2026 වසර සඳහා රජයේ අයවැය යෝජනාවලිය මුදල් අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
ජාතික ජනබලවේග ආණ්ඩුවේ දෙවැනි අයවැය මෙලෙස ඉදිරිපත් කෙරුණු අතර, 2026 වසරේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 4,434ක්.
එළැඹෙන වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතෙන් වැඩිම මුදල් ප්‍රමාණයක් වෙන්කර ඇත්තේ ජනපතිවරයා යටතේ පවතින මුදල් අමාත්‍යාංශයට වන අතර එය රුපියල් බිලියන 634ක් වනවා.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 554ක් ද , ආරක්ෂක අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 455 ක්ද , අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 301ක් වෙන්කර තිබෙනවා.
මේ අතර, 2025 වසරේ සිට සිසුන් වෙනුවෙන් ලබාදුන් රු 6,000ක ලිපිද්‍රව්‍ය දීමනාව 2026 වසර තෙක් අඛණ්ඩව පවත්වාගෙන යෑමට රජය මෙවර අයවැයෙන් යෝජනා කළා.
මේ අතර අඩු ආදායම්ලාභී පවුල්වල ආබාධිත දරුවන් සඳහා වෛද්‍ය නිර්දේශ මත එක් දරුවෙකුට රු 5,000ක දීමනාවක් මාසිකව ලබාදීම සඳහා රු මිලියන 50ක් අයවැයෙන් යෝජනා කෙරුණා.
මේ අතර, විශ්වවිද්‍යාල සඳහා බඳවා ගනු ලබන ශිෂ්‍ය සංඛ්‍යාව 43,000ක් දක්වා ඉහළ නංවුවත් පහසුකම් ප්‍රමාණවත් නොවීම බරපතළ ගැටලුවක් වන බැවින් ශිෂ්‍යයන්ගේ නේවාසිකාගාර, ආපනශාලා සහ පොදු ඉගෙනුම් ප්‍රදේශ ආදිය දියුණු කිරීමට රු මිලියන 2,5000ක ප්‍රතිපාදන වෙන්කළා.
මේ අතර, වෛද්‍ය පීඨයන් ඇති කළ ද ගුණාත්මක වෛද්‍ය අධ්‍යාපනයන් සඳහා අවශ්‍ය මහාචාර්ය ඒකක, විද්‍යාගාර පහසුකම් නොමැති වීම නිසා ගැටලු රැසක් පැනනැගී තිබෙනවා.
මේ නිසාවෙන් සබරගමුව, මොරටුව, රුහුණ, ඌව වෙල්ලස්ස සහ නැගෙනහිර විශ්වවිද්‍යාල ඇතුළු වෛද්‍ය පීඨ සංවර්ධනයට රු මිලියන 11,000ක ප්‍රතිපාදන යෝජනා කළා.
මීට අමතරව විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවල පහසුකම් වැඩිදියුණු කිරීමට හා පර්යේෂණ කටයුතු සඳහා රු මිලියන 11,500ක ප්‍රතිපාදන වෙන්කෙරුණා.
මේ අතර විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබාදෙන මහපොළ හා ශිෂ්‍යාධාර දීමනාව 2026 වසරේ දී ජීවන වියදමට සරිලන ලෙස රු 2,500කින් ඉහළ දැමීමට යෝජනා කර තිබෙනවා.
ඒ අනුව මාසික දීමනාව රු.10,000ක් වනු ඇති.
එසේම, ශිෂ්‍යාධාර දීමනාව රුපියල් 9,000ක් දක්වා ඉහළ නැංවෙනවා.
මෙයට සමගාමීව නිපුණතා සිසු දිරිය දීමනාව රු 2,500කින් වැඩි කළා.
============
මේ අතර, රාජ්‍ය සේවකයින්ගේ සහ විශ්‍රාමිකයින්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් පිළිබඳව ඇති ගැටලුවලට විසඳුම් ලබාදීමට වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපනය කරන බව ජනාධිපතිවරයා පැවසුවා.
2016.01.01 දිනට හෝ ඉන් පසු රාජ්‍ය සේවයට බඳවා ගන්නා ලද සියලුම රාජ්‍ය නිලධාරීන් සඳහා නිකුත් කරනු ලබන පත්වීම් ලිපිවල, දායක විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ හිමිකම් පිළිබඳව සඳහන් කර ඇති නමුත් එවැනි සේවකයෙකු විශ්‍රාම ගතහොත් දැනට පවතින විශ්‍රාම ක්‍රමයෙන් බැහැරව සැලකීම ප්‍රායෝගික නොවන බව ද ජනාධිපතිවරයා අයවැය යෝජනා ඉදිරිපත් කරමින් කියා සිටියා.
විශ්‍රාම වැටුප් හිමිකම් පිළිබඳ වගන්තිය පත්වීම් ලිපිවලින් ඉවත් කරනු ලබමින් පවතින විශ්‍රාම වැටුප් ක්‍රමයට ඔවුන්ගේ හිමිකම තහවුරු කරනු ලබන බව ද ජනාධිපතිවරයා පැවසුවා.
මේ අතර, 2025 සිදුකරන ලද වැටුප් සංශෝධනවලට අනුව එහි දෙවන අදියර ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන 110ක ප්‍රතිපාදනයක් වෙන් කර තිබෙන අතර, 2026 වසරේ ජනවාරි මාසයේ වැටුප සිට සියලුම රාජ්‍ය අංශයේ සේවකයන්ට මෙම වැටුප් ගෙවීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.
විශ්‍රාම වැටුප් සංශෝධන දෙවන අදියරේ දී 2020ට පෙර විශ්‍රාම ලැබූවන්ගේ විශ්‍රාම වැටුප් 2019 වසරේ වැටුප් ව්‍යුහය මත පදනම්ව සංශෝධනය කරනු ලබන අතර, මෙම සංශෝධිත වැටුප 2026 ජූලි මස සිට ගෙවීම සඳහා රුපියල් මිලියන 20,000ක් මුදලක් වෙන් කර තිබෙනවා.
රජයේ සේවකයින්ට ලබා දුන් දේපල ණය යෝජනා ක්‍රමය, නව ව්‍යුහයක් යටතේ රුපියල් ලක්ෂ 50 දක්වා ණය ලබා ගැනීමට හැකිවන පරිදි සක්‍රීය කිරීමට බලාපොරොත්තු වෙන අතර, එහිදී මුල් රුපියල් ලක්ෂ 30 දක්වා සියයට 4 ක පොලී සහනයක් ද, රුපියල් ලක්ෂ 30 සිට 50 දක්වා සියයට 2 පොලී සහනයක් ද ලබා දීම සඳහා රුපියල් මිලියන 500 ක් ලබාදීමට ජනාධිපතිවරයා යෝජනා කළා.
දැනට රජයේ සේවකයන් සඳහා ක්‍රියාත්මක අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය තුළ රාජ්‍ය සේවකයන් හට යම් යම් සහන ලැබුණ ද, සේවක දායකත්වයේ අවමය රුපියල් 125 ක පැවතීම හේතුවෙන් සේවකයින් වෙත ලබා දෙන ප්‍රතිලාභ, ස්ථාවරව පවත්වා ගැනීම තහවුරු කිරීම සඳහා රුපියල් 125ක දායක මුදල තවත් රුපියල් 75 කින් ද, රුපියල් 300 සහ රුපියල් 600ක් වන මාසික දායකත්ව මුදල් තවත් රුපියල් 150 කින් ද වැඩි කිරීමටත් ජනාධිපතිවරයා යෝජනා කළා.
රජයේ සේවකයින්ට ලබා දෙන පොලී රහිත රුපියල් 10,000ක උත්සව අත්තිකාරම් මුදල රුපියල් 15,000දක්වා වැඩිකිරීමට යෝජනා කරන බව ද ජනාධිපතිවරයා පැවසුවා.
රජයේ සේවකයින්ගේ වැටුප් වැඩිවීමට සමගාමීව ඔවුන්ට සියයට 4.2ක පොලී පදනමින් ලබාගත හැකි ආපදා ණය අත්තිකාරම් මුදල රුපියල් 250,000 සිට රුපියල් ලක්ෂ 400,000 දක්වා ඉහළ නැංවීමට රජය කටයුතු කළ බවත් එම අත්තිකාරම් මුදල් කෙටි කාලයකින් බාධාවකින් තොරව ලබා ගැනීමට හැකිවන පරිදි රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් ගිණුම් සීමාව වෙනුවෙන් රුපියල් මිලියන 10,000ක් වෙන් කර ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.