අධ්‍යාපනයට මූලිකත්වය ලබා දෙමින්, දරුවන්ට සමානාත්මතාවයෙන් යුත් අධ්‍යාපනයක් ලබා දීමට උත්සාහ කරන රාජ්‍යයන් දෙකක් ලෙස චීනය සහ ශ්‍රී ලංකාව හඳුන්වා දිය හැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසනවා.
ඇය මේ බව කියා සිටියේ චීනය විසින් පාසල් නිල ඇඳුම් සඳහා රෙදි නොමිලේ ලබාදීමේ වැඩසටහනට අද එක්වෙමින්.
එසේම, නොකඩවා වසර කිහිපයක් පුරා පාසල් නිල ඇඳුම් සඳහා රෙදි ලබා දීමට චීනය ලබා දී ඇති පොරොන්දුව ඉටු කිරීම, ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින අන්‍යෝන්‍ය ගරුත්වය සහ විශ්වාසය පැහැදිලිවම ඉස්මතු කරන කාරණාවක් බවත් මෙරට මුහුණ දෙන සෑම අසීරු අවස්ථාවකදීම චීන රජය ශ්‍රී ලංකාවට ධෛර්ය ලබා දෙන බවත් සඳහන් කළ අගමැතිවරිය සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් මෙම පාසල් නිල ඇඳුම් රෙදි තොගය පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් චීන රජයට ස්තූතිය පළ කළා.
මෙහිදී මහජන චීන සමූහාණ්ඩුව විසින් පූර්ණ ප්‍රදානයක් ලෙස රෙදි මීටර් මිලියන 11.484ක් මෙරටට ලබා දී ඇති අතර මෙම නිල ඇඳුම් රෙදි නැව් වාර 5 කින් දිවයිනට ලැබීමට නියමිතයි.
මේ වනවිට නැව් වාර 03ක් කොළඹ වරාය වෙත ළඟා වී ඇති අතර, එම පාසල් නිල ඇඳුම් රෙදි නිල වශයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියට ප්‍රදානය කිරීම මෙරට මහජන චීන සමූහාණ්ඩුවේ චීන තානාපති චී ජෙන්හොං (HE Qi Zhcnhong) මැතිතුමා විසින් සිදු කරන ලැබුවා.
මෙවර පාසල් නිල ඇඳුම් රෙදි ලබා ගැනීම සඳහා 4,418,404ක පමණ සිසුන් ප්‍රමාණයක් හිමිකම් ලබන අතර එළැඹෙන 19 දින සිට කොට්ඨාස අධ්‍යාපන කාර්යාල වෙත එම රෙදි තොග බෙදා හැරීමට කටයුතු කෙරෙනු ඇති.
2026 වර්ෂයට අදාළව පාසල් සිසුන්ට නිල ඇඳුම් ලබා දීම රජයේ හා රජයේ ආධාර ලබන පාසල්වල සිසු දරු දැරියන්ට සහ දිවයින පුරා පිහිටි රජයේ අනුමත පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සහ ගිහි සිසුන්ට නොමිලේ පාසල් නිල ඇඳුම් ලබාදීම ජනවාරි මාසයේදීම ආරම්භ කරන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.