/
/
title icon
මිලියන 75ක් රජයට වන්දි ගෙවන්නැයි කෙහෙලියට නියෝග
මිලියන 75ක් රජයට වන්දි ගෙවන්නැයි කෙහෙලියට නියෝග
News Editor
1 hour ago
Share:
මිලියන 75ක් රජයට වන්දි ගෙවන්නැයි කෙහෙලියට නියෝග

2022 වසරේදී ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි නොකළ සමාගමකින් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් පරිබාහිරව වෛද්‍ය සැපයුම් මිලදී ගැනීම තුළ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වගඋත්තරකරුවන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා. 

ඒ අනුව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට රුපියල් කෝටි හත හමාරක් සහ සෙසු වගඋත්තරකරුවන් සිව්දෙනා රුපියල් කෝටි 5 බැගින් රජයට වන්දි ගෙවන ලෙසයි අධිකරණය නියෝග කරනු ලැබුවා. 

කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ 2022 වර්ෂයේදී ආර්ථික අර්බුදයට මුවාවී ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි නොකළ සමාගමකින් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් පරිබාහිරව වෛද්‍ය සැපයුම් මිලදී ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණා. 

"හියුමන් ඉමියුනෝග්ලොබියුලින්" සහ "රිටොක්සිමැබ්" යන ප්‍රමිතියෙන් තොර එන්නත් සිද්ධි පිළිබඳ ඇරඹි විමර්ශන ද එහි එක් අවස්ථාවක්.

අදාළ ප්‍රමිතියෙන් තොර එන්නත් සම්බන්ධයෙන් මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නීති කෘත්‍යයක් ආරම්භ කෙරුණු අතර ඊට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර පසුව ඇප මත මුදාහැරුණා. 

අනතුරුව මෙම සිදුවීමට අදාළව රජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444ක් සාපරාධී සාවද්‍ය පරිහරණය ඇතුළු චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු විත්තිකරුවන් 12 දෙනාට එරෙහිව අධිචෝදනා ගොනුකරනු ලැබුවා.

ඒ අනුව එම නඩුව මේ වනවිට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ දිනපතා විභාග වෙමින් පවතිනවා. 

ඒ අතර ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි නොකළ සමාගමකින් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව වෛද්‍ය සැපයුම් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව, ඒ හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළේ යැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වගඋත්තරකරුවන් පිරිසකට එරෙහිව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය ඇතුළු පාර්ශ්ව දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර තිබුණා. 

ඒ අනුව එම පෙත්සම් සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කුමුදුනි වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා එහි තීන්දුව අද (27) ප්‍රකාශයට පත් කළා.

අගවිනිසුරුවරයා සඳහන් කළේ "සේවොරිට් ෆාමසූටිකල් ප්‍රයිවට් ලිමිටඩ්" නමැති සමාගමකින් වෛද්‍ය සැපයුම් මිලදී ගැනීම සඳහා 2022 වසරේ සැප්තැම්බර් 26 වනදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ සංදේශය සකස් කර ඇත්තේ වගඋත්තරකාර හිටපු සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත බවයි.

අනතුරුව කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයා ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන ඉන්දිය ණය යෝජනා ක්‍රමය යටතේ වගඋත්තරකාර සමාගමෙන් එම වෛද්‍ය සැපයුම් මිලදී ගැනීමට ක්‍රියාකොට ඇතැයි තීන්දුවේ සඳහන් වුණා. 

එමෙන්ම මෙම වෛද්‍ය සැපයුම් මිලදී ගෙන ඇත්තේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය යටතේ ලියාපදිංචි නොකළ සමාගමකින් බවත් එම අධිකාරියේ වගඋත්තරකාර නිලධාරින් දැන දැනම ප්‍රසම්පාදන මාර්ගෝපදේශ හා ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය කර මෙම වෛද්‍ය සැපයුම් මිලදී ගැනීම සඳහා අනුමැතිය ලබාදී තිබෙන බවත් නඩු තීන්දුව තුළ සඳහන්ය.

ජනතා සුබසාධනය සඳහා වෙන්කර තිබෙන රාජ්‍ය අරමුදල් මෙමගින් ඔවුන් අවභාවිත කරමින් එම මුදල් ජනතාවට අහිමි කොට ඇති බවයි අගවිනිසුරුවරයා කියා සිටියේය.

මහජනතාවට සේවය කිරීමට වගඋත්තරකරුවන් බැඳී සිටින අතර එම බැඳීම්වල වගකීම ඔවුන් තේරුම් නොගන්නේ නම්  එය මතක්කර දීමට අධිකරණය බැඳී සිටින බවත් තීන්දුවේ සඳහන්වේ.

එබැවින් කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වගඋත්තරකරුවන් මෙරට උත්තරීතර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන "නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට ඇති සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම"උල්ලංඝනය කර ඇති බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සිය අවසන් තීන්දුව තුළින් ප්‍රකාශ කළහ.

ඒ අනුව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සිය පෞද්ගලික මුදලින් රුපියල් මිලියන 75ක මුදලක් රජයට ගෙවිය යුතු බවයි විනිසුරු මඩුල්ල නඩු නියෝග කර සිටියහ. 

ඊට අමතරව එවක සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති මහාචාර්ය එස්.ඩී. ජයරත්න රුපියල් මිලියන 50 බැගින් වූ මුදලක් වන්දි වශයෙන් රජයට ගෙවිය යුතු බව නියෝගයේ සඳහන් විය. 

එසේම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර සහ වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශන ද රුපියල් මිලියන 50 බැගින් රජයට වන්දි ගෙවිය යුතු බව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර සිටියහ.

මේ අතර මෙම ප්‍රශ්නගත වෛද්‍ය සැපයුම් මිලදී ගැනීමේ ක්‍රියාවලිය තුළින් අල්ලස් පනත යටතේ කිසියම් ප්‍රතිපාදනයක් උල්ලංඝනය වී ඇත්නම් ඊට අදාළව අවශ්‍ය විමර්ශන මෙහෙයවීමට කරුණු සලකා බලන ලෙස විනිසුරු මඩුල්ල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නියෝග කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required