/
/
title icon
මානසික සුවය සඳහා වංකගිරි - සංකීර්ණ මිත්‍යාවක සිට සන්සුන් භාවනා මාර්ගයක් දක්වා
මානසික සුවය සඳහා වංකගිරි - සංකීර්ණ මිත්‍යාවක සිට සන්සුන් භාවනා මාර්ගයක් දක්වා
Madumalika Wickramasinghe
9 hours ago
Share:
මානසික සුවය සඳහා වංකගිරි - සංකීර්ණ මිත්‍යාවක සිට සන්සුන් භාවනා මාර්ගයක් දක්වා

වංකගිරියක මූලික අර්ථය සහ ග්‍රීක මිත්‍යා පසුබිම
සාමාන්‍ය භාවිතයේදී වංකගිරියක් ලෙස හඳුන්වන්නේ පැටලිලි සහිත අවුල් ජාලයක් වැනි මාර්ග පද්ධතියකි. බොහෝවිට මිනිසුන් වංකගිරියක් හා සිතන්නේ කෙළවරක් නොපෙනෙන වැරදි හැරවුම් රාශියක් සහිත දුෂ්කර ප්‍රහේලිකා ගැනය. කෙසේ වෙතත් වංකගිරියේ ඉතිහාසය දිව යන්නේ පුරාණ ග්‍රීක මිත්‍යාව දක්වාය. ග්‍රීක කතාවලට අනුව, යුරෝපයේ පැරණිම නගරය වන නොසොස් නුවර පාලනය කළ මයිනස් රජු වෙනුවෙන් ඩීඩලස් නම් කර්මාන්තකරුවා විසින් ක්‍රීට් දූපතේ අතිශය සංකීර්ණ වංගගිරියක් නිර්මාණය කරන ලදී. මෙහි ප්‍රධාන අරමුණ වූයේ මිනිස් මාංශ අනුභව කළ අඩක් වෘෂභ හා අඩක් මනුෂ්‍ය අපරූපී සත්ත්වයකු වූ මිනෙටෝර් සිරකර තැබීමයි. මෙම ව්‍යුහය කොතරම් සංකීර්ණ වීද යත්, එය නිර්මාණය කළ ඩීඩලස් පවා එයින් පිටතට පැමිණියේ යන්තමිනි. මෙම කතාව වංකගිරිය පිළිබඳ බිය සහ අභිරහස මුල් කරගත් දැඩි සංකීර්ණත්වයක් සමාජගත කළේය.


මානසික සුවය සඳහා වංකගිරියේ සැබෑ ස්වභාවය
ග්‍රීක මිත්‍යාවේ එන පරිදි එක් පැත්තකින් අවසන් වන වැරදි මං පෙත් සහිත ප්‍රහේලිකාමය ව්‍යුහයන්ගෙන් වෙනස් වූ සැබෑ ලෝකයේ වංකගිරි සතු වන්නේ එකම නිවැරදි මාර්ගයක් පමණි. මෙවැනි වංකගිරි එක්මන් වක්‍රයේ සහිත වන අතර, ඒවායේ අරමුණ සිත ව්‍යාකූල කිරීම නොවේ. පුරාවිද්‍යාත්මක සාක්ෂි පෙන්වා දෙන්නේ මෙවැනි ව්‍යුහයන් ලිඛිත ඉතිහාසයෙන් ඔබ්බට පැරණි බවයි. මෙම මාර්ගය ඔස්සේ සෙමෙන් ඇවිදීම පුද්ගලයාට මානසික සුවය ළඟා කර ගැනීම සඳහා මෙන්ම භාවනාමය අත්දැකීමක් ලබා ගැනීම සඳහාද යොදා ගැනේ. මාර්ගයේ ආරම්භක හැරවුම අනුව එහි මාර්ගය වමත් හෝ දකුණත් විය හැකි අතර මෙම සරල බව නිසාම එය සන්සුන්භාවය උදෙසා යොදා ගන්නා ලදී.


පුරාණ ලෝකයේ වංකගිරි භාවිතය සහ ඓතිහාසික සාක්ෂි
වංකගිරි භාවිතා කිරීමේ ඉතිහාසය පුරාණ ලෝකය පුරා පැතිරී ඇත. මෙහි ප්‍රකටම උදාහරණය වන්නේ දොළොස් වැනි රාජ වංශයේ රජ කළ තුන්වැනි අමෙනෙම්හෙට් රජු විසින් ඊජිප්තුවේ හවාරාහි පිරමීඩ සංකීර්ණයක් තුළ ගොඩනැඟූ වංකගිරියයි. මීට අමතරව, ක්‍රිස්තු පූර්ව 1200ට පමණ අයත් මැටි පුවරුවක් මත කැටයම් කරන ලද වංකගිරියක රූපයක් ග්‍රීක මාලිගයකින් හමුවී ඇත. රෝම අධිරාජ්‍යයේ නැගී සිටීමත් සමඟ මෙම වක්‍රාකාර වංකගිරි චතුරස්‍රයක හැඩයෙන් නිර්මාණය කිරීම අරඹා ඇති අතර සොහොන් කුටි, පොදු නාන කාමර සහ නිවෙස් වල හුළු කැට මත පවා ඒවා ඇතුළත් කර ඇත. මධ්‍යතන යුගයේදී වංකගිරියක් අතිශය වැදගත් ආගමික සංකේතයක් බවට පත්වූ අතර එහි උච්චතම නිර්මාණය ප්‍රංශයේ ශාත ආසන දෙව් මැදුරේ දැක ගතගත හැකියි.


ආගමික සහ අධ්‍යාත්මික වැදගත්කම
ඓතිහාසිකව ගත් කළ වංකගිරියක ඇවිදීම ආගමික හා මායාවී අත්දැකීම් සමග දැඩිව බැඳී තිබුණි. පුරාණ වැසියන් වංකගිරියක ඇවිදීම ආගම සඳහා වන භක්තිය විදහා දැක්වීම සඳහාත්, පාපයන් සමා කර ගැනීම සඳහා වන සරල වන්දනා ගමනක් ලෙසත් සැලකූහ. උදාහරණයක් ලෙස නෝඩික් සහ ස්කැන්ඩිනේවියානු බහුදේවවාදීන් විශ්වාස කළේ වංකගිරියක ඇවිදීම මගින් දුෂ්කරතා ජය ගැනීම, ආරක්ෂාව තහවුරු වීම සහ වාසනාව ළඟාවීම සිදුවන බවයි. මෙම විශ්වාසයන් නිසාම අද වන විට ලෝකයේ රාජ්‍යයන් අසූවක් පුරා විවිධ අරමුණ උදෙසා ගොඩනංවන ලද වංකගිරි 4,977ක් පමණ සොයාගෙන ඇත.


ලොව පුරා ප්‍රකට වංකගිරි සදහා උදාහරණ
වර්තමානයේ ලෝකයේ විවිධ ස්ථානවල පුරාණ ආකෘති අනුගමනය කරමින් හෝ නව්‍ය අයුරින් වංකගිරි නිර්මාණය කර ඇත.
•  ප්‍රංශයේ ශාත ආසන දෙව් මැදුර - 1200 දී පමණ නිර්මාණය කරන ලද මෙම වංකගිරිය, මීටර් 13ක විෂ්කම්භයකින් යුක්ත වන අතර එහි මංපෙතේ සමස්ත දුර මීටර් 261.5 කි. පූජකවරුන් මෙය නිදහසේ කල්පනා කිරීම සහ දෙවියන්ගේ සදාකාලික බව සංකේතවත් කිරීම සඳහා භාවිතා කර ඇත.


•    චීනයේ බීජිං නුවර පැරණි වසන්ත මාලිගය - 1709 දී චින්ග් රාජ වංශය විසින් නිර්මාණය කරන ලද මෙය චීන සාම්ප්‍රදායික දර්ශන බටහිර ගෘහ නිර්මාණ ශිල්පය සමඟ මුසු වූ කලාත්මක නිර්මාණයකි.

 

 

 

 

 


•    කැලිෆෝනියාවේ ලෑන්ඩ්ස් එන්ඩ්, සැන් ෆ්‍රැන්සිස්කෝ - කලා ශිල්පී එඩ්වාඩෝ ඇගුලේරා විසින් සාමය, ආදරය සහ අවබෝධය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 2004 දී වෙරළේ නිර්මාණය කරන ලද මෙය ශාත ආසන දෙව් මැදුරේ වංකගිරිය ඇසුරින් මණ්ඩල එකොළහකින් සමන්විත වේ.

 

 

 

 


•    දකුණු අප්‍රිකාවේ හොග්ස්බැක් හි 'The Edge'  - මෙය ද ශාත නුවර වංකගිරිය ඇසුරින් 2002 දී නිර්මාණය කළ අතර එහි විෂ්කම්භය මීටර් 29ක් සහ පරිධිය මීටර් 91 ක් වේ. එය ලෝකය සතු දැවැන්තම වංකගිරියක් ලෙස සැලකෙන අතර සමස්ත ඇවිදීම කිලෝමීටර් 1.4 කි.

 

 

 


වංකගිරියක ඇවිදීමේ නූතන ප්‍රතිලාභ
මෙසේ ඓතිහාසික හා සංස්කෘතික පසුබිමකින් යුක්ත වුවද අද වන විට වංකගිරි ප්‍රයෝජනවත් වන්නේ එහි භාවනාමය අංගය නිසාය. සිත ව්‍යාකූල නොකරන එකම නිවැරදි මාර්ගය ඔස්සේ සෙමෙන් ගමන් කිරීම තුළින් ඇවිදින පුද්ගලයාට තම සිත එක අරමුණකට යොමු කිරීමටත්, ගැටලු පිළිබඳව නිදහසේ කල්පනා කිරීමටත් අවස්ථාව ලැබෙයි. මේ නිසා වංකගිරි ඇවිදීම නූතන සමාජයේ මානසික ආතතිය අඩු කිරීමට සහ සිත සන්සුන් කිරීමට උපකාරී වන ප්‍රබල මෙවලමක් ලෙස සැලකිය හැකිය.

 

 

 

 

 


මදුමාලිකා වික්‍රමසිංහ

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required