ඉන්දියානු බුද්ධිමය උරුමයේ මහා සම්ප්‍රදාය
දීර්ඝ හා ප්‍රෞඪ ඉතිහාසයක් ඇති ඉන්දියාව, ක්‍රිස්තු පූර්ව යුගයේ භාරතය ලෙස පැවති සමයේ සිටම නව සොයා ගැනීම් සහ බුද්ධිමය දියුණුව වෙනුවෙන් කීර්තියක් උසුලා තිබේ. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ සිට මධ්‍යතන යුගයේ අධිරාජ්‍යයන් දක්වා විහිදුනු මෙම ශිෂ්ටාචාරය, විද්‍යාව, ගණිතය සහ තාක්ෂණය යන ක්ෂේත්‍රවල පෙරළිකාරී දායකත්වයන් රැසක් ලෝකයට දායාද කළේය.
ඉන්දියාවේ භූගෝලීය පිහිටීම ගෝලීය දැනුම සම්ප්‍රේෂණය සඳහා ඉතා තීරණාත්මක විය. මැද පෙරදිග ශිෂ්ටාචාර හා නැගෙනහිර ආසියාවේ ශිෂ්ටාචාර අතර වෙළඳ ගනුදෙනු සියල්ලම පාහේ සිදුවූයේ ඉන්දියාව හරහා වන අතර එය සේද මාවතේ ප්‍රධානතම ගොඩබිම් මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කළේය. මේ නිසා ඉන්දියානුවන්ට විවිධ සංස්කෘතීන්ගේ දැනුම් පද්ධතීන් සමඟ අඛණ්ඩව සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණි. භාණ්ඩ වෙළඳාමට අමතරව ගණිතමය සහ දාර්ශනික සංකල්ප පවා මෙම මාර්ග ඔස්සේ බටහිර ලෝකයට සහ ඈත පෙරදිගට ව්‍යාප්ත විය. වෙනත් ශිෂ්ටාචාර සමඟ තිබූ මෙම දැනුම් හුවමාරුව සහ දේශීය ප්‍රාඥයන්ගේ වාසය හේතුවෙන්, ඉන්දියානු ශිෂ්ටාචාරය අතීතයේ සිටම නව දේ සොයා ගැනීමට විශාල දස්කමක් දැක්වූහ.
ගණිත විද්‍යාවේ විප්ලවය : බිංදුව, වීජ ගණිතය සහ සංඛ්‍යා න්‍යාය
ඉන්දියානු ශිෂ්ටාචාරයේ විශිෂ්ටතම දායකත්වයක් ලෙස ගණිත විද්‍යාව හැඳින්විය හැකි අතර නූතන විද්‍යාවේ සහ තාක්ෂණයේ මූලික පදනම වන ස්ථානීය අගය පද්ධතිය සහ බිංදුව සංකල්පය ලොවට හඳුන්වා දෙන ලද්දේ ඉන්දීය විද්‍යාඥයන් විසිනි.
• ශුන්‍ය සංකල්පය සහ වීජ ගණිතයේ මූලයන්
ශුන්‍ය සංකල්පය ගණිතයට හඳුන්වා දීමට පෙර, එය ඉන්දියානු දර්ශනයේ ශුන්‍යතා (හිස්තැන් හෝ අවකාශය) යන ගැඹුරු සංකල්පය තුළ මුල් බැසගෙන තිබුණි. මෙම දාර්ශනික පසුබිම ගණිතයේදී බින්දුව 'සංඛ්‍යාවක්' ලෙස හෝ 'ස්ථානීය දරණ සංකේතයක්' ලෙස පිළිගැනීමට අවශ්‍ය මානසික අවකාශය නිර්මාණය කළේය.
ක්‍රිස්තු වර්ෂ පස්වන සියවස වන විට, ඉන්දීය ගණිතඥයෙකු හා තාරකා විද්‍යාඥයෙකු වූ ආර්‍යභට විසින් ස්ථානීය අගය පද්ධතියේ දියුණුවට පදනම දැමූ අතර, තම තාරකා විද්‍යාත්මක ගණනය කිරීම් වලදී බිංදුව සංකේතයක් ලෙස භාවිතා කරන ලදී. කෙසේ වෙතත්, ගණිතමය මෙහෙයුම් වලට (එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම) විධිමත් ලෙස ඇතුළත් කර, එහි නීති පැහැදිලි කලේ ක්‍රිස්තු වර්ෂ 628 දී බ්‍රහ්මගුප්ත නම් ගණිතඥයා විසිනි.
බ්‍රහ්මගුප්ත විසින් ශුන්‍ය සංඛ්‍යාවක් ලෙස තහවුරු කිරීමට අමතරව, වීජ ගණිතය සඳහාද විශාල දායකත්වයක් සපයන ලදී. ඔහු ඍණ සංඛ්‍යා භාවිතය සහ ඒවායේ මෙහෙයුම් පිළිබඳව සාකච්ඡා කළ පළමු පුද්ගලයා වූ අතර, ක්වාඩ්‍රැටික් සමීකරණය (වර්ගජ සමීකරණ) විසඳීම සඳහාද ක්‍රමවේදයන් හඳුන්වා දුන්නේය. බිංදුව සහ ඍණ සංඛ්‍යා වැනි වියුක්ත සංකල්ප ස්ථාපිත කිරීම මගින් ඉන්දියානුවන් නූතන විද්‍යාවේ දියුණුවට අත්‍යාවශ්‍ය වූ වියුක්ත ගැටලු විසඳීමේ පදනම නිර්මාණය කළේය.
• හින්දු - අරාබි දශම පද්ධතියේ ගෝලීය ව්‍යාප්තිය
ඉන්දියාවේ දියුණු වූ දශම පද්ධතිය 9 වන සියවසේ දී අල් - ක්වාරිස්මි සහ අල් - කීන්ධි වැනි අරාබි විශාරදයන් විසින් අරාබි භාෂාවට පරිවර්තනය කරන ලදී. අල් - ක්වාරිස්මි, ඉන්දියානු දශම පද්ධතිය සහ බිංදුව ඉස්ලාමීය ස්වර්ණම යුගයේදී ජනප්‍රිය කිරීමට මූලික විය. මෙම දැනුම යුරෝපයට පිවිසීමට ප්‍රධානතම හේතුව වූයේ 12 වන සියවසේදී අල් - ක්වාරිස්මිගේ කෘතියේ ලතින් පරිවර්තනයයි. ඉතාලි ගණිතඥයෙකු වූ ෆිබොනාච්චි ( ලියනාඩෝ ඔෆ් පිසා) අරාබි වෙළෙඳුන්ගෙන් මෙම දශම ක්‍රමයේ උසස් බව වටහා ගත්තේය. ඔහු විසින් 1202 දී රචිත Liber Abaci ( ගණනය කිරීමේ පොත) මගින් මෙම සංඛ්‍යා පද්ධතිය බටහිර ලෝකයට හඳුන්වා දෙන ලදී.
• නූතන සංඛ්‍යා න්‍යාය - ශ්‍රීනිවාස රාමනුජන්ගේ දායකත්වය
නූතන ගණිතඥයෙකු වන ශ්‍රීනිවාස රාමනුජන් (1887-1920) ගණිතමය විශ්ලේෂණය, අනන්ත ශ්‍රේණි, සංඛ්‍යා න්‍යාය සහ ක්‍රීඩා න්‍යාය වැනි ක්ෂේත්‍රවලට විශාල දායකත්වයක් සපයමින්, ප්‍රේමයයන් 3900කට වඩා සොයා ගත්තේය. ඔහුගේ බොහෝ සොයා ගැනීම් පදනම් වූයේ ස්වභාවික බුද්ධිමය මතය. ඔහුගේ මරණයෙන් වසර 56කට පසු සොයා ගත් නැති වූ සටහන් පොතේ අඩංගු වූ මොක් තීටා වැනි සංකල්ප අද වන විට කළු කුහර වල එන්ට්‍රොපිය ගණනය කිරීම සඳහා ප්‍රයෝජනවත් බව අනාවරණය වී තිබේ.
පුරාණ ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ දියුණුව : ප්ලාස්ටික් සැත්කම් සහ අක්ෂි රෝග
ඉන්දියානු ශිෂ්ටාචාරයේ වෛද්‍ය දැනුම ශල්‍යකර්ම ක්ෂේත්‍රයේ විශාල ප්‍රගතියක් අත්පත් කරගෙන තිබුණි. මෙම දැනුම පිළිබඳ ප්‍රධානතම මූලාශ්‍රය වන්නේ ක්‍රිස්තු පූර්ව 600 දී පමණ සුශැත විසින් රචනා කරන ලද සුශැත සංහිතාවයි.
• සුශැත සහ ප්ලාස්ටික් සැත්කම් කලාවේ ආරම්භය
සුශැත ප්ලාස්ටික් සැත්කම්වල පියා ලෙස ලොව පුරා පිළිගැනෙන අතර ඔහුගේ කෘතියේ නූතන ප්‍රතිසංස්කරණ සැත්කම්වල මූලධර්ම අඩංගු විය. සුශැත ශල්‍යකර්මය වෛද්‍ය විද්‍යාවේ ප්‍රථම සහ ප්‍රධානතම ශාඛාව ලෙස සැලකූ අතර එයට ශල්‍ය උපකරණ මගින් ක්ෂණික ප්‍රතිඵල ලබාදීමේ උසස් හැකියාවක් තිබූ බව අවධාරණය කළේය.
ශල්‍ය උපකරණ සහ තාක්ෂණය - සුශැත තම ග්‍රන්ථයේ ශල්‍ය උපකරණ 121ක් විස්තර කර ඇත. ඒවා තියුණු උපකරණ 20ක් සහ මොට උපකරණ 101ක් ලෙස වර්ගීකරණය කර තිබේ.
රයිනොප්ලාස්ටි ක්‍රමවේදය - සුශැත විසින් විස්තර කරන ලද රයිනොප්ලාස්ටි (නාසය ප්‍රතිසංස්කරණය) ශිල්ප ක්‍රමය, නූතන ඉන්දියානු තලය ලෙස හඳුන්වනු ලබන අතර එය ප්ලාස්ටික් සැත්කමේ ඉතිහාසයේ ඉතා වැදගත් සන්ධිස්ථානයකි.
මෙම ශිල්ප ක්‍රමය ක්‍රමානුකූලව මෙසේ විය.
1. ආකෘතිය : නාසයේ දෝෂයට සමාන ප්‍රමාණයෙන් කොළයක් හෝ වැලක් භාවිතයෙන් ආකෘතියක් ගැනීම.
2. සම තලය : කම්මුලෙන් හෝ නළලෙන් සමතලයක් කපා ගනු ලබන්නේ රුධිර සැපයුම පවත්වා ගැනීම සඳහා මූලයට සම්බන්ධව තබා ගනිමිනි.
3. බද්ධ කිරීම : තුවාලයේ දාර පිරිසිදු කර සකස් කල සම තලය නාසයට බද්ධ කිරීම.
4. ශ්වසන මාර්ගය : සැත්කමෙන් පසු නාස් පුඩු විවෘතව තැබීමට කුහර සහිත බට හෝ වේවැල් භාවිතා කිරීම.
මෙම දැනුම අනතුරු හෝ දඬුවම් හේතුවෙන් හානි වූ අවයව නැවත සැකසීම සඳහා යොදාගෙන ඇත. 1794 දී යුරෝපයට නැවත හඳුන්වා දුන් මෙම 'ඉන්දියානු තලය' තාක්ෂණය පුරාණ ඉන්දීය ශල්‍ය දැනුම නූතන වෛද්‍ය විද්‍යාවේ දියුණුවට සෘජුවම බලපෑ ආකාරය පෙන්වා දෙයි.
• අක්ෂි සැත්කම්
ප්ලාස්ටික් සැත්කම් වලට අමතරව, ඇසේ සුද ඉවත් කිරීමේ ශිල්ප ක්‍රමයද සුශැත විසින් තම වෛද්‍ය ග්‍රන්ථවල විස්තර කර ඇත. මෙම ක්‍රියා පටිපාටියේදී වක්‍ර වූ තුඩක් භාවිතයෙන් ඇසේ කාචය ඇසේ පිටුපසට තල්ලු කර දෘෂ්ටි ක්ෂේත්‍රයෙන් ඉවතට ගන්නා ලදී. සැත්කමෙන් පසු ඇස උණුසුම් කිරිවල පොඟවා වෙළුම් පටියක් දමා ප්‍රතිකාර කරන ලදී.
ද්‍රව්‍ය ඉංජිනේරු විද්‍යාවේ සහ ලෝහ විද්‍යාවේ විශිෂ්ටත්වය
ඉන්දියානු ශිෂ්ටාචාරය විසින් ද්‍රව්‍ය විද්‍යාව සහ ලෝහ විද්‍යාව පිළිබඳවද ඉතාමත් සුවිශේෂී දැනුමක් ලොවට දායාද කරන ලදී.
• වුට්ස් වානේ : පුරාණයේ අධි කාබන් ලෝහ තාක්ෂණය
වුට්ස් වානේ යනු දකුණු ඉන්දියාවේ ක්‍රිස්තු පූර්ව පළවන සහශ්‍රකය තරම් පැරැණි කාලයේදී දියුණු කරන ලද අධි කාබන් කෲසිබල් වානේ වර්ගයකි. මෙම වානේ වානේවල අද්විතිය ලක්ෂණය වූයේ එහි තිබූ රටා සහිත තීරු සහ අසමසම තියුණු බව හා කල්පැවැත්මයි. වුට්ස් වානේ වල ක්ෂුද්‍ර ව්‍යුහය තුළ සිමෙන්ටයිට් නැනෝ වයර් ඇති බව නූතන පර්යේෂණ මගින් අනාවරණය වී ඇත. වුට්ස් වානේ ලොව පුරා වෙළඳාම් කළ අතර එය මැද පෙරදිග ඩැමැස්කස් වානේ කඩු සෑදීම සඳහා භාවිතා වූ ප්‍රධානතම අමුද්‍රව්‍ය විය. අරාබි වාර්තා පෙන්වා දෙන්නේ ඉන්දියානු වානේ 'හින්දුවානී' ලෙස ප්‍රකටව තිබූ බවයි.
• සින්ක් නිසාරණයේ ආසවනය තාක්ෂණය
වාෂ්පශීලී ලෝහයක් වන සින්ක් නිස්සාරණය කිරීම ඉතා සංකීර්ණ තාක්ෂණික ක්‍රියාවලියකි. සාමාන්‍ය ලෝපස් උණු කිරීමේදී සින්ක් වාෂ්ප වන බැවින්, එය ඝන ද්‍රව්‍යයක් ලෙස ලබා ගැනීමට පහළට ගලන ආසවනය නම් ක්‍රමවේදයක් අවශ්‍ය විය. මෙම ක්‍රියාවලිය යුරෝපයට වඩා සියවස් ගණනාවකට පෙර ඉන්දියානුවන් විසින් ප්‍රගුණ කරන ලදී. රජස්ථානයේ සවාර් ප්‍රදේශයේ තිබී සොයාගත් සිං පතල් ක්‍රිස්තු පූර්ව 400 තරම් පැරණි බවට සාක්ෂි ඇත. සින්ක් ලෝහය පින්තල වැනි මිශ්‍ර ලෝහ සඳහා සහ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ඖෂධීය කටයුතුවලට අත්‍යවශ්‍ය විය.
• කපු වගාව සහ බොත්තම්
රෙදිපිළි ක්ෂේත්‍රයේද ඉන්දියාවේ දායකත්වය පුළුල්ව පැතිරී තිබුණි. ක්‍රිස්තු පූර්ව 3000ට එපිටදී ඉන්දු නදී ශිෂ්ටාචාරයේ කපු වගාව පැවැති බවට පුරාවිද්‍යාත්මක සාධක හමුවී තිබේ. ඉන්දු නිම්නයේ වැසියන් කපු වැනි ද්‍රව්‍ය වලින් සියුම් ලෙස රෙදි විවීම පිළිබඳව දැනුමක් ලබා තිබුණි. ක්‍රිස්තු පූර්ව 2000 ටත් පෙර මොහෙන්ජෝදාරෝ වාසීන් විසින් ඇඳුම් සම්බන්ධ කිරීමට සහ අලංකාර කිරීමට භාවිතා කළ බොත්තම්වල පැරැණිතම සාක්ෂි සොයාගෙන ඇත. මේ අනුව, නූතන ඇඳුම් කර්මාන්තයේ අත්‍යවශ්‍යම අංගයක් වන බොත්තම් භාවිතයේ මුල්ම මූලාශ්‍රය ඉන්දියානු ශිෂ්ටාචාරය දක්වා දිව යයි.
නූතන සන්නිවේදනය සහ භෞතික විද්‍යාවේ ඉන්දීය විප්ලවය
නවීන තාක්ෂණික යුගයේ ද ඉන්දීය සම්භවයක් සහිත විද්‍යාඥයන්ගේ දායකත්වය ලොවට අතිශයින් වැදගත් විය.
• ප්‍රකාශ තන්තු තාක්ෂණයේ ආරම්භය
නූතන සන්නිවේදන විප්ලවයට ප්‍රධාන හේතුව වූ ප්‍රකාශ තන්තු සම්ප්‍රේෂණ මාධ්‍යයෙහි පුරෝගාමීත්වය ඉන්දීය සික් ජාතිකයෙකු වූ නරින්දර් සිං කෝපානි විසින් ලබාදෙන ලදී. 1954 දී, කොපානි සහ තවත් ලන්දේසි ජාතිකයෙක් එංගලන්තයේ ඉම්පීරියල් කොලේජ්හීදී ප්‍රකාශ තන්තු හරහා රූපයක් සාර්ථකව සම්ප්‍රේෂණය කිරීමේ ප්‍රථම පරීක්ෂණය සිදු කළේය. කොපානි විසින් සිය ගණනක් වීදුරු තන්තු කාණ්ඩ කාණ්ඩකරර නම්‍යශීලී ෆයිබ්‍රොස්කෝප එකලස් කිරීම මගින්, ඊට පෙර ලබා තිබූ තත්ත්වයට වඩා උසස් තත්වයේ රූප සම්ප්‍රේෂණය කිරීමට හැකි විය. කොපානි ෆයිබර් ඔප්ටික්ස් වල පියා ලෙස ප්‍රකට අතර , ඔහුගේ කාර්ය නූතන අන්තර් මහද්වීපික දත්ත සම්ප්‍රේෂණය , අන්තර්ජාලය සහ වෛද්‍ය රූපකරණ තාක්ෂණය ( endoscopy) සඳහා අත්‍යවශ්‍ය පදනම සැපයීය.
• ජගදීශ් චන්ද්‍ර බෝස් : ක්ෂ්‍රද්‍ර තරංග සහ ඝන - තත්ත්ව ඉලෙක්ට්‍රොනික විද්‍යාව
ජගදීශ් චන්ද්‍ර බෝස් (1858 – 1937) යනු රැහැන් රහිත සන්නිවේදනයේ සහ අර්ධ සන්නායක තාක්ෂණයේ මූලික සංකල්ප සපයන ලද විශිෂ්ට භෞතික විද්‍යාඥයෙකි.ඔහු දහනව වන සියවස් අවසානයේදී 60 GHz ,ක්ෂුද්‍ර තරංග පද්ධති ප්‍රදර්ශනය කළේය. මෙම කාර්යයන් පසුකාලීනව රැහැන් රහිත විදුලි පණිවිඩ සහ චන්ද්‍රිකා සන්නිවේදනය සඳහා මූලික පදනම විය. ඔහු විසින් සොයා ගන්නා ලද ස්වයං ප්‍රකෘතිමත් වන රසදිය කොහීරරය සහ ගැලීනා ඩිටෙක්ටරය ඝන තත්ත්ව ඩයෝඩ සංකල්පයට අඩිතාලම දැමීය.1977 නොබෙල් ත්‍යාගලාභී සර් නෙවිල් මොට් විසින් ප්‍රකාශ කළ පරිදි බෝස් P- වර්ගයේ සහ N- වර්ගයේ අර්ධ සන්නායක පැවැත්ම වසර 60කින් පුරෝකථනය කර තිබුණි. මීට අමතරව බෝස් විසින් ශාකවල සංවේදිතාව වැනීම සඳහා ක්‍රෙස්කෝග්‍රාෆ් නම් උපකරණය ද සොයා ගන්නා ලදී.
සංස්කෘතික සහ ලේඛන පද්ධති
• චෙස් ක්‍රීඩාව සහ උපාය මාර්ග සංකල්ප
චෙස් ක්‍රීඩාවේ මූලයන් ඇත්තේ ඉන්දීය ගුප්ත අධිරාජ්‍ය සමයේ පැවති චතුරංග නම් ක්‍රීඩාව තුළය. චතුරංග යන්නෙන් අදහස් වූයේ හමුදාවේ කොටස් හතරයි. එනම් පාබල සෙබලු, අශ්වයන්, අලි සහ රථ වේ.
චතුරංග ක්‍රීඩාව පසුව පර්සියාවට ව්‍යාප්ත වී ' Shatranj' බවටත් එතැන් සිට යුරෝපයට ගොස් නූතන චෙස් ක්‍රීඩාව ලෙසත් පරිණාමය විය. ' Checkmate' යන පදයේ සම්භවය පර්සියානු 'Shah Mat' (රජු අසරණයි) යන්නෙන් පැමිණේ. චතුරංග ක්‍රීඩාව සියලුම නවීන චෙස් පවුල් ක්‍රීඩාවල පොදු මුතුන් මිත්තා බවට ප්‍රමුඛ මතයක් පවතී.
• ලිවීමේ මාධ්‍යයේ බලපෑම : තීන්ත සහ අක්‍ෂර හැඩගැස්ම
ලිවීමේ කටයුතු සඳහා භාවිතා කරන ලද කාබන් තීන්ත වර්ගයක් ක්‍රිස්තු පූර්ව 3000 ට එපිටදී ඉන්දියානුවන් විසින් පාවිච්චි කර ඇත. ඔවුන් සත්ව ඇට පිළිස්සීමෙන් ලැබෙන දැලි සමග මිශ්‍ර කර කාබන් තීන්ත නිපදවූහ. මෙම තීන්ත ජලයට ඔරොත්තු දෙන ස්ථරයක් ලෙස තැන්පත් වී දිගු කාලයක් බොඳ වීමකින් තොරව පැවතිණි. මෙම තීන්ත තාක්ෂණය පසුකාලීනව චීනය සහ ඊජිප්තුව කරා සංක්‍රමණය වූ බවට සැලකේ. අක්‍ෂරවල වටකුර ස්වභාවය - සිංහල, දෙමළ, මලයාලම් වැනි දක්ෂිණ බ්‍රාහ්මීය අක්‍ෂරවල වටකුරු ස්වභාවයක් තිබීම, ඒවා ලියනු ලැබූ මාධ්‍යයේ බලපෑමක් ලෙස පුරාවිද්‍යාඥයන් විසින් පෙන්වා දීී තිබේ. පුස්කොළ පොත් වැනි ශාක පත් ඉරු මත තියුණු තුඩකින් අකුරු සටහන් කිරීමේදී, සරල රේඛා බහුල වූ අක්ෂර ලිවීම මගින් පත්‍ර පහසුවෙන් ඉරි යාමට ඉඩ තිබිණි. එබැවින්, වාක්‍ය සහ වටකුරු අක්‍ෂර ලිවීම මගින් මෙම ද්‍රව්‍යමය සීමාවන් මගහරවා ගැනීමට හැකි වූ අතර එය සිංහල වැනි භාෂාවන්හි අක්ෂරවල හැඩය හැඩගැස්වීමට තීරණාත්මක බලපෑමක් ඇති කළේය.
• තාරකා විද්‍යාව සහ කාල නිර්ණය පද්ධති
පුරාණ ඉන්දියානු තාරකා විද්‍යාඥයින් විශේෂයෙන් ආර්යභට ගණනය කිරීම්වලදී ඉහල නිරවද්‍යතාවයක් පෙන්නුම් කළහ. ආර්යභට විසින් ගණනය කරන ලද පෘථිවියේ පාර්ශ්වීය භ්‍රමණ කාලය තත්පර 23:56:4.1ක් වූ අතර, එය නූතන අගය වන තත්පර 23:56:4.091 ට ඉතා අසන්න විය. තවද වේද යුගයේ සිටම විකාශනය වූ පංචාංග වැනි සංකීර්ණ දින දර්ශන ක්‍රමවේද , සූර්ය හා චන්ද්‍ර චක්‍රයන් සමතුලිත කරමින් කෘෂිකාර්මික හා ආගමික කටයුතු සඳහා නිරවද්‍ය කාල නිර්ණයක් සපයන ලදී. පංචාංගයේ මූලිකාංග පහ නම් : තිථි (චන්ද්‍ර දවස), වාසර හෝ වාර් (සූර්ය දවස), කරණ (අර්ධ චන්ද්‍ර දවස) , යෝග ( සූර්ය - චන්ද්‍ර සංයෝජන) , සහ නක්ෂත්‍ර ( චන්ද්‍ර තාරකා මණ්ඩලය) වේ.
ගෝලීය තාක්ෂණික දියුණුවට ඉන්දියාවේ බලපෑමේ පුළුල් උරුමය
ඉන්දියානු ශිෂ්ටාචාරය විසින් ලෝකයට කරන ලද දායකත්වය, කාලය හා විෂය ක්ෂේත්‍ර ගණනාවක් හරහා විහිදෙන පුළුල් උරුමයකි. බිංදුව වැනි අමූර්ත ගණිතමය පදනම් නූතන විද්‍යාත්මක ක්‍රමවේද සඳහා අත්‍යවශ්‍ය මූලිකාංග බවට පත්විය. මෙම පදනම ගෝලීය තාක්ෂණික පරිණාමයේ මූලිකම උත්ප්‍රේරකයක් විය. පුරාණ ශල්‍යකර්මවලදී සුශැත විසින් ප්ලාස්ටික් සැත්කම් පිළිබඳ ලබා දුන් දැනුම, ඇසේ සුද ඉවත් කිරීමේ ශිල්ප ක්‍රම සහ Wootz වානේ නිෂ්පාදනය මගින් පෙන්නුම් කළ උසස් ද්‍රව්‍ය පාලනය, ඉන්දියානු ශිල්පීන්ගේ සහ වෛද්‍යවරුන්ගේ දැනුම ඔවුන්ගේ සමකාලීන ලෝකයට වඩා බොහෝ ඉදිරියෙන් සිටි බව තහවුරු කරයි. තවද නූතන යුගයේදී බෝස් සහ කොපානි වැනි විද්‍යාඥයින් විසින් ශුද්‍ර තරංග සහ ප්‍රකාශ තන්තු තාක්ෂණය සඳහා අඩිතාලම දැමීම, නූතන සන්නිවේදන ක්ෂේත්‍රය ප්‍රතිනිර්මාණය කළේය. එබැවින් ඉන්දියාව ගෝලීය ශිෂ්ටාචාරයේ සංවර්ධනය සඳහා ප්‍රධානතම නිර්මාතෘවරයකු ලෙස සැලකිය යුතුය.
මදුමාලිකා වික්‍රමසිංහ