/
/
title icon
GLOBAL EYE - ගාසා තීරයට ඇමරිකාවේ මැදිහත් වීමෙන් නව සාම සැලැස්මක්
GLOBAL EYE - ගාසා තීරයට ඇමරිකාවේ මැදිහත් වීමෙන් නව සාම සැලැස්මක්
Presila Sandaruwani
2 hours ago
Share:
GLOBAL EYE - ගාසා තීරයට ඇමරිකාවේ මැදිහත් වීමෙන් නව සාම සැලැස්මක්

ඇමරිකා එක්සත් ජනපදයේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගාසා තීරය සඳහා නව සාම සැලැස්මක් ඉදිරිපත් කර ඇත. ඒ ඇමරිකානු ජනාධිපති සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අතර සාකච්ඡාවලින් පසුවයි. විදෙස් මාධ්‍ය වාර්තා කර තිබූ ආකාරයට එයට කරුණු 20ක් පමණ ඇතුළත් වේ. මෙම සාම සැලස්මේ ප්‍රධාන අංග කිහිපයක් මෙසේ දැක්විය හැක.

  • වහාම සටන් විරාමයක් ඇති කිරීම.
  • පැය 72ක් වැනි කෙටි කාලයක් තුළ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම.
  • ඊට ප්‍රතිචාර වශයෙන් පලස්තීන සිරකරුවන් නිදහස් කිරීම.
  • ඊශ්‍රායල හමුදා ක්‍රමානුකූලව ගාසා තීරයෙන් ඉවත් කිරීම.
  • හමාස් සංවිධානය නිරායුධ කිරීම සහ ගාසාවේ පාලනයේ එහි කාර්යභාරයක් නොතිබීම.
  • ගාසා තීරයේ දෛනික සේවා සැපයීම සඳහා තාක්ෂණික දැනුමැති පලස්තීන කමිටුවක් මගින් තාවකාලික සංක්‍රාන්ති පාලනයක් ස්ථාපිත කිරීම.
  • ගාසාවේ පුනරුත්ථාපනය සහ සංවර්ධනය සඳහා අරමුදල් සම්පාදනය කිරීම සහ ජාත්‍යන්තර ආයතනයක අධීක්ෂණය යටතේ කටයුතු කිරීම.
  • ගාසා වැසියන් බලහත්කාරයෙන් පිටමන් නොකිරීමට සහතික වීම.
d9b0ba8bff39f8422e215526ff85aeee.jpg

මීට අමතරව තවත් කරුණු එම සාම ගිවිසුමට අන්තර්ගත වන නමුත් ඒවා මාධ්‍ය වෙත තවමත් ලබා දී නොමැත. ට්‍රම්ප් ජනාධිපතිවරයා මේ සඳහා හමාස් සංවිධානයට ප්‍රතිචාර දැක්වීමට කාල සීමාවක් ද ලබා දී ඇති අතර මෙම සැලැස්ම පිළි නොගන්නේ නම් ඊශ්‍රායලයට සිය මෙහෙයුම් ඉදිරියට ගෙන යාමට තම පූර්ණ සහයෝගය ලබා දෙන බව ද ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත් හමාස් සංවිධානය සැලැස්මේ ඇතැම් කොටස් කොන්දේසි සහිතව පිළිගන්නා බවත්, තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා අවශ්‍ය බවත් ප්‍රකාශ කර තිබුණි. හමාස් සංවිධානයේ ප්‍රතිචාරයේ ප්‍රධාන කරුණු මෙසේ දැක්විය හැක.

  • සියලු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට එකඟතාව:
    ජීවත්ව සිටින සහ මියගිය සියලු ම ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට ඔවුන් කොන්දේසි සහිතව එකඟ වී ඇත. මෙය සිදුවිය යුත්තේ ඇමරිකානු යෝජනාවේ අඩංගු "හුවමාරු සූත්‍රයට" අනුව සහ ප්‍රාණ ඇපකරුවන් හුවමාරුව සඳහා අවශ්‍ය ක්ෂේත්‍ර කොන්දේසි සපුරාලන්නේ නම් පමණි.
  • පාලනය පැවරීමට කැමැත්ත:
    ගාසා තීරයේ පරිපාලනය, පලස්තීන ජාතික එකඟතාවක් මත පදනම් වූ සහ අරාබි හා ඉස්ලාමීය රටවල සහය ඇති ස්වාධීන (තාක්ෂණික දැනුමැති) පලස්තීන ආයතනයකට භාර දීමට ඔවුන් කැමැත්ත පළ කර ඇත. මෙය සාම සැලැස්මේ තිබූ යෝජනාවකට සමානයි.
  • වැඩිදුර සාකච්ඡා අවශ්‍ය බව:
    සැලැස්මේ ඇති ගාසා තීරයේ අනාගතය සහ පලස්තීන ජනතාවගේ නීත්‍යානුකූල අයිතිවාසිකම් වැනි ඇතැම් කරුණු සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා අවශ්‍ය බව හමාස් සංවිධානය අවධාරණය කර ඇත.
  • නිරායුධකරණය පිළිබඳ ප්‍රශ්නය:
    සාම සැලැස්මේ තිබූ හමාස් සංවිධානය නිරායුධ කිරීම සහ එහි සියලු හමුදා යටිතල පහසුකම් විසුරුවා හැරීම යන ප්‍රධාන ඉල්ලීම පිළිබඳව හමාස් සංවිධානය ප්‍රතිචාර දක්වා නැත. ඊශ්‍රායල ආක්‍රමණය අවසන් වන තුරු තම ආයුධ රතු ඉරක් බව ඔවුන් මීට පෙර අවධාරණය කර ඇත.

මේ අනුව, හමාස් සංවිධානය සටන් විරාමය සහ ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීම වැනි හදිසි මානුෂීය අංග සම්බන්ධයෙන් ධනාත්මක බවක් පෙන්නුම් කළත්, ඔවුන්ගේ සංවිධානයේ අනාගතය සහ දේශපාලන බලය සම්බන්ධයෙන් සැලැස්මේ ඇති ඇතැම් දැඩි කොන්දේසි සම්බන්ධයෙන් ඔවුන් තවදුරටත් සාකච්ඡා අපේක්ෂා කරන බව පැහැදිලි වේ. ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් මෙම ප්‍රතිචාරයට ධනාත්මකව ප්‍රතිචාර දක්වමින් හමාස් සංවිධානය "ස්ථිර සාමයක්" සඳහා සූදානම් බව විශ්වාස කරන බව ප්‍රකාශ කර ඇත. ඒ අනුව ඊශ්‍රායලයට වහාම බෝම්බ හෙලීම නතර කරන ලෙස ඉල්ලා කර තිබුණි.

6fc456d0fbafbf18c6181e48156c5f2b.jpg

හමාස් සංවිධානයේ මතය එසේ වන විට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) විසින් ඇමරිකානු ජනාධිපති ඉදිරිපත් කරන ලද මෙම නව සාම සැලැස්මට තම සහයෝගය ප්‍රකාශ කර ඇත. ඔහු ධවල මන්දිරයේ සාකච්ඡාවේ දී පැහැදිලිව ම ප්‍රකාශ කරන ලද්දේ මෙම සැලැස්ම මගින් ඊශ්‍රායලයේ යුද අරමුණු සාක්ෂාත් කරගත හැකි බවයි. මෙම ගිවිසුම ඔස්සේ ඊශ්‍රායලයේ ප්‍රධාන අපේක්ෂාවන් මෙසේ දැක්විය හැක.

  • සියලු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම:
    සැලැස්ම මගින් ඉතිරිව සිටින සියලු ම ප්‍රාණ ඇපකරුවන් ඊශ්‍රායලයට ගෙන්වා ගැනීමට හැකි වනු ඇතැයි ඔහු විශ්වාස කරයි.
  • හමාස් සංවිධානය විසුරුවා හැරීම:
    සැලැස්මේ ප්‍රධානත ම කොන්දේසියක් වන හමාස් සංවිධානයේ මිලිටරි හැකියාවන් සම්පූර්ණයෙන් විසුරුවා හැරීම සහ එහි දේශපාලන පාලනය අවසන් කිරීම යන ඉලක්ක ඉටු වනු ඇතැයි නෙතන්යාහු ප්‍රකාශ කළේ ය.
  • ආරක්ෂක සහතිකය:
    ගාසා තීරයෙන් ඊශ්‍රායලයට කිසි විටෙකත් තර්ජනයක් එල්ල නොවන බව සහතික කිරීම සඳහා ඊශ්‍රායලය අනාගතයේ දී පවා ගාසා තීරය තුළ ආරක්ෂක වගකීම් දරනු ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.
  • සැලැස්ම අසාර්ථක වුවහොත් ඇති අනතුරු ඇඟවීම:
    නෙතන්යාහු තවදුරටත් අවධාරණය කළේ හමාස් සංවිධානය මෙම සැලැස්ම ප්‍රතික්ෂේප කළහොත් හෝ එය කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් ඊශ්‍රායලය තනිවම තම මෙහෙයුම අවසන් කරන බවයි.

කෙසේ වෙතත්, ඊශ්‍රායලයේ දේශපාලන ක්ෂේත්‍රය තුළ විශේෂයෙන් ම අන්ත දක්ෂිණාංශික සගයන් අතර මෙම සැලැස්ම සම්බන්ධයෙන් යම් මතභේද පවති. සැලැස්මේ යෝජනා අතර අවසානයේ දී පලස්තීන අධිකාරිය (Palestinian Authority - PA) වෙත ගාසා පාලනය පැවරීම සහ පලස්තීන රාජ්‍යයක් පිහිටුවීම සඳහා යම් හෝඩුවාවක් තිබීම යන කරුණු කාරණා නෙතන්යාහුගේ දැඩි මතධාරී සගයන්ගේ දැඩි විරෝධයට හේතු වී ඇත. එබැවින් නෙතන්යාහු ප්‍රසිද්ධියේ සැලැස්මට සහය දැක්වුව ද, ඔහුට තම අභ්‍යන්තර දේශපාලන සන්ධානය ආරක්ෂා කර ගැනීම සඳහා එම සැලැස්මේ ඇතැම් කරුණු මෘදු කිරීමට හෝ වෙනස් කිරීමට සිදුවනු ඇතැයි විශ්ලේෂකයෝ විශ්වාස කරති.

මින් පෙරත් ඇමරිකාව හා කටාර් (Qatar) සහ ඊජිප්තුව (Egypt) වැනි රටවල් මැදිහත්ව ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා සටන් විරාම සහ සාම ගිවිසුම් ඇති කළ බව අපට මතක ය. ඊශ්‍රායලය සහ පලස්තීන කණ්ඩායම් (විශේෂයෙන් හමාස්) අතර අතීතයේ ඇති වූ ප්‍රධාන සටන් විරාම සහ ගිවිසුම් ගණනාවකට ජාත්‍යන්තර මැදිහත්වීම හිමි විය. මෑත කාලීන ගැටුම්වල දී කටාර් සහ ඊජිප්තුව ප්‍රධානත ම මැදිහත්කරුවන් ලෙස කටයුතු කළහ. මොවුන් ඊශ්‍රායලය සහ හමාස් යන දෙපාර්ශ්වය සමඟ ම සම්බන්ධතා පවත්වන නිසා ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුම් සහ කෙටි කාලීන සටන් විරාම ඇති කිරීමට ඔවුන්ට හැකි විය. 2020 දී, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ම ඊශ්‍රායල-පලස්තීන ගැටුම සඳහා පුළුල් සාම සැලැස්මක් ('සියවසේ ගනුදෙනුව') ඉදිරිපත් කළේ ය. නමුත් එම සැලැස්ම පලස්තීන පාර්ශ්වය සහ බොහෝ ජාත්‍යන්තර ප්‍රජාව විසින් ඊශ්‍රායලයට අතිශයින් වාසිදායක යැයි පවසමින් ප්‍රතික්ෂේප කළ අතර එහි තිබූ යෝජනා ගාසා තීරයේ ගැටුම් සඳහා විසඳුමක් නොවූ බවට ද චෝදනා එල්ල විය. ඔස්ලෝ ගිවිසුම් (Oslo Accords) වඩාත් පුළුල් හා ඓතිහාසික සාම උත්සාහයක් විය. 1990 ගණන්වල දී නෝර්වේ රජයේ මැදිහත්වීමෙන් ඊශ්‍රායලය සහ පලස්තීන විමුක්ති සංවිධානය (PLO) අතර අත්සන් කරන ලද මෙම ගිවිසුම්වල ප්‍රධාන අරමුණ වූයේ ස්ථිර සාමයක් සඳහා මාර්ගය විවෘත කිරීමයි.

2517252e22802caeb47e2b1b3e888b61.jpg

කෙසේනමුත් මෙම නව සාම සැලැස්ම ඉදිරිපත් කිරීමට හේතු සහ අරමුණු කිහිපයක් පාඨක - ශ්‍රාවක අපට හදුනා ගත හැකි වේ.

  • යුද්ධය අවසන් කිරීමේ හදිසි අවශ්‍යතාව
  • ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම
  • දිගුකාලීන විසඳුමක් සඳහා ප්‍රවේශයක් ලබා ගැනීම

යන කරුණු ප්‍රධාන වශයෙන් පවතින බව සඳහන් කළ හැක. එසේ ම ඇයි ඇමරිකාව මේ සඳහා මැදිහත් වන්නේ? යන ගැටලුව පොදුවේ අප කාටත් පැන නගින ගැටලුවක් වේ. ඇමරිකා එක්සත් ජනපදය මෙම ක්‍රියාවලියට මැදිහත් වීම පිටුපස ඇති සාධක වශයෙන් පහත් කරුණු දැක් විය හැක.

  • ඊශ්‍රායලයේ ප්‍රධානත ම සගයා වීම:
    ඇමරිකාව ඊශ්‍රායලයේ ප්‍රධානත ම දේශපාලන, ආර්ථික සහ මිලිටරි සහකරු වන අතර ගැටුම් විසඳීම සඳහා ලෝක බලවතා ලෙස සෘජු වගකීමක් තමන් සතු බව ඇමරිකාවේ විශ්වාසය වේ.
  • කලාපීය ස්ථායිතාව:
    මැද පෙරදිග කලාපයේ ස්ථාවරත්වය ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තියට ඉතා වැදගත් වන අතර ගාසා ගැටුම කලාපය පුරා ව්‍යාප්ත වීමේ අවදානම අවම කිරීම ඇමරිකාවේ අරමුණයි.
  • මැදිහත්කරුවන්ගේ සාර්ථකත්වය සීමා වීම:
    ඊජිප්තුව සහ කටාර් වැනි සාම්ප්‍රදායික මැදිහත්කරුවන් විසින් මෙහෙයවනු ලබන සාකච්ඡාවල දී ප්‍රගතියක් නොලැබෙන විට ඉහළ ම දේශපාලන මට්ටමකින් මැදිහත් වීමෙන් දෙපාර්ශ්වයට ම පීඩනය යෙදීමට ඇමරිකාවට හැකි වනු ඇත.

කෙසේ හෝ ගාසා තීරයේ සාමාන්‍ය වැසියන්ට සාමය උදාවනවානම් එය ලෝකවාසි සියලු ජනතාවගේ පැතුම වන අතර එහි නවත ම තත්ත්වය පිළිබඳව සවිස්තරාත්මකව තොරතුරු ඔබට ගෙනෙන්නට GLOBAL EYE අපි සූදානමින්.

සැකසුම - ප්‍රසිලා සඳරුවනි

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required