/
/
title icon
රාජ්‍ය ආයතන වල මහජන සම්බන්ධතාවය පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලාංකේය සංස්කෘතික අංග යොදා ගැනීම : විශ්වාසය ගොඩනැගීමේ උපාය මාර්ග සහ ප්‍රතිසංස්කරණීය මාවත
රාජ්‍ය ආයතන වල මහජන සම්බන්ධතාවය පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලාංකේය සංස්කෘතික අංග යොදා ගැනීම : විශ්වාසය ගොඩනැගීමේ උපාය මාර්ග සහ ප්‍රතිසංස්කරණීය මාවත
Madumalika Wickramasinghe
1 day ago
Share:
රාජ්‍ය ආයතන වල මහජන සම්බන්ධතාවය පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලාංකේය සංස්කෘතික අංග යොදා ගැනීම : විශ්වාසය ගොඩනැගීමේ උපාය මාර්ග සහ ප්‍රතිසංස්කරණීය මාවත

සංස්කෘතිය විශ්වාසය සහ රාජ්‍ය මහජන සම්බන්ධතා හැදින්වීම

රාජ්‍ය මහජන සම්බන්ධතාවය යනු හුදෙක් ප්‍රචාරණයට වඩා, රජය සහ ජනතාව අතර විනිවිදභාවය හා විශ්වාසය ඇති කරන උපායමාර්ගික සන්නිවේදනයකි. මෙහිදී සංස්කෘතික වටිනාකම් (ආචාරශීලීත්වය, ගෞරවය, සාධාරණත්වය) මූලික පදනම සපයයි. මහජන විශ්වාසය රඳා පවතින්නේ රාජ්‍ය සේවාවන්හි කාර්යක්ෂමතාවය සහ අවංකභාවය පිළිබඳ ජනතා අපේක්ෂාවන් සහ ඔවුන්ගේ සැබෑ අත්දැකීම් අතර සමබරතාවය මතය. නිලධාරීන් විසින් භාෂාමය සංවේදීතාව (ත්‍රිභාෂා සන්නිවේදනය) වැනි සංස්කෘතික අංග යෙදවීම වැදගත් කාර්‍යයක් වුවත් ආයතනික කාර්යක්ෂමතාවයක් සහ සාධාරණත්වයක් නැති නම් එම යෙදවීම් වලින් ප්‍රතිඵලයක් සිදුවන්නේ නැත. සංස්කෘතියට ගැලපෙන මහජන සම්බන්ධතා යනු හුදෙක් ආචාරවිධි පෙන්වීමක් නොව, පාලනය පිළිබඳ සංකීර්ණ සංකල්ප නිවැරැදිව සිංහල, දෙමළ, ඉංග්‍රීසි  භාෂාවලින් සන්නිවේදනය කිරීමේ වගකීමකි.

අපේක්ෂාව සහ යථාර්ථය අතර ගැටුම

රාජ්‍ය සේවයේ ප්‍රතිචාර දැක්වීම සහ සේවා ගුණාත්මකභාවය සහතික කිරීම සඳහා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ මගින් පැහැදිලි උපදෙස් දී ලබා දී ඇත. එසේම රාජ්‍ය නිලධාරීන් පැමිණිලිවලට ක්‍රියාමාර්ග ගැනීම, ලිපිවලට හා දුරකථන ඇමතුම් වලට පිළිතුරු දීම වැනි මහජන සම්බන්ධතා කටයුතු පවත්වාගෙන යාමට බැඳී සිටී. කෙසේ වෙතත්, මහජනතාවගේ සැබෑ අත්දැකීම් නම් ඊට හාත්පසින්ම වෙනස්‍වේ.  කෙසෙ නමුත් දරිද්‍රතා විශ්ලේෂණ මධ්‍යස්ථානය ( CEPA) වාර්තා කරන්නේ, ශ්‍රී ලාංකේය මහජන රාජ්‍ය සේවය අකාර්යක්ෂම බවත්, විවිධ සමාජ කණ්ඩායම් වලට අසමාන ලෙස සලකන බවත්, නීත්‍යානුකූල දුක් ගැනවිලි ප්‍රමාණවත් ලෙස විසඳෙන්නේ නැති බවත්ය.

රාජ්‍ය මහජන සම්බන්ධතා වල  සංස්කෘතික අසාර්ථකත්වය පවතින්නේ, නිලධාරීන් චක්‍රලේඛ මගින් නියම කරන ලද ප්‍රතිචාර දැක්වීම,  ජනතාව විසින්  අපේක්ෂා කිරීම සහ ජනතාව අත්විඳින අසමාන හා උදාසීන සැලකීම අතර පවතින ගැඹුරු වෙනස තුළය. මෙම අකාර්යක්ෂමතාවය දේශපාලන විශ්වාසයේ අර්බුදයක් බවට පත්වීම, 2022 පැවති 'අරගලය'  තුළින් පැහැදිලි විය. මෙම විරෝධය ප්‍රජාතන්ත්‍රවාදයේ ගැඹුරු  අර්ථය පිළිබඳ මූලික ප්‍රශ්න මතු කළ අතර එය ජනතා ක්‍රියාකාරිත්වයක් ලෙස හෝ ඇතැම් කතිකාවන් තුළ 'අරාජිකත්වයක්'හෙවත් රාජ්‍ය පාලනයක් නොමැතිවීමක් ලෙස දැකීමෙන් රාජ්‍ය මහජන සම්බන්ධතා වලට විශාල අභියෝගයක් එල්ල විය.

සංස්කෘතික මෙවලම් භාවිතය සහ ව්‍යුහාත්මක සීමාවන්

රාජ්‍ය ආයතන සංස්කෘතික අපේක්ෂාවන් ඉටු කිරීමට දරන උත්සාහයන් බොහෝ විට සංකේතාත්මක මට්ටමක පවතී. උදාහරණයක් ලෙස පිරිසිදුකම පිළිබඳ සංස්කෘතික අපේක්ෂාවන් පිළිබිඹු කරමින් පරිපාලනමය විනය පෙන්වීම සඳහා "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහනට සමගාමීව "සෙයිරි සතිය" ක්‍රියාත්මක කිරීම දැක්විය හැකියි. කෙසේ වෙතත් සැබෑ සාර්ථකත්වය රඳා පවතින්නේ මෙම සංකේත මගින් කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට හෝ අසමානතාව අඩු කිරීමට දායක වන්නේ කෙසේද යන්න මතය.

සංස්කෘතිය ඵලදායිව යොදාගත හැකි තැනක් නම් භාෂාමය සංවේදීතාවයි.  සංක්‍රාන්ති යුක්තිය හෙවත් සංකීර්ණ පාලන කරුණු පිළිබඳ මහජනතාවට නිවැරදි අවබෝධයක් ලබා දීමට නම් දේශීය භාෂාවෙන්  සුදුසුම වචන යොදා ගෙන භාවිතා කිරීම අත්‍යවශ්‍ය වේ. එසේම දැවැන්ත ආර්ථික ප්‍රතිසංස්කරණ නිසා ජනතාවට ඇති වූ පීඩනය සන්නිවේදනය කිරීම අද රාජ්‍ය මහජන සම්බන්ධතා හට ඇති ප්‍රධාන අභියෝගයයි. බදු වැඩි කිරීම සහ වැටුප් අඩු කිරීම වැනි ක්‍රියාමාර්ග නිසා ඇතිවූ පීඩනය ශ්‍රී ලාංකේය සංස්කෘතියේ 'සාධාරණත්වය'  පිළිබඳ අපේක්ෂාවන් සමඟ සමබරව සන්නිවේදනය කිරීම අනිවාර්ය වේ.

මීට අමතරව රාජ්‍ය මහජන සම්බන්ධතා කාර්‍යය  සාධනයට බලපාන ව්‍යුහාත්මක අභියෝග රැසක් පවතී. එනම් මහජන සම්බන්ධතා කටයුතු සඳහා වෙන් කරන අයවැය අඩුවීම , ගෙවීම් ප්‍රමාදයන් සහ වෘත්තීය නිපුණතා පරතරය ඒ අතර ප්‍රධාන ගැටලුවේ. ආර්ථික හා බාහිර පීඩනයන් සහ නායකත්වයට කාර්ය සාදන ප්‍රතිලාභ ඔප්පු කිරීමේ දුෂ්කරතාවය නිසා රාජ්‍ය සන්නිවේදනය දුර්වල වේ. මෙම තත්ත්වය යටතේ මහජන සම්බන්ධතා යනු උපායමාර්ගික කාර්යයක් නොව හුදෙක් පරිපාලනමය කටයුත්තක් ලෙස සලකනු ලබයි.

නිගමනය සහ විශ්වාසය ගොඩනැගීම

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන මගින් සංස්කෘතික අංග මහජන සම්බන්තා සඳහා යොදා ගත්තද, ආයතනික අකාර්‍යක්ෂමතාවය සහ අසමාන සැලකීම නිසා මෙම උත්සාහයන් මගින් විශ්වාසය ගොඩනැගීමට අසමත් වී ඇත.  රාජ්‍ය ආයතනවලට අවශ්‍ය වන්නේ පිටතින් පමණක් හොදින් පෙනෙන මහජන සම්බන්ධතාවයක් නොව සංස්කෘතික වටිනාකම් මත පදනම් වූ යහපත් ලෙස ක්‍රියා කරන මහජන සම්බන්ධතාවයකි.

සේවාවන්හි සාධාරණත්වය මත පදනම් වූ ආයතනික සංස්කෘතියක් ඇති කිරීම, රාජ්‍ය සේවය සියලු සමාජ කණ්ඩායම්වලට සමානව සලකන බව තහවුරු කිරීම, මහජනතාවගේ පැමිණිලිවලට, ලිපිවලට සහ ඇමතුම්වලට ක්‍රියාකාරී ප්‍රතිචාර දැක්වීමේ චක්‍රලේඛ  නියෝග දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම, මහජන සම්බන්ධතා කටයුතු සඳහා ප්‍රමාණවත් සම්පත් (අයවැය නවීන පුහුණුව) යෙදවීම, ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳව විවෘතව සන්නිවේදනය කිරීම සහ රජයේ වියදම් වල ගුණාත්මකභාවය ජනතාවට ළඟා වන ආකාරය පැහැදිලි කිරීම තුළින් මහජන පිළිගැනීම වැඩි කිරීම වැනි කරුණු මත විශ්වාසය යළි ගොඩනැගීම සිදු කළ හැකිය.

රාජ්‍ය ආයතනවල මහජන සම්බන්ධතා ප්‍රතිසංස්කරණ සඳහා පදනම විය යුත්තේ චක්‍රලේඛවල  කිරීමට උපදෙස් දී ඇති දේ සහ මහජන අත්දැකීම් අතර පවතින විෂමතාවය නැති කිරීමයි. සේවාවේ සාධාරණත්වය සහ විනිවිදභාවය තුළින් පමණක් දිගු කාලීන විශ්වාසයක් ඇති කළ හැකියි.

මූලාශ්‍ය -  https://www.cepa.lk/blog/a-governance-diagnostic-by-the-sri-lankan-public/

මදුමාලිකා වික්‍රමසිංහ 

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required