/
/
title icon
රාජ්‍ය අංශ ඩිජිටල්කරණය අනාගතයට ආයෝජනයක්
රාජ්‍ය අංශ ඩිජිටල්කරණය අනාගතයට ආයෝජනයක්
Nishani Dharmapriya
3 weeks ago
Share:
රාජ්‍ය අංශ ඩිජිටල්කරණය අනාගතයට ආයෝජනයක්

රාජ්‍ය අංශ ඩිජිටල්කරණය අනාගතයට ආයෝජනයක්

ලෝකය සීඝ්‍රයෙන්  ඩිජිටල්කරණය හා නව්‍යකරණය  වෙමින් පවතින යුගයක, රාජ්‍ය පරිපාලනය ද ඩිජිටල්කරණය කිරීම අවශ්‍යය වේ. ශ්‍රී ලංකාව රාජ්‍ය අංශ්‍යයෙන් ඩිජිටල් පදනමක් මත ක්‍රියාත්මක කිරීම සඳහා ගත හැකි පියවර අනාගත සමාජ, ආර්ථික පාලන පද්ධතියට බෙහෙවින් වැදගත් වේ. විශේෂයෙන්ම, රාජ්‍ය අංශ්‍ය ඩිජිටල්කරණය කිරීම යනු හුදෙක් තාක්ෂණය  යොදා ගැනීමක් පමණක් නොව, රටේ සමස්ත සංවර්ධනයට හා පුරවැසියාගෙ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට මග පාදන විප්ලවයකි.
රාජ්‍ය අංශ්‍ය ඩිජිටල්කරණය කිරීමෙන් සැලසෙන ප්‍රධානතම වාසියක් වන්නේ සියලුම ක්‍රියාකාරම්වල කාර්යක්ෂමතාව  ඉහළ නැංවීමයි. අද වන විට රාජ්‍ය කාර්යාලවල සිදුවන බොහෝ කටයුතු තවමත් සාම්ප්‍රදායිකව අතින් සිදු කෙරේ. මෙය කාලය නාස්ති කරන, පිරිවැය අධික ක්‍රියාවලියකි. ඩිජිටල් පද්ධති හඳුන්වාදීමෙන් ගොනු පද්ධති, ලේඛන කටයුතු සහ අනුමැතිය ලබා ගැනීම් සරල වන අතර, රාජ්‍ය සේවකයන්ට වඩාත් වැදගත් කාර්යයන් සඳහා කාලය යෙදවීමට හැකි වේ.
එමෙන්ම, ඩිජිටල්කරණය විනිවිදභාවය වැඩි දියුණු කරයි. අන්තර්ජාලය ඔස්සේ සේවා සැපයීමෙන් සහ දත්ත පද්ධති විවෘත කිරීමෙන්  දූෂණය අවම කර ගැනීමටත්, පුරවැසියන්ට රාජ්‍ය සේවා පිළිබඳ පැහැදිලි අවබෝධයක් ගැනීමටත් හැකියාව ලැබේ. සෑම කටයුත්තක්ම සටහන් වී තිබීම, විග්‍රහයට ලක් කළ හැකි වීම, සත්‍යය සහ නීතිමය පැවැත්ම තහවුරු කරයි.
ඩිජිටල්කරණය මගින් රාජ්‍යය සේවාවන් පුරවැසි කේන්ද්‍රීය බවට පත්කරයි. උප්පැන්න සහතික, ජාතික හැඳුනුම්පත් ,රියදුරු බලපත්‍ර වැනි ලේඛන ලබා ගැනීම සඳහා දිගු පෝලිම්වල සිටීම හෝ කිහිප වතාවක් රජයේ කාර්යාලවලට යාම අදටත් දැකගත හැකි ගැටලුකාරී පොදු කාරණාවකි. ඩිජිටල් වේදිකා ඔස්සේ මෙම සේවාවන් මාර්ගගතව ලබාදීමෙන් පුරවැසියාට තම නිවසේ සිටම හෝ ඕනෑම තැනක සිට පහසුවෙන් තම අවශ්‍යතාවන් ඉටුකර ගැනීමට හැකියාවව ලැබේ.  මෙය කාලය සහ මුදල් ඉතිරි කරනවා පමණක් නොව පුරවැසියාගේ තෘප්තිය ද ඉහළ නංවයි. මේ ආකාරයට ජනතාවට විවෘත සහ සරල සන්නිවේදන පද්ධතියක් නිර්මාණය වීමත්, සම්පත් නාස්තිය අවම කරමින් නව යෝජනා ක්‍රියාත්මක කිරීමට පහසුකම් සලසනු ලැබීමත් සිදුවේ. රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීම ආර්ථික සංවර්ධනයට සෘජුවම බලපාන අතර කාර්යක්ෂම රාජ්‍ය පරිපාලන පද්ධතියක් මඟින් ව්‍යාපාර ආරම්භ කිරීම සහ පවත්වාගෙන යාම පහසු කරයි. බලපත්‍ර ලබා ගැනීම්, බදු ගෙවීම් සහ අනෙකුත් රාජ්‍ය ක්‍රියාවලීන් රිජිටල්කරණය කිරීමෙන් දේශීය හා විදේශීය ආයෝජන සඳහා වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය වේ. මෙය නව රැකියා අවස්ථා උදා කරන අතර රටේ සමස්ත ආර්ථික වර්ධනයට පිටිවහලක් වනු ඇත. 


කෙසේ වෙතත් රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීමේ දී අභියෝග ද පවතී. යල් පැන ගිය නීති රීති, ප්‍රමාණවත් නොවන යටිතල පහසුකම්, සේවක පුහුණුවේ අවශ්‍යතාවය සහ දත්ත ආරක්ෂාව පිළිබඳ ගැටළු මේ අතර ප්‍රධාන වේ. මෙම අභියෝග ජයගැනීම සඳහා රජය පුළුල් සැලැස්මක් ඉදිරිපත් කළ යුතුය. පළමුව සියළු පාර්ශ්වකරුවන්ගේ සහයෝගය ලබාගත යුතු අතර රාජ්‍ය නිළධාරීන්, තාක්ෂණික විශේෂඥයින්, සහ පුරවැසියන් මෙම ක්‍රියාවලියට සක්‍රීයව දායක කරගැනීම අත්‍යවශ්‍ය වේ. දෙවනුව නවීන තාක්ෂණයන් වන කෘතීම බුද්ධිය , බ්ලොක්චේන්, වෙබ් අඩවි භාවිත කරමින් නව්‍ය විසඳුම් හඳුන්වා දිය යුතුය. තෙවනුව අඛණ්ඩ පුහුණු වැඩසටහන් මගින් රාජ්‍ය සේවකයන්ගේ ඩිජිටල් සාක්ෂරතාව වැඩි දියුණු කළ යුතුය. ශ්‍රී ලංකාව වැනි අඩුමට්ටමක ආර්ථිකයකින් යුතු රටක සාර්ථක රාජ්‍ය පාලනයක් පවත්වාගෙන යාම සඳහා ඩිජිටල්කරණය අත්‍යවශ්‍ය අංගයකි. තාක්ෂණය සැලකිලිමත්ව, සදාචාරයෙන් සහ ප්‍රජාභිමුඛ ලෙස භාවිත කළහොත් එය ජනතාවගේ විශ්වාසයද ජයගැනීමේ මාර්ගයක් වේ. ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීම යනු අනාගතය සඳහා කරනු ලබන සුවිශේෂීතම ආයෝජනයකි. එය වඩාත් කාර්යක්ෂමව, විනිවිද භාවයෙන් යුත් සහ පුරවැසි හිතකාමී රාජ්‍ය සේවාවක් නිර්මාණය කිරීමට මග පාදන අතර ශ්‍රී ලංකාවට සමෘද්ධිමත් සහ දියුණු රාජ්‍යයක් ලෙස ඉදිරියට යාමට ශක්තිය සපයනු ඇත.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required