/
/
title icon
දරුවන්ගේ අනාගත සාර්ථකත්වයේ මූලික පදනම : කාලය නිවැරදිව කළමනාකරණය කරගමු.
දරුවන්ගේ අනාගත සාර්ථකත්වයේ මූලික පදනම : කාලය නිවැරදිව කළමනාකරණය කරගමු.
Madumalika Wickramasinghe
8 hours ago
Share:
දරුවන්ගේ අනාගත සාර්ථකත්වයේ මූලික පදනම : කාලය නිවැරදිව කළමනාකරණය කරගමු.

අපගේ ජීවිතයේ සාර්ථකත්වය, මානසික සෞඛ්‍ය සහ සමබරතාව තීරණය කරන අතිශය වටිනා සම්පතක් ලෙස කාලය හැදින්විය හැකිය. වැඩිහිටියෙකු ලෙස අප කාලය කළමනාකරණය කරනවා සේම, දරුවන්ටත් කාලය කළමනාකරණය කර ගැනීමේ කුසලතාව අත්‍යවශ්‍යයෙන්ම ලබා දිය යුතුය. එය ඔවුන්ගේ අධ්‍යාපන ජයග්‍රහණ, විෂය බාහිර කටයුතු, පෞද්ගලික විවේකය සහ යහපත් පුරුදු ගොඩනැගීමට සෘජුවම බලපායි. කාලය කළමනාකරණය යනු කටපාඩම් කළ යුතු විෂයක් නොව කුඩා කල සිටම පුරුදු කළ යුතු ජීවන කුසලතාවක් බව කිව යුතුම කාරණාවකි.

කාලය යනු කුමක්ද එය දරුවෙකුගේ දවසට බලපාන්නේ කෙසේද?

කාලය යනු අපට කිසි විටෙක නැවත ලබාගත නොහැකි නිරන්තරයෙන් ඉදිරියට ගලා යන ගංගාවක් වැනිය. සෑම දරුවෙකුටම දවසකට පැය 24ක් හිමිය. එහෙත් මෙම පැය 24 ඵලදායීව බෙදා වෙන් කරගන්නේ කෙසේද යන්න මත ඔවුන්ගේ සාර්ථකත්වය තීරණය වේ. කාලය කළමනාකරණය යනු පාසල් වේලාව, නින්ද, ආහාර ගැනීම වැනි ස්ථාවර කාලයන් හැර ඉතිරි වන නිදහස් කාලය බුද්ධිමත්ම භාවිත කිරීමේ කලාවයි. නිදසුනක් වශයෙන් නියමිත කාලය තුළ වැඩ නිම කරන විට විභාගයක් සඳහා සූදානම් වීමට, විද්‍යා ව්‍යාපෘතියක් අවසන් කිරීමට හෝ පාපන්දු පුහුණුවට යෑම වැනි සියලු අරමුණු සඳහා ප්‍රමාණවත් කාලයක් සොයා ගැනීමට දරුවාට හැකියාව ලැබෙනු ඇත. මෙම පුරුද්ද වැඩකටයුතු අවසන් මොහොතට කල් දැමීමෙන් ඇතිවන පීඩාකාරී හැඟීම සම්පූර්ණයෙන්ම වළක්වාලයි.

දරුවන්ට කාලය කළමනාකරණය පුහුණු කිරීමේ ප්‍රතිලාභ

කාලය නිවැරදිව කළමනාකරණය කිරීමට පුරුදු වූ දරුවෙක් සාමාන්‍ය  දරුවෙකුට වඩා විෂයන් කිහිපයකින් ඉදිරියට යයි. මෙමඟින් දරුවෙකු ලබන දීර්ඝ කාලීන ප්‍රතිලාභ මෙසේ පහතින් දැක්වේ.

  1. අධ්‍යාපනික විශිෂ්ටත්වය සහ අරමුණු ජය ගැනීම

කාලය කළමනාකරණය මගින් සෑම විෂයක් සඳහාම නිතිපතාම නිශ්චිත කෙටි කාල පරිච්ඡේද වෙන් කිරීමට දරුවාට හැකියාව ලැබේ. මෙයින් විෂය කරුණු ඉතා හොඳින් මනසට කාවදින අතර විභාග ආසන්න වෙන විට විශාල වැඩ කොටසක් එකවර නිම කිරීමේ අවශ්‍යතාවයක් ඇති වන්නේ නැත. මේ අනුව දරුවාට තම ඉලක්කම (උදා:ශිෂ්‍යත්වයක් ලැබීම, විශිෂ්ට ලෙස අපොස සාමාන්‍ය පෙළ සමත්වී) නිසැකවම ජය ගැනීමට අවශ්‍ය විනය සහ උපාය මාර්ගික චින්තනය ගොඩනැගේ.

     2. සමබර ජීවිතයක් සහ පෞද්ගලික වර්ධනය

කාලසටහනක් තිබීම නිසා අධ්‍යාපනයට හානියක් නොවන සේ ක්‍රීඩා, කලා, සංගීතය සහ මිතුරන් සමඟ විනෝද වීම සඳහා නිශ්චිත කාලයක් දරුවාට ඉතිරිවේ. අධ්‍යාපනයට පමණක් සීමා නොවී තම මානසික සහ ශාරීරික වර්ධනයට අත්‍යවශ්‍ය වන විෂය බාහිර කටයුතු සඳහාද දායක වීමට මෙය අවස්ථාවක් සලසා දේ. සමබර දවසක් ගත කරන දරුවෙක් සෑම අංශයකින් ඉදිරියට ගිය, සතුටින් පිරිපුන් පුද්ගලයෙකු බවට පත්වේ.

     3. ආත්ම විශ්වාසය සහ වගකීම වැඩිවීම

තමන්ගේ කාර්යයන් නියමිත වේලාවට දෙමව්පියන්ගේ හෝ ගුරුවරුන්ගේ බලපෑමකින් තොරව නිම කිරීමට දරුවාට හැකිවන විට ඔහුගේ ආත්ම විශ්වාසය ඉහළ යයි. මෙය තමන්ගේ ජීවිතයේ පාලනය තමන් සතු බව වටහා ගැනීමටත් කුඩා කල සිටම වගකීම් දැරීමට පුරුදුවීමටත් හේතුවේ. මෙම ස්වයං විනය ඔහුගේ අනාගත වෘත්තීය ජීවිතයේදී සහ පෞද්ගලික කටයුතුවලදී අතිශයින් වැදගත්ය.

    4. පීඩනය සහ ආතතිය කළමනාකරණය

සියලුම වැඩ නිසි පරිදි සැලසුම් කර ඇති නිසා අවසන් මොහොතේ හදිසි ආතතිය මුළුමනින්ම වැළකී යයි. නින්ද අඩුවීම, වැඩ නිම නොවීම, හෝ පවුල් ආරවුල් වැනි දේවලින් තොරව සන්සුන් මනසකින් සියලු කටයුතු කිරීමට දරුවාට හැකිවේ. මානසික සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීමට මෙය ප්‍රබල රුකුලකි.

 

දරුවන්ට කාලය කළමනාකරණයට පුරුදු කළ හැකි ප්‍රායෝගික උපාය මාර්ග

කාලය කළමනාකරණය යනු පුරුද්දකි. දෙමාපියන් සහ ගුරුවරුන් වශයෙන් ඔබ මෙම ක්‍රම දරුවාගේ දෛනික ජීවිතයට හඳුන්වා දිය යුතුය.

  • දෘශ්‍යමාන කාල සටහනක් සකස් කිරීම

පාඩම් කිරීමට, ගෙදර වැඩ කිරීමට, ක්‍රීඩා පුහුණුවට, ආහාර ගන්නා වේලාවන් සහ පවුලේ අය සමඟ ගත කරන වෙලාවන් නිශ්චිත ආරම්භක සහ අවසන් වේලාවන් සහිත කාල සටහනක් දරුවා සමග එක්ව නිර්මාණය කරන්න. මෙම කාලසටහන දරුවාට පැහැදිලිව පෙනෙන ස්ථානයක (ඔවුන්ගේ අධ්‍යයන මේසය අසල) ප්‍රදර්ශනය කරන්න. වර්ණ හෝ කුඩා පින්තූර භාවිතා කිරීමෙන් කුඩා දරුවන්ට එය තව දුරටත් ආකර්ෂණීය කල හැකිය.

  • ප්‍රමුඛතා තීරණය කිරීමේ කලාව

දරුවාට දවස ආරම්භයේදී කළ යුතු දේවල් ලැයිස්තුවක් සකස් කිරීමට උගන්වන්න. එම ලැයිස්තුව හදිසි සහ වැදගත් කාණ්ඩයෙන් ආරම්භ කර වැදගත්කම අනුව පහළට වර්ග කිරීමට පුරුදු කරන්න. නිදසුනක් වශයෙන් හෙටට බාර දිය යුතු ගණිත පැවරුම සෙල්ලම් කිරීමට වඩා ප්‍රමුඛතාවයක් ගන්නා බව වටහා දිය යුතුය.

  • 'කාලය නාස්ති කරන්නන් ' පාලනය කිරීම

ජංගම දුරකථන, පරිගණක ක්‍රීඩා, සමාජ මාධ්‍ය සහ රූපවාහිනිය වැනි දෑ භාවිතයට නිශ්චිත සීමාවන් පනවන්න. වැඩ කරන හෝ පාඩම් කරන වෙලාවට මෙම සියලු උපකරණ දරුවාගේ කාමරයෙන් ඉවත් කරන්න. 'පැය භාගයක් පාඩම් කර විනාඩි දහයක් විවේක ගන්න' වැනි කෙටි සහ අවධානය යොමු කළ හැකි කාල පරිච්ඡේද යටතේ වැඩ කිරීමට ඔවුන්ව දිරිමත් කරන්න.

  • නිසි නින්ද සහ විවේකය අත්‍යවශ්‍ය වේ

කාලය කළමනාකරණය යනු වැඩිපුර වැඩ කිරීම නොව වැඩ කාර්යක්ෂමවසිදු කිරීමයි. දරුවෙකුට තම වයසට සරිලන පරිදි ප්‍රමාණවත් නින්දක් අත්‍යාවශ්‍ය  වේ. ශරීරයට සහ මනසට නිසි විවේකයක් ලැබුණහොත් අවදිව සිටින කාලය තුළ ඔවුන්ගේ උනන්දුව සහ අවධානය ඉහළ මට්ටමක පවතින අතර එම කාලය වඩාත් ඵලදායී ලෙස භාවිතා කළ හැකිය.

  • විශාල වැඩ කොටස් වලට කඩා බෙදා ගැනීම

විශාල ව්‍යාපෘතියක් හෝ විභාගයකට සූදානම් වීම වැනි අභියෝගාත්මක කාර්යයක් දුටු විට දරුවාට එය බරපතළ කාර්යයක් සේ හැඟිය හැකිය. එවැනි විටෙක එම විශාල වැඩ කොටස කුඩා, පහසුවෙන් කළ හැකි කොටස් වලට කඩා එක් එක් කොටස සඳහා කුඩා කාලසීමාවක් නියම කිරීමට පුරුදු කරන්න. මෙය කාර්යය කළමනාකරණය කිරීම පහසුු කරයි.

එසේ නම් කාලය යනු අපට ලැබෙන කිසිදු මුදලකට මිල කළ නොහැකි වටිනාම ආයෝජනයයි. එම ආයෝජනය කුඩා වයසේදීම නිවැරදිව කළමනාකරණය කිරීමට ඉගෙන ගන්නා දරුවන්, අනාගතයේදී තම පෞද්ගලික සහ වෘත්තීය ජීවිතයේදී විශිෂ්ට සාර්ථකත්වයක් අත්කර ගනු ඇත.

කාලය නියමිතව යොදාගන්නා දරුවන්, තම ජීවිතය මෙහෙයවන සාර්ථක නායකයන්, සමාජයට ආදර්ශයක් වන විනයගරුක පුද්ගලයන් සහ සමබර සතුටින් ජීවත්වන වැඩිහිටියන් බවට පත්වේ. එබැවින් දරුවන්ට මෙම කාල කළමනාකරණ කුසලතාව ලබාදීම අප සියලු දෙනාගේම වගකීමයි.

මදුමාලිකා වික්‍රමසිංහ 

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required