ශ්‍රී ලංකාවට නීපා වෛරසය පැතිරීමේ අවදානම ඉතා අවම මට්ටමක පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසනවා.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ වාර්තාවලට අනුව ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයෙන්, මෑත කාලයේදී නිපා වෛරස රෝගීන් කිහිප දෙනෙකු හඳුනාගෙන ඇති බවයි.
මෙම සිදුවීම් සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් අන්තර්ජාතික සංචරණ සීමා පැනවීම නිර්දේශ කර නොමැති බව එම නිවේදනයෙන් සඳහන් කර තිබෙනවා.
නිපා වෛරස රෝගය යනු ප්‍රධාන වශයෙන් සත්ත්වයන් අතර, විශේෂයෙන්ම පලතුරු වවුලන් අතර දක්නට ලැබෙන ආසාදන රෝගයක්යන බවත්, ආසාදිත සත්ත්වයන් හෝ ආසාදිත ද්‍රව්‍ය සමඟ සමීප සම්බන්ධතාවයක් ඇති වීමෙන් මෙම රෝගය ඉතා කලාතුරකින් මිනිසුන්ට බෝ විය හැකි බවත්, මිනිසුන් අතර ආසාදනය වීම සිදුවිය හැක්කේ සමීප හා දිගුකාලීන සම්බන්ධතාවය හරහා බවත් එම නිවේදනයේ සඳහන්.
එමෙන්ම මෙම වෛරසය ඉන්ෆ්ලුවෙන්සාව වැනි වාතයෙන් පැතිරෙන වෛරසයක් නොවන අතර, සාමාන්‍ය හෝ අහඹු සම්බන්ධතා මගින් පහසුවෙන් නොපැතිරෙන බවද එහි වැඩිදුරටත් කරුණු අනාවරණය කර තිබෙනවා.
කඩිනමින් රෝගීන් හඳුනාගැනීමට අවශ්‍ය ශක්තිමත් රෝග ආවේක්ෂණ පද්ධතියක් මෙන්ම, රෝගියකු හඳුනාගතහොත් වහාම ප්‍රතිචාර දැක්වීම හැකියාවද සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව පවතින බවත්, ඒ සදහා වෛද්‍ය පර්යේෂණ ආයතනය (MRI) සතු, රෝග නිර්ණය කිරීම සඳහා අවශ්‍ය රසායනාගාර පහසුකම්ද ඇතුළත් වන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා එම නිවේදනය තුළින් තවදුරටත් පවසනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශය, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ අනෙකුත් අදාළ අන්තර්ජාතික ආයතන සමග සමීප සහයෝගීතාවයෙන් කටයුතු කරමින් කලාපීය රෝග තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින බවත්, නිවැරදි තොරතුරු සඳහා නිල නිවේදන සහ විශ්වාසනීය මූලාශ්‍ර මත පමණක් විශ්වාසය තැබීමට ජනතාවට උපදෙස් දෙනු ලබන බවත්, කිසියම් සැකසහිත රෝගී තත්ත්වයක් හඳුනාගතහොත්, වේගවත් හා කාර්යක්ෂම ප්‍රතිචාරයක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සම්පූර්ණයෙන් සූදානම්ව සිටින බවත් එම නිවේදනයේ සඳහන්.