අමෙරිකානු අත්අඩංගුවේ පසුවන වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝට මත්ද්‍රව්‍ය සහ අවි චෝදනා සම්බන්ධව නඩු ගොනු කර නිව්යෝර්ක් හිදි අධි චෝදනා ගොනු කරන බව අමෙරිකානු නීතිපති දෙපාර්තමේන්තුව පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මත්ද්‍රව්‍ය, කොකේන් ආනයනය, ගිනිඅවි සහ එක්සත් ජනපදයට එරෙහිව තුවක්කු සහ විනාශකාරී උපකරණ ළඟ තබා ගැනීම වෙනුවෙන් නිකොලොස්ට චෝදනා එල්ල වී ඇතැයි සඳහන්.
ඇතැම් පාර්ශ්ව මේ සම්බන්ධව පෙන්වා දෙනුයේ නඩු විභාගය අවසන්වීමෙන් අනතුරුව ඔහුගේ ඉරණම අමෙරිකානු බන්ධනාගාරයකින් අවසන් වනු ඇති බවයි.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝග මත වෙනිසියුලාවේ කරාකස් අගනුවර පිහිටි යුද හමුදා කඳවුරු වෙත පහරදීම සම්බන්ධව මේ වන විට ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුවුණා.
වෙනිසියුලානු වේලාවෙන් අද (03) අලුයම 1.50ට පමණ මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර ප්‍රහාරය සම්බන්ධව පළමුව වාර්තා වූයේ එරට ස්ථාන කිහිපයක පිපිරීම් කිහිපයක් සිදුව ඇති බවය. කෙසේ නමුත් මෙය ප්‍රහාරයක් බවත් ඒ සඳහා අමෙරිකානු ජනාධිපතිවරයාගේ නියෝග ලැබුණු බවත් පසුව වාර්තා වුණා.
ප්‍රහාරයෙන් නගරයේ ප්‍රදේශ කිහිපයකට විදුලිය විසන්ධි වී ඇති අතර ඇතැම් වීඩියෝ දර්ශනවල සටහන්ව ඇත්තේ අමෙරිකානු ගුවන්යානා විසින් වෙනිසියුලාවේ ස්ථාන කිහිපයක් ඉලක්ක කර ප්‍රහාර දියත් කරන බවයි.
ප්‍රහාරයත් සමග වහාම ක්‍රියාත්මක වන පරිදි එරට ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීමට වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ විසින් පියවර ගනු ලැබුවා.
කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය පසුව වාර්තා කර තිබුණේ ප්‍රහාරයෙන් පසුව වෙනිසියුලානු ජනාධිපතිවරයා අමෙරිකානු අත්අඩංගුවට පත්වූ බවයි.
විදෙස් මාධ්‍ය මේ සම්බන්ධව වැඩිදුරටත් වාර්තා කර තිබුණේ අමෙරිකානු හමුදාවේ ඩෙල්ටා බළකාය විසින් මදුරෝ අල්ලා ගත් බවයි.
පසුව මෙම පුවත සනාථ කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් පැවසුවේ වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකානු හමුදා භාරයට ගෙන එරටින් පිටුවහල් කර ඇති බවයි.