බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අවදානම් සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයින වටා සියළුම ධීවර යාත්‍රා රැකියාව සඳහා පිටත්වීම් නැවත දැනුම් දෙනතුරු අවලංගු කරන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසනවා.
මෙම අවධානම් සහිත මුහුදු ප්‍රදේශවල මේ වනවිට රැකියාවේ නිරතව සිටින සියළුම ධීවර යාත්‍රා ගොඩබිමට හෝ ආරක්ෂිත ප්‍රදේශවලට යාත්‍රා කරන ලෙසත්, සියළුම ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසත් ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙනවා.
එමෙන්ම, මේ සම්බන්ධව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ඉදිරි නිවේදන සහ ගුවන් විදුලි පණිවුඩ කෙරෙහි දැඩි අවධානය යොමු කරන ලෙසත් එමගින් ඔවුන් අවධාරණය කරනවා.
මේ අතර, නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය ඊයේ මධ්‍යම රාත්‍රී පමණ වන විට ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පැවතුණා.
එය ඉදිරි පැය 30 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති අතර, දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරනවා.
නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකියි.