පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අටදෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.
ඒ, මහනුවර - පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැති පළමු වටයේ 30 වැනි තරගයේදී කඩුලු 8 කින් ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කරමින්.
ශ්‍රී ලංකාව එම ජයග්‍රහණයත් සමඟ ප්‍රසාද ලකුණු 6 ක් හිමිකරගනිමින් තරගයක් ඉතිරිව තිබියදී ‘සුපිරි අටදෙනාගේ’ වටයට සුදුසුකම් ලැබුවා.
අද පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළ සියලුදෙනා දැවී ලකුණු 181ක් ලබාගත්තා.
එහිදී මිචෙල් මාෂ් සහ ට්‍රැවිස් හෙඩ් අර්ධශතක රැස්කළා.
ජයග්‍රාහී ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා පිතිකරුවෝ ලකුණු 182 ක ඉලක්කය පන්දුවාර 18 කදී කඩුලු 2 ක් පමණක් දැවී සපුරාගනු ලැබුවා.
පැතුම් නිස්සංක විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 52 කදී හතරේ පහර 10 ක් සහ හයේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 100 ක් ලබාගත්තා.