුදානියා ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාරවලින් පලස්තීනුවන් 13 දෙනෙකු මිය ගොස්, තවත් විශාල සංඛ්‍යාවක් තුවාල ලබා තිබුණි.
  • සැප්තැම්බර් 7 වන දින එම ප්‍රදේශයේ ම ප්‍රහාර සැපයුම් ට්‍රක් රථ සඳහා බලා සිටි පලස්තීනුවන් 5 දෙනෙකු ප්‍රහාරවලින් මිය ගොස් ඇත.
  • සැප්තැම්බර් 7 වන දින ම ගාසා නගරයෙහි පිහිටි 'Aisha Association for Woman and Child Protection' කාර්යාලයට ප්‍රහාර එල්ල වී ඇති අතර ඉන් එක් සේවකයෙක්, ගැබිනි කාන්තාවක් සහ දරුවෙකු මිය ගොස් ඇත.
  • සැප්තැම්බර් 8 වන දින ඛාන් යූනිස් (මෝරග් කොරිඩෝව) වලට ඇති වූ ප්‍රහාරවලින් දරුවන් තිදෙනෙකු ඇතුළු පලස්තීනුවන් 6 දෙනෙකු මිය ගොස්, 15 දෙනෙකු තුවාල ලබා ඇත.
  • සැප්තැම්බර් 16 වන දින ගොඩබිම් ප්‍රහාරයන් ඇරඹීම සිදු කළ අතර මේ හේතුවෙන් විශාල වශයෙන් පලස්තීනුවන් නගරයෙන් පිටව ගොස් තිබිණ.
  • සැප්තැම්බර් 16 දින ම අල්-රන්තිසි ළමා රෝහලට කාලතුවක්කු ප්‍රහාර තුනක් එල්ල වීමෙන් රෝහල වසා දැමීමට සිදු විය.
  • සැප්තැම්බර් 19 - 20 දිනවල දී ගාසා නගරයේ නේවාසික ගොඩනැගිලි ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල වූ අතර එහි දී    වාර්තාගත ප්‍රහාර 18කින් පලස්තීනුවන් 51 දෙනෙකු (බහුතරය සිවිල් වැසියන්) මිය ගොස් ඇත.
  • සැප්තැම්බර් 21 වන දින ගාසා නගරය සහ බුරේජ් සරණාගත කඳවුර ඉලක්ක කරගනිමින් ඊශ්‍රායල ප්‍රහාර මගින් 40කට අධික පිරිසක් මිය ගොස් ඇති අතර ඔවුන් අතර කාන්තාවන් සහ ළමුන් 19 දෙනෙකු ද වාර්තා විය.
  • සැප්තැම්බර් 25 වන දින ගාසා තීරයේ මධ්‍යම සහ දකුණු ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල ප්‍රහාර සිදු වූ අතර ඉන් 57 දෙනෙකු පමණ මිය ගොස් ඇත. 
  • සැප්තැම්බර් 26 එනම් ඊයේ දින ගාසා තීරයට සිදු වූ ප්‍රහාරවලින් 60කට වැඩි පලස්තීනුවන් පිරිසක් මිය ගොස් ඇති අතර ඉන් 30 දෙනෙකු ගාසා නගරයේ දී මිය ගොස් ඇති බව වාර්තා විය.
3dedc0bb809ee8159acaae3c07b9920e.jpg

එමෙන් ම මෙම මානුෂීය අර්බුදයේ තත්ත්වය ගාසාව පුරා තවදුරටත් උග්‍ර වෙමින් පවති. ගාසා නගරයේ සාගත තත්ත්වය තහවුරු වී ඇති අතර සැප්තැම්බර් 5 වන විට කුසගින්න හේතුවෙන් 361 දෙනෙකු (ළමුන් 130ක් ඇතුළුව) මිය ගොස් ඇත. ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් රෝහල් 4ක් පමණ වසා දැමීමට සිදුව ඇත. ඉතිරි රෝහල්වලට තුවාල ලැබූවන්ගේ ප්‍රමාණය දරා ගැනීමට නොහැකි වී ඇත. එමෙන් ම මැයි 27 සිට සැප්තැම්බර් 9 දක්වා කාලය තුළ ආධාර ලබා ගැනීමට උත්සාහ කළ 2,256 දෙනෙකුට වැඩි පිරිසක් ඊශ්‍රායල ප්‍රහාරවලින් මිය ගොස් ඇත. මෙම වාර්තා පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ (UN) කාර්යාල වාර්තා මත පදනම් කරගනිමින් සඳහන් කර ඇති අතර සත්‍ය සංඛ්‍යා ඊට වඩා වැඩි විය හැකි බව ද මෙහි දී සඳහන් කළ යුතුය.

උද්ගතව ඇති මෙම තත්ත්වය හමුවේ සිටින ගාසා වැසියන්ගේ ප්‍රධාන මතය වන්නේ ඔවුන් වර්තමානයේ විඳින අසීමිත දුක් වේදනා, විනාශය සහ මානුෂීය අර්බුදය සඳහා ප්‍රධාන වශයෙන් වගකිව යුත්තේ ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය බවයි. එමෙන් ම නොපැහැදිලි අනාගතයක් සහිත ඔවුන්ට යුද්ධයෙන් පසු ගාසාවේ පාලනය කාට හිමිවේද යන්න පිළිබඳව ඇත්තේ විශාල අවිනිශ්චිතතාවකි. ගාසා වැසියන්ගේ බහුතරය හමාස් සංවිධානය කෙරෙහි මෙන් ම පලස්තීන අධිකාරිය (Palestinian Authority - PA) කෙරෙහි ද දක්වන්නේ අවම විශ්වාසයකි. ජනතාව විශ්වාස කරන්නේ පවතින නායකත්වය ඔවුන්ගේ අවශ්‍යතා සහ අභිලාෂයන් නියෝජනය නොකරන බවයි. මේ වන විට ගාසා වැසියන්ගේ විශාල බහුතරයක් (70% කට වැඩි) පිරිස යුද්ධය හේතුවෙන් තම වාසස්ථානවලින් විස්ථාපනය වී ඇත. තවද, 80% ක් පමණ ප්‍රකාශ කරන්නේ තමන්ගේ පවුලේ එක් සාමාජිකයෙකුව හෝ මිය ගොස් හෝ තුවාල ලබා ඇති බවයි. එලෙස ම කුසගින්න සහ සාගත තත්ත්වය ඔවුන් මුහුණ දෙන ප්‍රධානතම ගැටලුව වන අතර ප්‍රමාණවත් මානුෂීය ආධාර නොලැබීම සහ ඊශ්‍රායලයේ දැඩි අවහිරතා පිළිබඳව ඔවුන් තදින් ම කලකිරී ඇත. ඔවුන්ගේ මතය වන්නේ ඔවුන්ගේ දුක් වේදනා සඳහා වගකිව යුත්තන්ට නිසි දඬුවම් ලැබිය යුතු බවත්, ඔවුන්ගේ අනාගතය තීරණය කිරීමේ දී තමන්ගේ හඬට අවස්ථාවක් හිමි විය යුතු බවත්ය.

d9b0ba8bff39f8422e215526ff85aeee.jpg

නමුත් ඊශ්‍රායලය දරන්නේ වෙනම ම මතයකි. ඔවුන් පවසන ආකාරයට ගාසා තීරයේ ඔවුන්ගේ හමුදා මෙහෙයුම්වල ප්‍රධාන අරමුණු දෙකක් ඇත. ඉන් එකක් වන්නේ හමාස් විනාශ කිරීමයි. ගාසා තීරය පාලනය කිරීමේ සහ ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමේ හමාස් සංවිධානයේ හමුදාමය සහ පාලන හැකියාවන් මුළුමනින් ම විනාශ කිරීම ඔවුන්ගේ අභිලාෂය වේ. හමාස් සංවිධානයේ අවසන් කොටස් තවමත් ගාසා නගරයේ සැඟවී සිටින බවත්, ඔවුන් ඔක්තෝබර් 7 වැනිදා කළ ආකාරයේ ම්ලේච්ඡ ක්‍රියා නැවත නැවතත් කිරීමට උත්සාහ කරන බවත් ඊශ්‍රායල අගමැතිවරයා ප්‍රකාශ කර ඇත. දෙවන අරමුණ වන්නේ 2023 ඔක්තෝබර් 7 වැනි දින ප්‍රහාරයෙන් පසු හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින ඉතිරි සියලු ම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමයි. ඊශ්‍රායල රජය පෙන්වා දෙන්නේ ප්‍රාණ ඇපකරුවන් ආපසු ලබා දීම, හමාස් සංවිධානය නිරායුධ කිරීම සහ ගාසා තීරය හමුදාකරණයෙන් තොර කිරීම මත වහාම යුද්ධය අවසන් කළ හැකි බවයි. එමෙන් ම අගමැති බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) ඇතුළු ඊශ්‍රායල නායකත්වය පලස්තීන රාජ්‍යයක් පිහිටුවීමේ අදහසට දැඩි ලෙස විරුද්ධ වන අතර එවැනි පියවරක් ගැනීම ත්‍රස්තවාදයට විපාක දීමක් බව තර්ක කරයි.

16e0f856d5387714ddcabde87c7ee536.jpg

ගාසා තීරයේ වත්මන් තත්ත්වය පිළිබඳව ලෝක ප්‍රජාව දක්වන අදහස එක් මතයකට සීමා වන්නේ නැතත්, පොදුවේ ගත් කළ ඊශ්‍රායලය ජාත්‍යන්තරව හුදකලා වීම සහ මානුෂීය අර්බුදය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ලවීම ප්‍රධාන වශයෙන් හඳුනා ගත හැක. මෙම ගෝලීය මතය එක්සත් ජාතීන්ගේ මහා සභාව (UNGA) සහ අනෙකුත් ජාත්‍යන්තර සංවිධානවල දී මෙන් ම බොහෝ රටවල මහජන මත විමසුම්වල දී ද වාර්තා විය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ කොමිසමක් ඇතුළු ජාත්‍යන්තර විශේෂඥයන් වැඩි වැඩියෙන් පෙන්වා දෙන්නේ ගාසා තීරයේ ඊශ්‍රායලයේ ක්‍රියා "ජන සංහාරයක්" විය හැකි බවයි. ජාත්‍යන්තර යුක්ති අධිකරණයේ (ICJ) දකුණු අප්‍රිකාව විසින් ගොනු කරන ලද ජන සංහාර චෝදනාවට අදාළ නඩු විභාගය තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී. එමෙන් ම ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) විසින් යුද අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කර තිබීමත්, එය ජාත්‍යන්තර ප්‍රජාව තුළ ඊශ්‍රායලයේ තත්ත්වය අඩපණ කිරීමට හේතු වී ඇත. දහස් ගණනක් සිවිල් වැසියන් මිය යාම, මිලියන ගණනක් පලස්තීනුවන් අවතැන් වීම සහ සාගත තත්ත්වයන් වැනි දරුණු මානුෂීය ව්‍යසනයක් ඇති කිරීමට ඊශ්‍රායලයේ ක්‍රියා හේතු වී ඇතැයි ලෝකය පුරා රටවල් සහ ආයතන දැඩි ලෙස විවේචනය කරයි. එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් තුනෙන් හතරකට වඩා දැනටමත් පලස්තීන රාජ්‍යය පිළිගෙන ඇත. මෑතක දී ප්‍රංශය, එක්සත් රාජධානිය, කැනඩාව සහ ඕස්ට්‍රේලියාව වැනි බටහිර රටවල් ගණනාවක් පලස්තීන රාජ්‍යය නිල වශයෙන් පිළිගෙන ඇත. ලෝක නායකයන්ගෙන් බහුතරයක් අවධාරණය කරන්නේ ඊශ්‍රායල-පලස්තීන ගැටුමට ඇති එක ම තිරසාර විසඳුම වන්නේ ද්වි-රාජ්‍ය විසඳුම බවයි.
එමෙන් ම මේ වන විට ලෝකයේ රටවල් ගණනාවක් (විශේෂයෙන් "හේග් සමූහය" ලෙස හඳුන්වන දකුණු අප්‍රිකාව සහ කොලොම්බියාව වැනි රටවල්) ඊශ්‍රායලය හුදකලා කිරීම සඳහා නීතිමය හා ආර්ථික ක්‍රියාමාර්ග ගැනීමට කැඳවුම් කර ඇත. කෙසේ නමුත් ඊශ්‍රායලයට දැඩි සහයෝගයක් ලබා දෙන එක ම බලවත් රට එක්සත් ජනපදය වන අතර ඔවුන්ගේ සදාකාලික නිශේධ බලය (Veto Power) භාවිතා කරමින් ඊශ්‍රායලයට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනා කිහිපයක් අවහිර කිරීමට සමත්ව ඇත.

සියල්ල එසේ සිදු වන විට ලෝකය ගාසාවේ තත්ත්වය දකින්නේ මානව ව්‍යසනයක් ලෙසය. එහෙත් එක්සත් ජනපදයේ දේශපාලන සහයෝගය නිසා ඊශ්‍රායලයට එරෙහිව එක්සත් ජාතීන්ගේ මට්ටමින් දැඩි ක්‍රියාමාර්ග ගැනීම වළක්වා ඇත. කෙසේ වෙතත්, සාම්ප්‍රදායික මිත්‍ර රටවල් පවා ඊශ්‍රායලයේ ක්‍රියාවන් විවේචනය කරමින් සහ පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගනිමින් සිටීම නිසා ඊශ්‍රායලයේ ගෝලීය හුදකලාව වර්ධනය වෙමින් පවතී. මීළඟ මොහොතේ සිදුවන්නේ කුමක්ද? GLOBAL EYE අප විමසිල්ලෙන්.

සැකසුම - ප්‍රසිලා සඳරුවනි

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required