/
/
title icon
ඊශ්‍රායලයෙන් සහ අමෙරිකාවෙන් ඉරානයට දැවැන්ත ප්‍රහාරයක්
ඊශ්‍රායලයෙන් සහ අමෙරිකාවෙන් ඉරානයට දැවැන්ත ප්‍රහාරයක්
News Editor
1 hour ago
Share:
ඊශ්‍රායලයෙන් සහ අමෙරිකාවෙන් ඉරානයට දැවැන්ත ප්‍රහාරයක්

මැදපෙරදිග කලාපයේ නොසන්සුන්තාවය තවත් උත්සන්න කරමින් අමෙරිකා එක්සත් ජනපදයේද සහයෝගය ඇතිව ඉරානයට එරෙහිව ප්‍රහාරයක් දියත් කර ඇති බව ඊශ්‍රායල බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා. 

ඒ අනුව ඉරානයේ ටෙහෙරාන් අගනුවර පිපිරීම් 3ක් සිදුවී ඇති බවට ඉරාන මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මිසයිල ප්‍රහාර කිහිපයක් මෙලෙස එල්ලවී ඇති අතර ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනිගේ කාර්යාලය අසල ප්‍රදේශයටද මින් එක් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. 

කෙසේ වෙතත්, කමේනි ආරක්ෂිත ස්ථානයකට පිටත්කර හැර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා‍. 

ඉරාන වේලාවෙන් සෙනසුරාදා අලුයම මෙම ප්‍රහාර මාලාව එල්ල වී තිබෙනවා. 

එනම් එරට සතියේ වැඩකරන දින ආරම්භයත් සමග මෙම ප්‍රහාර එල්ලවීමද විශේෂත්වයක්. 

සිය හමුදා විසින් ඉරානයට එරෙහිව ප්‍රහාරයක් එල්ලකළ බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කාට්ස් විසින්ද තහවුරු කර තිබෙනවා. 

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ ඊශ්‍රායලය පුරා විශේෂ සහ හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත්කර ඇති බවයි.

ප්‍රතිප්‍රහාර එල්ලවීමේ අවධානම හේතුවෙන් ඊශ්‍රායල වේලාවෙන් අද පෙරවරු 8ට පමණ එරට පුරා අනතුරු ඇඟවීමේ සයිරන් නලාද නාද වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළා. 

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාර සඳහා අමෙරිකාවද සම්බන්ධවූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසවනවා. 

සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ඉරානයට එරෙහිව දැවැන්ත මෙහෙයුමක් දියත් කර ඇති බවයි.

මේ අතර, ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට එල්ලකළ මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානය ඊශ්‍රායලයටද මිසයිල ප්‍රහාරයක් දියත් කර ඇති බව ඊශ්‍රායල ආරක්ෂක බළකාය අද තහවුරු කළා. 

උතුරු ඊශ්‍රායලයේ පිපිරීම් හඬ කිහිපයක් ඇසී ඇති බවත් විදෙස් වාර්තා පැවසුවා. 

ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන්ද තහවුරු කර ඇත්තේ අදාළ  මිසයිල ප්‍රහාර ඉරානයේ සිට පැමිණි බව හඳුනාගත් බවයි. 

කෙසේ නමුත් එම ප්‍රහාරයන් වැළැක්වීමට කටයුතු කළ බවත් ඔවුන් පවසා තිබෙනවා. 

එමෙන්ම එරට වැසියන්ට ඊශ්‍රායල ආරක්ෂක අංශ පූර්වාරක්ෂක නියෝගය අනුව කටයුතු කරන ලෙස දැනුම්දී ඇති අතර, වගකීමෙන් යුතුව ක්‍රියා කරන ලෙසටත් මහජනතාවට උපදෙස් දී තිබෙනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required