වාද්දුව සහ පින්වත්ත දුම්රිය ස්ථානයන් අතර පිහිටි දුම්රිය පාලම මතදී විදෙස් සංචාරකයින් දෙදෙනෙක් සහ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු අනතුරට ලක්වීමෙන් විදෙස් ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, එංගලන්ත ජාතික වයස අවුරුදු 70ක පමණ පුද්ගලයෙකු බව පින්වත්ත පොලීසිය පැවසුවා.
සංචාරකයින් දෙදෙනා සමග මෙරට පුද්ගලයින් දෙදෙනෙකු සහ කුඩා දරුවෙකු එම ප්‍රදේශය ආසන්නයේ වෙරළ තීරයට ගොස් එම පාලම මතට ගොස් සිරි නරඹමින් සිට තිබෙනවා.
ඔවුන් සිතා ඇත්තේ එම පාලම භාවිත නොකරන පාලමක් බවටයි.
කෙසේ වෙතත්, එම අවස්ථාවේදී බෙලිඅත්ත සිට නුවර දක්වා ධාවනය වන ශීඝ්‍රග්‍රාමී දුම්රිය එම මාර්ගයෙන් ගමන් කිරීමේදී කලබලයට පත් මෙම පිරිස දුම්රිය මාර්ගයෙන් ඉවත්වීමට යෑමේදී මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.
එහිදී විදෙස් ජාතිකයා දුම්රියේ ගැටී පින්වත්ත ඇළට වැටී ඇති අතර, එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුණා.
අනෙක් පිරිස දුම්රිය පාලමෙන් පින්වත්ත ඇළට පැන ජීවිතය බේරාගෙන තිබෙනවා.
එහෙත් ඒ අතරින් විදෙස් ජාතික කාන්තාව සහ තවත් කුඩා දරුවෙකු, පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වනවා.