ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ නැංගුරම්ලා තිබෙන ඉරානයේ 'IRIS Bushehr' නෞකාවේ සිටි කාර්ය මණ්ඩලයෙන් 204 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ආරක්ෂිතව කොළඹ වරායට රැගෙන ආ බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පැවසුවේ අදාළ නෞකාවද ත්‍රිකුණාමලය වරාය වෙත ගෙන ඒමට කටයුතු කරන බවයි.
මෙම නෞකාවේ 208 දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් සිටින බවත්, ඔවුන්ව වැලිසර නාවික හමුදා කඳවුරවෙත රැගෙන යන බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.
ඒ අනුව ඔවුන්ගේ ලියාපදිංචිය, වෛද්‍ය පරීක්ෂණ හා ආහාර වැලිසර නාවික හමුදා කඳවුර වෙතින් සිදුකරනු ඇති.
'IRIS Bushehr'නෞකා කාර්ය මණ්ඩලයෙන් 53ක් නිලධාරීන් වන අතර, 54ක් කැඩෙට් නිලධාරීන් වනවා.
එමෙන්ම තවත් 48 දෙනෙකුගෙන් යුත් ජ්‍යෙෂ්ඨ නාවිකයන් සහ 23 දෙනෙකුගෙන් යුත් නාවිකයන් පිරිසක්ද සිටින බවත් සඳහන්.