රට තුළ පවතින වියළි සහ නියං කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි සති දෙක තුන තුළදී දිනකට පැය කිහිපයකට ජල සැපයුම සීමා කිරීමට සිදුවනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති, ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, මේ වනවිට එවැනි ජල කප්පාදුවක් මණ්ඩලය සිදුනොකළද පවතින කාලගුණික තත්ත්වය මත ඉදිරියේදී දිනය පුරා ජල සැපයුම ලබාදීම අසීරු වන බවයි.
මේ වනවිට අඹතලේ ඇතුළු ජල පවිත්‍රාගාරවල නිෂ්පාදන ධාරිතාවයට බලපෑම් එල්ල නොවූණද උස්බිම් සඳහා ජලය ලබාදීම අඩුපීඩන තත්ත්වයකට පැමිණ ඇති බවද ඒ මහතා පැවසුවා.
වැසි තත්ත්වය ඉදිරියේදී බලාපොරොත්තු වන බවත්, පවතින ජල ධාරිතාවය අරපිරිමැස්මෙන් යුතුව පරිහරණය කරන ලෙසත් චන්දන බණ්ඩාර මහතා ජනතාවට දැනුම් දෙනවා.