/
/
title icon
හෙලයේ ගී රැජින "ලතා වල්පොල" ජීවන ගීයට සමුදෙයි - අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන්
හෙලයේ ගී රැජින "ලතා වල්පොල" ජීවන ගීයට සමුදෙයි - අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන්
News Editor
2 hours ago
Share:
හෙලයේ ගී රැජින "ලතා වල්පොල" ජීවන ගීයට සමුදෙයි - අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන්

මෙරට සුවහසක් රසික සවන් සැනසූ හෙලයේ අවිවාදිත ගී රැජින ලතා වල්පොල මහත්මිය රෝගී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ පස්වරුවේ අභාවප්‍රාප්ත වුණා.

මියයන විට ලතා වල්පොල මහත්මිය 91 වන වියේ පසුවූ අතර, 1934 වසරේදී උපත ලැබු ඇයගේ නම රීටා ජෙනවිට් ප්‍රනාන්දු වුණා.

ලතා වල්පොල යන නමින් ඇය ජනාදරයට පාත්‍ර වුණේ පසුකාලීනවයි .

ලතා වල්පොල මහත්මිය 1946 වසරේ දී එවක රේඩියෝ සිලෝන් හි තම පළමු ගායනය ඉදිරිපත් කරනු ලබන්නේ වයස අවුරුදු 12ක පුංචි දැරියක් ලෙසයි.

ඇය මේ වනවිට ගීත හයදහසකට අධික සංඛ්‍යාවක් ගායනා කර ඇති අතර ඒ අතර විදෙස් භාෂා ගීත ද ඇතුළත්.

සිනමාවේ සදාකාලික 'ගී රාජිනිය' යන අන්වර්ථ නාමයෙන් ද ලතා වල්පොල මහත්මිය හඳුන්වනු ලැබුවා.

1953 වසරේ දී එදා රෑ චිත්‍රපටයෙන් සිනමා පසුබිම් ගායනයට පිවිසි ඇය ගෙවුණු දශක කිහිපය තුළ චිත්‍රපටි 600කට අධික ප්‍රමාණයකට තම හඬ දායකත්වය ලබා දී තිබෙනවා.

සරසවි සම්මාන 5ක්, ජනාධිපති සම්පාන 2ක්, කලාශුරි සම්මානය ඇතුළු සම්මාන රැසකින් ලතා වල්පොල මහත්මිය පිදුම් ලැබුවේ ඇය සතු වූ ගායන කෞශල්‍යය හේතුවෙන්.

හෙලයේ ගීත කෝකිලාවිය" කලාශූරී ලතා වල්පොල මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු දෙසැම්බර් 31 වන බදාදා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදුකිරීමට නියමිතයි.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කළේ ඇයගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුකිරීමට රජය තීරණය කළ බවයි.

දේහය අද පස්වරු 3.00 සිට රාත්‍රී 10.00 දක්වා පුද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරෙන අතර එළැඹෙන 31 වැනිදා නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට රැගෙන යෑමෙන් අනතුරුව බොරැල්ල පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදුකිරීමට නියමිතයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required