2025 උසස් පෙළ විභාගය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
හෙටින් ආරම්භ වන විභාගය දෙසැම්බර් මස 05 වැනිදා සිකුරාදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2362කදී පැවැත්විමට නියමිතයි.
මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් තුන්ලක්ෂ 40,525 දෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර ඒ අතරට පාසල් අයදුම්කරුවන් 246,521 දෙනෙකු සහ පෞද්ගලික අයදුම්කරුවන් 94,004 දෙනෙකු සුදුසුකම් ලබා තිබෙනවා.
විභාගය සඳහා දිවයින පුරා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 325ක් පිහිටුවා ඇති අතර ප්‍රාදේශීය එකතුකිරීමේ මධ්‍යස්ථාන 32 පිහිටුවා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අතර, උසස් පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇති විය හැකි බාධා වළක්වා ගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව විශේෂ ඒකාබද්ධ වැඩපිළිවළක් ක්‍රියාත්මක කර තිබෙනවා.
අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි ආපදාවලින් මෙවර උසස්පෙළ විභාගයට පෙනී සිටින සිසු දරුවන් හට මුහුණුදීමට සිදු විය හැකි බාධා වළක්වා ගැනීම මෙම වැඩපිළිවෙලෙහි අරමුණ බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
ඒ අනුව, විභාග කාල සීමාව තුළ ආපදාවලින් අවදානමින් තොර පරිසරයක් නිර්මාණය කර දීම සඳහා ඒ ඒ පාර්ශවකාර ආයතන කටයුතු කළ යුතු ආකාරය ඇතුළත් මාර්ගෝපදේශයක් නිකුත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කර තිබෙනවා.
යම් ආපදා තත්ත්වයක් හේතුවෙන් විභාගයට පෙනීසිටීමට යම් බලපෑමක් එල්ල විය හැකි සිසු දරුවන් හට 117 දුරකතන අංකයට හෝ විභාග දෙපාර්තමේන්තුව විසින් හඳුන්වාදී ඇති 1911 දුරකථන අංකයට දැනුම් දිය හැකියි.