ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ පැවැත්වෙන පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා.
තරගාවලිය ආරම්භ කරමින් අද තරග 3ක් පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.
ඒ අනුව පළමු තරගය පාකිස්තානය හා නෙදර්ලන්තය අතර කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, දිවා තරගයක් වන එය පෙරවරු 11ටයි ආරම්භවීමට නියමිතව ඇත්තේ.
අනෙක් තරග දෙක ඉන්දියාවේ - කොල්කටා නුවර පැවැත්වෙන අතර, එහිදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ස්කොට්ලන්තය තරග වදිනවා.
ඊට අමතරව සත්කාරක ඉන්දියාව අමෙරිකාවට එරෙහිව මුම්බායේදී අද තරග වැදීමට නියමිතයි.
ශ්‍රී ලංකාව මුහුණදෙන පළමු තරගය අයර්ලන්තයට එරෙහිව ක්‍රීඩාකරන අතර, එම තරගය හෙට ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇති.
පන්දුවාර විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ ලෝක කුසලානයක් පැවැත්වෙන 10වන අවස්ථාව මෙයයි.
මෙවර තරගාවලියේ වැඩි තරග සංඛ්‍යාවක් ඉන්දියාවේ පැවැත්වෙන අතර, එම තරග චෙන්නායි, කොල්කටා, දිල්ලි, අහමදාබාද් හා මුම්බායි නගරවල පැවැත්වෙනවා.
ශ්‍රී ලංකාවේ තරග කොළඹ හා පල්ලෙකැලේ ක්‍රීඩාංගණ 3කදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
අවසන් මහා තරගය ඇතුළුව සමස්ත තරගාවලිය තරග 55කින් සමන්විත අතර, ඉන් තරග 20ක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.
කෙසේ වෙතත්, අවසන් පූර්ව වටයට හා අවසන් මහා තරගයට පාකිස්තානය සුදුසුකම් ලබාගතහොත් එම තරග සංඛ්‍යාව 22ක් දක්වා ඉහළ යනු ඇති.
කණ්ඩායම් 20ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලියේ 'B' කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව තරගවදින අතර, එම කාණ්ඩයට ඔස්ට්‍රේලියාව, අයර්ලන්තය, ඕමානය සහ සිම්බාබ්වේ ඇතුළත්.