මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ මුහුණදීමට සිදුවන ඕනෑම අභියෝගයකදී ශ්‍රී ලංකාවට සහාය වීමට රුසියාව සූදානම් බව රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය Roman Marshavin මහතා පවසනවා.
මෙරට සංචාරයක නිරත රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී මේ බව සඳහන් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
උද්ගතව ඇති ගෝලීය අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුව ඇති අභියෝග පිළිබඳ මනා අවබෝධයක් රුසියාවට පවතින බව මෙහිදී සඳහන් කළ රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී බලශක්ති ක්ෂේත්‍රය තුළ පමණක් නොව තාක්ෂණික, යන්ත්‍රෝපකරණ ආදී ඕනෑම ආකාරයකින් ශ්‍රී ලංකාවට සහාය වීමට සූදානම් බවද පැවසුවා.
එමෙන්ම, ශ්‍රී ලංකාවේදී හිමි වූ උණුසුම් පිළිගැනීම මෙහිදී කෘතවේදීව අගය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකාව සහ රුසියාව අතර පවතින දීගුකාලීන සබඳතා මෙම සංචාරයේදී තවදුරටත් තහවුරු වනු ඇති බවටද විශ්වාසය පළ කළා.
ශ්‍රී ලංකාව සහ රුසියාව අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය මෙහිදී සිහිපත් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතීතයේදී සෝවියට් රුසියාව ශ්‍රී ලංකාවට ලබා දුන් තාක්ෂණික සහ කාර්මික සහාය එවකට ශ්‍රී ලංකාවේ ආර්ථික, සමාජ සංවර්ධනයට මනා පිටුබලයක් වූ බව කියා සිටියා.
මෑතකාලයේදීද, ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් පැමිණෙන රටවල් අතර රුසියාව ඉදිරියෙන් සිටින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ශ්‍රී ලාංකික සිසුන් විශාල පිරිසකට අධ්‍යාපන අවස්ථා උදා කර දෙමින් ලබාදෙන සහායත්, දෙරට අතර පවතින සමාජ සංස්කෘතික සබඳතාව මෙන්ම අන්තර්ජාතික කටයුතුවලදී ශ්‍රී ලංකාවට රුසියාවට ලබා දෙන සහායත් කෘතවේදීව සිහිපත් කළා.