දිට්වා සුළි කුණාටුව හේතුවෙන් විනාශයට පත් යටතල පහසුකම් ගොඩනැගීම සඳහා ආධාර ලබාදීමේ ඉන්දීය රජයේ සහයෝගීතා වැඩසටහන යටතේ බේලි පාලම් 10ක කොටස් රැගෙන ඉන්දීය නාවික හමුදාවේ නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබේ.
ශ්‍රී ලංකාවේ ඉන්දීය වැඩ බලන මහකොමසාරිස් ආචාර්ය සත්‍යාංජලී පාණ්ඩේ මහතා විසින් එම බේලි පාලම් උපාංග සහ පාලම් දහය වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතාට කොළඹ වරාය බණ්ඩාරනායක ජැටියේදී නිල වශයෙන් භාර දෙනු ලැබුණි.
ඉන්දීය රජය විසින් ලබා දෙන මානුෂීය ආධාර වෙනුවෙන් ස්තූතිය පුදකළ නියෝජ්‍ය අමාත්‍යවරයා පාලම් සවිකිරීම සඳහා පැමිණ සිටින ඉන්දීය යුධ හමුදාවේ ඉංජිනේරු බලකායේ නිලධාරීන් ද මුණගැසිණි.
මෙම අවස්ථාවට මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ටී.පාස්කරන්, අධ්‍යක්‍ෂ ජනරාල් කේ.ඩබ්.කණ්ඩම්බි යන මහත්වරුන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජේෂ්ඨ නිලධාරීන් ද සම්බන්ධ විය.