
ඔක්තෝබර් මාසය කියන්නේ පියයුරු පිළිකා සඳහා වෙන් වූ මාසයයි. එම නිසාම අද "සන්නස" තුළින් පියයුරු පිළිකාව පිළිබඳව කාන්තා ඔබ දැනුවත් කිරීමට අප සිතුවා.

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට එල්ල වන ප්‍රමුඛතම සෞඛ්‍ය තර්ජනය ලෙස පියයුරු පිළිකාව මේ වන විටත් සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. ජාතික පිළිකා මර්දන වැඩසටහන මගින් නිකුත් කරන ලද දත්ත සහ රෝගය ප්‍රමාද වී හඳුනා ගැනීමේ අවදානම හේතුවෙන් මෙම රෝගය පරාජය කිරීම සඳහා නිවැරදි දැනුවත් භාවය සහ කඩිනම් පරීක්ෂණ අත්‍යවශ්‍ය සාධක බවට පත්ව ඇත.
ශ්‍රී ලංකාවේ පියයුරු පිළිකා තත්ත්වය
ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම මහත්මිය අනාවරණය කළේ පියයුරු පිළිකා තත්ත්වය අපේ රටේ කෙතරම් බරපතලද යන්නයි. ඒ අනුව දිනපතා නව රෝගීන් සහ මරණ පිළිබදව සදහන් කිරීමේදී ශ්‍රී ලංකාවෙන් දිනකට පියයුරු පිළිකා රෝගීන් 15 දෙනෙකු පමණ අලුතින් වාර්තා වන අතර දිනකට 3 දෙනෙකු පමණ මෙම රෝගය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වේ.
මෙම රෝගය කාන්තාවන් අතර ප්‍රමුඛත්වය ගන්නා අතර 2022 වසරේදී වාර්තා වූ දත්ත අනුව හඳුනාගත් මුළු කාන්තා පිළිකා රෝගීන් 19,457 අතුරින් 5,477ක්ම පියයුරු පිළිකා රෝගීන්ය. මෙම අගය සමස්ත කාන්තා පිළිකා රෝගීන්ගෙන් 28% ක් තරම් ඉහළ ප්‍රතිශතයක් නියෝජනය කරයි.
වාර්ෂිකව සිදුවන පිළිකා ආශ්‍රිත මරණ 15,245 අතුරින් 798ක් පමණ පියයුරු පිළිකා හේතුවෙන් සිදුවීම, මෙම රෝගය කෙරෙහි ක්ෂණික ජාතික අවධානය යොමු කළ යුතු බවට දෙන පැහැදිලි සංඥාවකි.
පියයුරු පිළිකාවක් ඇති බවට හඳුනාගත හැකි ලක්ෂණ
- පියයුරෙහි ගැටිත්තක් ඇතිවීම.
- පියයුරෙහි සමෙහි ඇතිවන වෙනස්කම්. (තුවාල, දොඩම් ලෙල්ලක ස්වභාවයෙන් ඇතිවන සමේ වෙනස්කම්, ශ්‍රාවයක් වැගිරීම, සම ඇතුලට නෙරා යෑම, සමේ පැහැය වෙනස් වී ඉදිමීමකට ලක්වීම)
- තන පුඩුවේ ඇතිවන වෙනස්කම්. (තුවාල, තනපුඩුවේ හැඩය වෙනස්වීම, ඇතුලට නෙරා තිබීම, දරුවකට කිරි නොදෙන කාන්තාවකගේ තනපුඩුවෙන් යම් පැහැයකින් යුතු හෝ අවර්ණ ශ්‍රාවයක් පිටවීම)
- කිහිල්ල ආශ්‍රිතව ගැටිත්තක් තිබීම. (පියයුරක ඇතිවන පිළිකා තත්ත්වයක් නිසා අදාළ ගිහිල්ල ආශ්‍රිතව ඇති වසා ගැටෙති ඉදිමීමක් සිදුවිය හැකියි)

මෙම රෝග ලක්ෂණ ඇති සෑම කාන්තාවකටම පියයුරු පිළිකාවක් ඇති බවට සිතිය නොහැකි අතර එය වෛද්‍යවරයකු හමුවී විනිශ්චය කර ගත යුතුය. නමුත් මෙවැනි ලක්ෂණ පවතී නම් අනිවාර්යෙන්ම හැකි ඉක්මනින් වෛද්‍යවරයෙක් මුණ ගැසී රෝග විනිශ්චයක් කර ගැනීම සුදුසුය.
පියයුරු පිළිකාවක් ඇතිවීමට හේතු
- කාන්තාවක් වී ඉපදීමම පියයුරු පිළිකාවක් ඇතිවීමේ අවධානමකට හේතුවක් ලෙස දැක්විය හැකිය.
- අවුරුදු 35 ට වැඩි කාන්තාවන්ට පියයුරු පිළිකා ඇතිවිය හැකි අවදානමක් පවතී.
- පවුලේ යම් කෙනෙකුට පියයුරු පිළිකාවක් හෝ වෙනත් පිළිකාවක් වැළඳී තිබේ නම් එනම් ජානමය වශයෙන් පියයුරු පිළිකා ඇතිවිය හැකි වැඩි අවදානමක් ඇත.
- යම් කාන්තාවකගේ ශරීරයේ BRCA 1 සහ BRCA 2 යන ජාන පවතී නම් අනිවාර්යයෙන්ම පියයුරු පිළිකාවකට ගොදුරු විය හැකියි. යම් කාන්තාවකගේ පවුලේ කෙනෙකුට මෙම ජාන ලක්ෂණ තිබෙනවා නම් අදාල කාන්තාවටද මෙම ජාන ලක්ෂණ පැවතීමේ වැඩි අවධානමක් පවතී.
- අවුරුදු 8 හෝ 9 වැනි අඩු වයස් සීමා වලදී වැඩිවියට පත්වන කාන්තාවන් සහ ප්‍රමාද වී ආර්ථවහරණය සිදුවන කාන්තාවන් අනෙක් කාන්තාවන්ට සාපේක්ෂව පියයුරු පිළිකාවකට ගොදුරු වීමේ අවධානමක් පවතී.
- දරුවන් නොමැති කාන්තාවන්ට සහ දරුවන් ලැබුණු පසු විවිධ හේතු නිසා දරුවන්ට කිරි දීම අතපසු වූ කාන්තාවන්ටද මෙම අවධානම පවතී.
- ශරීරයට පිටතින් හෝමෝන ගන්නා කාන්තාවන්ටද (මෙහිදී හෝමෝන යනුවෙන් දක්වන්නේ උපත් පාලන පෙති වර්ග නොවේ) එනම් ආර්ථවහරනයෙන් පසු ඇතිවන වෙනස්කම් වළක්වා ගැනීමට ගන්නා හෝමෝන සහ වෙනත් රෝගී තත්ත්වයන් යටතේ හෝමෝන ලබාගන්නා කාන්තාවන්ද පියයුරු පිළිකා අවදානමට ලක්විය හැකිය.
- එක් පියයුරකට පිළිකාවක් වැළඳී එය ශල්‍යකර්මයක් මගින් ඉවත් කර නිරෝගී වූ කාන්තාවකගේ අනෙක් පියයුරටද පිළිකාවක් වැළදීමේ අවදානම පවතී.
- ශරීරය අධික ස්තූලතාවයෙන් යුතු කාන්තාවන් සහ දුම්බීම සිදු කරන කාන්තාවන්ට ද මෙම අවදානම පවතී.
- මීට අමතරව කුමක් හෝ හේතුවක් නිසා මීට පෙර පපුව පෙදෙසට විකිරණ චිකිත්සාවක් ( Radiation therapy) සිදු කර ඇත්නම් එයත් පියයුරු පිළිකාවක් ඇතිවීමේ අවදානම් තත්ත්වයක් ලෙස හඳුනාගෙන තිබේ.
මෙවැනි අවදානම් තත්ත්වයන් සහිත කාන්තාවන් තමන්ගේ ශරීර සෞඛ්‍ය පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතු අතර අප ඉහත සඳහන් කළ රෝගී තත්ත්වයන් පවතිනවා නම් හැකි ඉක්මනින් වෛද්‍යවරයෙක් මුණ ගැසීම සිදු කල යුතුය.
එසේම වෛද්‍ය අලහප්පෙරුම මහත්මිය අවධාරණය කළ පරිදි පියයුරු පිළිකා මරණ ඉහළ යෑමට බලපාන ප්‍රධානතම හේතුව වන්නේ රෝගය ප්‍රමාද වී හඳුනා ගැනීමයි. ඒ අනුව පියයුරු පිළිකාව මුල් අවධියේ හඳුනා ගැනීමෙන් සාර්ථක ප්‍රතිකාර මගින් සම්පූර්ණයෙන්ම සුව කර ගැනීමේ ඉහළ අවස්ථාවක් පවතී. කෙසේ වෙතත් රෝගීන්ගෙන් 30% ක් පමණ රෝහල් වෙත පැමිණෙන්නේ රෝගය පාලනය කිරීම අතිශයින්ම අසීරුවන අවසන් තත්ත්වයේදීය. මෙම ප්‍රමාදය බොහෝවිට සිදුවන්නේ රෝග ලක්ෂණ නොසලකා හැරීම, පරීක්‍ෂණ පිළිබඳව ඇති බිය හෝ නොදැනුවත්කම නිසා වන අතර එය රෝගියාගේ ජීවිත කාලය කෙටි කිරීමට සහ සෞඛ්‍ය පද්ධතියට විශාල බරක් පැටවීමට හේතු වේ.

පියයුරු පිළිකා පරීක්ෂණ ක්‍රම
පියයුරු පිළිකා අවදානම අවම කිරීමේදී වඩාත් වැදගත්ම පියවර වන්නේ මුල් අවධියේදී හඳුනාගැනීම සඳහා වන නිසි පරීක්ෂණ සිදුකිරීමයි.
- ස්වයං පියයුරු පරීක්ෂාව (Breast Self- Examination - BSE)
පියයුරු පිළිකා සම්බන්ධයෙන් අවධානය යොමු කරන, ලෝකයේ පවතින විවිධ සෞඛ්‍ය සංවිධාන නිර්දේශ කරන පරිදි මූලික අවස්ථාවේදීම පියයුරු පිළිකා හඳුනා ගැනීමට යොමුවීම වඩා වැදගත් වේ. මන්ද එමගින් මරණ අවදානම වළක්වා ගැනීමට හැකියාව ලැබේ. මුල් අවස්ථාවේදීම මෙම රෝගී තත්ත්වය හඳුනාගෙන ප්‍රතිකාර කිරීම තුළ සාමාන්‍ය පරිදි ජීවිතය ගත කිරීමේ හැකියාව රෝගියාට ලැබෙනු ඇත. මේ සදහා අවුරුදු 25 සිට කාන්තාවක් තමන්ගේ පියයුරු පිළිබදව සැලකිලිමත් වීම කල යුතුය. මෙය ස්වයං පියයුරු පරීක්ෂාව ලෙස හැදින්වේ.
මෙය ඔසප් වීම ආරම්භ වී දින 7-10 අතර කාලය තුළ සිදු කළ යුතුය. ඔසප් වීම නතර වූ කාන්තාවන් සෑම මසකම එකම දිනයක පරීක්ෂාව සිදු කළ යුතුය.
පළමුව කැඩපතක් ඉදිරියට ගොස් තම පියයුරේ හැඩය සහ ස්වභාවය සහ පියයුරු සමෙහි ස්වභාවය, තනපුඩුවේ ස්වභාවය සහ කිහිල්ල ආශ්‍රිත පෙදෙසේ ස්වභාවය පරීක්ෂා කර ඉන්පසුව තම අත්ලෙන් පියයුර තද කරමින් ගැටිත්තක් තිබෙනවා දැයි පරීක්ෂා කිරීම කල යුතුය. මෙය ආකාර තුනකට සිදු කළ හැකිය. පළමුවැනි ක්‍රමයේදී තනපුඩුව මධ්‍ය ලක්ෂය යැයි සිතා තනපුඩුව කොටස් හතරකට බෙදාගෙන කොටසින් කොටස වෙන වෙනම ස්පර්ශ කළ බැලීම, දෙවැනි ක්‍රමයේදී පියයුරේ පිටත කවයේ සිට වක්‍රාකාරව තනපුඩුව දක්වා ස්පර්ශ කරමින් පරීක්ෂා කිරීම, තුන්වැනි ක්‍රමය තුලදී පපුව මැද සිට ආරම්භ කර පියයුරේ ඉහළ සිට පහළට පහළ සිට ඉහළට ක්‍රමානුකූලව අනෙක් කෙළවර දක්වා ස්පර්ශ කර බැලීම සිදුකළ යුතුය. අවසානයේ කිහිල්ල ප්‍රදේශයද ස්පර්ශ කර ගැටිති ස්වභාවයක් තිබේදැයි පරීක්ෂා කිරීම සිදුකල යුතුය. ඉන්පසුව තනපුඩුවෙන් යම් කිසි ශ්‍රාවයක් වහනය වෙනවාද යන්න පරීක්ෂා කර බලන්න. මෙම පරීක්ෂාව අවම වශයෙන් මාසයකට වරක්වත් සිදු කළ යුතුය. එමඟින් තමන්ගේ පියයුරුවල ස්වභාවය පිළිබඳව නිසි අවබෝධයක් තමන්ට ලැබෙන අතර යම්කිසි වෙනසක් සිදුවුවහොත් එය ඉක්මනින් ග්‍රහණය කර ගැනීමට ද හැකියාව ලැබේ. මීට අමතරව අප කලින් සඳහන් කළ පරිදි ජානමය අවදානමක් ඇති කාන්තාවන් සහ අවුරුදු 40ට වැඩි කාන්තාවන් හැකිනම් Screening Mammogram පරීක්ෂාවක් සිදුකර ගැනීම වැදගත් බව වෛද්‍යවරුන් විසින් පෙන්වා දෙයි.

- සායනික පියයුරු පරීක්ෂාව ( Clinical Breast Examination -CBE)
මෙය පුහුණු සෞඛ්‍ය නිලධාරියෙකු (වෛද්‍යවරයෙක් හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක්) විසින් සපයන ලද නිල පරීක්ෂණයයි.
ශ්‍රී ලංකාවේ ප්‍රජා මට්ටමේ පවත්වාගෙන යන සුවනාරි සායන හරහා මෙම සේවාව නොමිලේ ලබාගත හැකිය. වයස අවුරුදු 35 ඉක්මවූ සෑම කාන්තාවක්ම වසරකට වරක් හෝ වෛද්‍ය උපදෙස් පරිදි නීතිපතා මෙම සායනික පරීක්ෂණය සඳහා යොමු විය යුතුය. මෙමගින් ස්වයං පරීක්ෂාවේදී මඟ හැරිය හැකි සියුම් ගැටිති හෝ රෝග ලක්ෂණ හඳුනා ගැනීමට හැකිවන අතර ඉන් පසු අවශ්‍ය Mammography වැනි වැඩිදුර පරීක්ෂණ සඳහා නිසි පරිදි යොමු කිරීමට හැකි වේ.
- Mammography
මෙය පියයුරු පිළිකා මුල් අවධියේදී හඳුනා ගැනීම සඳහා ලොව පුරා පිළිගත් වඩාත් නිවැරදිම පරීක්ෂණයයි.
මෙය පියයුරු පටකවල ඉතා කුඩා හා මුල් අවධියේ වෙනස්කම් ( ක්ෂුද්‍ර කැල්සියම් තැන්පත්වීම වැනි) පවා හඳුනා ගැනීමට සමත් X කිරණ පරීක්ෂණයකි. වයස අවුරුදු 40 හෝ ඊට වැඩි කාන්තාවන් විශේෂයෙන්ම අවදානම් සාධක (පවුලේ අයෙකුට පිළිකා තිබීම, හෝමෝන ප්‍රතිකාර වැනි) ඇති අය වෛද්‍ය උපදෙස් අනුව නිතිපතා මෙම පරීක්ෂාව සිදු කළ යුතුය. මෙමගින් රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්වන අවස්ථාවල පවා රෝගය මුලින්ම හඳුනාගැනීමෙන් රෝගය සම්පූර්ණයෙන්ම සුවකිරීමේ අවස්ථාව 90%කට වඩා ඉහළ නංවා ගත හැකිය.
පියයුරු පිළිකාවක් හඳුනා ගැනීමෙන් පසුව
ඉහත ආකාරවලින් පියයුරු පිළිකාවක් පවතින බව හඳුනා ගැනීමෙන් පසුව රෝගියාගේ පිළිකාවේ කුමන අදියරක සිටිනවාද යන්න වෛද්‍යවරුන් විසින් තීරණය කරනු ලබයි. මෙලෙස වර්ග කළ හැකි පියවර පිළිකාවේ අදියර තුනක් හඳුනාගෙන ඇත.
- මූලික අවස්ථාවේ පවතින පියයුරු පිළිකා ( Early Breast Cancer)
- මූලික අවස්ථාවේ නොපවතින පියයුරු පිළිකා ( Locally advance breast cancer)
- අනෙක් අවයවලට පැතිරී ඇති පියයුරු පිළිකා ( Metastatic Breast Cancer)
මෙම එක් එක් අදියරයන්ට අනුව ප්‍රතිකාර කිරීමේ ක්‍රම වෙනස් වන අතර මූලික අවස්ථාවේ පවතින පියයුරු පිළිකා ශල්‍ය කර්මයක් මගින් ඉවත් කළ හැකි වේ. ඉන්පසුව සිදු කරනු ලබන කෙටි කාලීන හෝ දිගු කාලීන ප්‍රතිකාර තත්ත්වයන් තීරණය කළ හැකියි. මූලික අවස්ථාවේ නොපවතින පියයුරු පිළිකා සඳහා ශල්‍ය කර්මයක් සිදු කිරීමට පෙර ඖෂධ එන්නත් කිරීම සිදුකරනු ලබයි. එමගින් නැවත පියයුරු පිළිකාවක් ඇති වීමේ අවධානම වැළැක්වීම මෙන්ම වැඩි ආයු කාලයක් අපේක්ෂා කිරීමද සිදු කරනු ලැබේ. අනෙක් අවයව වලට පැතිරී ඇති පියයුරු පිළිකාවකදී ශල්‍යකර්මයක් සිදු කිරීමෙන් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැත. එම නිසා සෘජුවම කිමෝ තෙරපි සඳහා රෝගියාව යොමු කරනු ලබයි. මෙම අදියරේදී පියයුරේ විශාල තුවාල තත්ත්වයක් ඇති වී ඇත්නම් ඒ රෝගියාට විශාල වේදනාවක් ඇති කරයි නම් පමණක් පියයුර ශල්‍යකර්මයකට භාජනය කිරීම සිදුකරයි.

මේ ආකාරයට පියයුරු පිළිකා හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම සිදුකරන අතර වර්තමානය වන විට වෛද්‍යවරුන් උපරිම උත්සාහ දරනු ලබන්නේ රෝගියාගේ පියයුර සම්පූර්ණයෙන් ඉවත් නොකර සැත්කම සහ ප්‍රතිකාර සිදු කිරීමටයි. එමෙන්ම වර්තමානය වන විට විද්‍යාවේ දියුණුවත් සමඟ සම්පූර්ණයෙන්ම ඉවත් කළ පියයුරක් පවා ප්‍රොස්තෙටික් ආදී විවිධ ආකාරයන්ට සකස් කර ගැනීමට හැකියාව තිබෙන අතර එමඟින් රෝගියා අපහසුතාවයට මුහුණ පෑම වළකාලනු ලබයි.
එසේම පියයුරු පිළිකා අවදානම කළමනාකරණය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ ඔක්තෝබර් මාසය පියයුරු පිළිකා දැනුවත් කිරීමේ මාසය ලෙස නම් කර ඇති අතර දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් "පියයුරු පිළිකා කලින් හඳුනා ගැනීම සහ නිසි ප්‍රතිකාර ගැනීම සඳහා එකමුතු වෙමු" මැයින් මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ඔක්තෝබර් 11 වැනිදා එනම් සෙනසුරාදා පෙරවරු දහයේ සිට හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණ පරිශ්‍රයේ පැවැත්වෙන බව සඳහන් වේ.
කෙසේ වෙතත් දැනුවත් භාවය, කඩිනම් පරීක්ෂණ සහ ප්‍රමාද නොවන ප්‍රතිකාරය යනු ඔබේ ජීවිතය බේරා ගැනීමේ ප්‍රධානතම මාර්ගය බව මතක තබාගන්න. ඔබගේ සෞඛ්‍ය පිළිබඳ අවධානය යොමු කරමින් මෙම පරීක්ෂණ තුන නිතිපතා අනුගමනය කිරීම ඔබගේම වගකීමකි.
මදුමාලිකා වික්‍රමසිංහ