යෝජිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනය විකෘතියක් බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ ගාස්තු පාලනය කිරීම රජය විසින් හිතාමතාම පැහැර හැරි බවයි.
රට තුළ කෙටිදුර සේවා බස් රථ 10,000කට අධික ප්‍රමාණයක් ධාවනය වන බවත් දුර සේවා බස් රථ 3,000ක් පමණ පවතින බවත් ඔහු අනාවරණ කළා.
කෙසේ වෙතත්, මෙම සේවා දෙකටම ගාස්තු වර්ග දෙකක් ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් ජනතාව දැඩි පීඩාවකට පත්වනු ඇති බව ගැමුණු විජේරත්න මහතා පෙන්වා දෙනවා.
එමෙන්ම ඉදිරියේදී ඉන්ධන මිල තවදුරටත් අඩු වන්නේ නම් කෙටිදුර සේවා සඳහා ලබාදී ඇති සියයට 12ක ගාස්තු සංශෝධනයට කුමක් වනු ඇද්දැයි යන ගැටලුව මතු වන බව සභාපතිවරයා ප්‍රශ්න කර සිටිනවා.
ඒ අනුව ඩීසල් මිල අඩු වූවත් ඉදිරියේදී කෙටිදුර සේවා ගාස්තු අඩු කිරීමට නොහැකි වන බව ද ඔහු අවධාරණය කළා.
වාර්ෂික බස් ගාස්තු සංශෝධනයේදී දුරසේවා සඳහා සියයට 20ක ගාස්තු වැඩිවීමක් ලබාදීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව කටයුතු කර තිබෙනවා.
යෝජිත බස් ගාස්තු සංශෝධනය අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.