සපුගස්කන්ද - මාවරමණ්ඩිය ප්‍රදේශයේදී රිය අනතුරක් වළක්වා නොගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් හිටපු කථානායක සහ ජාතික ජලබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජානකී පෙරේරා මහත්මිය අද පස්වරුවේ නියෝග කළා.
කොළඹ ජාතික රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී සැකකරු රෝහලට ගොස් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම ඇප නියෝගය නිකුත් කිරීමටයි පියවර ගැනුණේ.
හිටපු කථානායකවරයා ගමන්ගත් ජීප් රථය සපුගස්කන්ද දෙනිමල්ල ප්‍රදේශයේදී තවත් මෝටර් රථයක ගැටී අනතුරකට පත්වී තිබූ අතර එම අනතුරින් බිළිඳියක් සහ තවත් කාන්තාවන් දෙදෙනකු තුවාල ලබා රිජ්වේ ආර්යා ළමා රෝහලේ හා කිරිබත්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කළා.
සිද්ධියට අදාළ පැමිණිල්ල ලබන 19 වැනිදා අධිකරණය හමුවේ කැඳවීමට නියමිත බවද පොලිසිය පැවසුවා.
සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දුන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ අනතුරුව සිදුවූ අවස්ථාවේදී රියදුරන් බීමත්ව සිටියේ ද යන්න පිළිබඳව පොලිසිය තවදුරටත් විමර්ශන සිදු කරන බවයි.