/
/
title icon
තායිලන්තයේ සියම් බොදු උරුමය : ලංකාව හා බැඳුණු තායිලන්තයේ අපූරු කතාව
තායිලන්තයේ සියම් බොදු උරුමය : ලංකාව හා බැඳුණු තායිලන්තයේ අපූරු කතාව
Madumalika Wickramasinghe
4 months ago
Share:
තායිලන්තයේ සියම් බොදු උරුමය : ලංකාව හා බැඳුණු තායිලන්තයේ අපූරු කතාව

තායිලන්තය, එහි අතීත නාමය වූ සියම යටතේ ශත වර්ෂ ගණනාවක් පුරා ථේරවාද බුදු දහමේ ප්‍රධානතම බලකොටුවක් ලෙස පවතී.තායි ඉතිහාසඥයන්ගේ විශ්වාසය අනුව බුදු දහම සියම් දේශයට ලැබෙන්නේ ක්‍රි.පූර්ව තුන් වැනි සියවසේ ඉන්දියාවේ අශෝක අධිරාජයාගේ අනුග්‍රහය යටතේ පැවැත්වුණු තුන්වන ධර්ම සංගායනාවෙන් පසුවය. එම දූත මෙහෙවර යටතේ සෝරත සහ උත්තර තෙරුන් වහන්සේලා ප්‍රමුඛ පිරිසක් පැමිණි ස්වර්ණ භූමිය ලෙස හඳුන්වන භූමි ප්‍රදේශය හරහා මෙම ධර්මය ව්‍යාප්ත වූ බව විශ්වාස කෙරේ. සියම්, ශ්‍රී ලංකාව, මියන්මාරය සහ ලාඕසය යන රටවල් සතර දිගින් දිගටම බුදුන් වහන්සේගේ පැරණිතම නොවෙනස් වූ දහම් කොටස් ලෙස සැලකෙන ථේරවාද සම්ප්‍රදාය ආරක්ෂා කරගෙන ඇත.


ශ්‍රී ලංකාව සහ සියම් දේශය අතර පවතින සබඳතා හුදු සංස්කෘතික බැඳීමකට එහා ගිය ගැඹුරු ශාසනික සබඳතාවක් දක්වා දිව යයි. ක්‍රිස්තු වර්ෂ දහතුන් වන සියවසේ දී එනම් දෙවන පරාක්‍රමබාහු රජු සමයේදී සියම් භික්‍ෂූන් වහන්සේලා ලංකාවට පැමිණ ධර්මය ඉගෙන ගත් බව සියම් ඉතිහාසයේම සඳහන් වීමෙන් ලංකාව එකල පැවති ධර්ම ඥානය පිළිබඳව තායිලන්තය දැක්වූ ගෞරවය පැහැදිලි වේ. කෙසේ වෙතත් මෙම සබඳතාවේ වඩාත් ප්‍රබලතම සහ තීරණාත්මකම සන්ධිස්ථානය සනිටුහන් වන්නේ ක්‍රිස්තු වර්ෂ 1753 වාර්ෂයේදීය. එකල ශ්‍රී ලංකාවේ බුද්ධ ශාසනය අතිශයින්ම පරිහානියට පත්ව තිබූ අතර විශේෂයෙන්ම උපසම්පදා කර්මය මෙරටින් වඳ වී ගොස් තිබුණි. එවකට රජකළ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ ආරාධනයෙන්, සියම් දේශයේ උපාලි මහා නාහිමියන් ප්‍රමුඛ භික්‍ෂූන් වහන්සේලා ලංකාවට වැඩම කරවනුලැබිණි. උන්වහන්සේලා මෙරටදී නැවත උපසම්පදා කර්මය පිහිටුවා අදටත් ප්‍රමුඛස්ථානයක් ගන්නා සියම් නිකාය ආරම්භ කළහ.


තායිලන්තයේ බෞද්ධ උරුමය එහි අතිවිශාල පෞරාණික සහ නවීන විහාරස්ථාන තුළින් මනාව විදහා දැක්වේ. බැංකොක් අගනුවර පිහිටි මහා මාලිගාව යනු බෞද්ධ කලාව හා ගෘහ නිර්මාණ ශිල්පය එකට කැටි වූ ස්ථානයකි. මෙහිදී බැතිමතුන්ට වැදගත් ධාතූන් වහන්සේලා වන්දනාමාන කළ හැකි අතර සැතපෙන පිළිමය සහ අරුණෝදයේ විහාරය ලෙස හැඳින්වෙන ප්‍රධාන විහාරද අගනුවර ආසන්නයේ පිහිටා ඇත. මීට අමතරව තායිලන්තයේ අතීත රාජධානී වූ සුකෝතායි සහ අයුත්‍යා යන ස්ථානවල දැකගත හැකි පෞරාණික නටබුන් එම රටේ බෞද්ධ ශිෂ්ටාචාරයේ විශිෂ්ටත්වය කියාපායි. උතුරු දිග තායිලන්තයේ චියැන්ග් රායි නගරයේ පිහිටා ඇති සුදු පැහැති පන්සල නූතන බෞද්ධ කලාව සහ නිර්මාණශීලීත්වය විදහාපාන සුවිශේෂී උදාහරණයකි.

 


සමස්තයක් ලෙස, තායිලන්තය කිසිදා බටහිර යටත් විජිතයක් බවට පත් නොවීම නිසා ඔවුන්ගේ සංස්කෘතිය සහ රාජකීය සම්ප්‍රදායන් සමඟ බුදු දහම නොවෙනස්ව පවතී. තායි රාජකීය පවුල තවමත් බුදු සසුනේ පෝෂණයට සක්‍රීයව දායක වන අතර 1900 දශකයේදී සියම් ඔටුන්න හිමි කුමාරයෙකු පවා ලංකාවේ පැවිදි වීමත්, තායි රාජකීයයන් විසින් ලංකාවේ ශාසනික කටයුතු සඳහා දායක වීමත්, මේ දෙරට අතර ඇති ශක්තිමත් බැඳීම සනාථ කරයි. මේ සියලු සාධක මගින්, තායිලන්තය යනු ශ්‍රී ලංකාවේ ථෙරවාදී බුදු දහමේ අඛණ්ඩ පැවැත්ම වෙනුවෙන් ඓතිහාසිකව හා වර්තමානයේදී පවා සුවිශේෂී දායකත්වයක් ලබා දුන් උදාර බෞද්ධ රාජ්‍යක් බව පැහැදිලි වේ.


මදුමාලිකා වික්‍රමසිංහ

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required