යල කන්නයේ ගොයම් කැපීම මේ වන විට ආරම්භ වී ඇති බැවින් වී මිලදී ගැනීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ඒ සඳහා දැනට වී තොග පවතින ගබඩාවල වී තොග හිස් කර, නව වී මිලට ගැනීමට සූදානම් කිරීමේ කටයුතු සතොස සමග එක්ව සිදු කරන ලෙසට උපදෙස් ලබාදී ඇති බවයි.
යල කන්නයේ වී මිලදී ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී ජනාධිපති ලේකම්වරයා විසින් මෙම උපදෙස් ලබාදී තිබෙනවා.
මෙවර යල කන්නයේදී හෙක්ටයාර් 475,000ක් පමණ කුඹුරු ඉඩම් වගා කර ඇති බවද, කිසිදු කාලගුණික විපර්යාසයක් මෙවර වි වගාවට හානිකර ලෙස බලපා නැති බවද ඒ නිසා සාර්ථක වී අස්වැන්නක් ලැබී ඇති බවද මෙහිදි සඳහන් කෙරුණා.
2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා බිලියන 6ක් භාණ්ඩාගාරයෙන් ලබා දී ඇති බවද, ඊට අමතරව ඔඩපන ණය ලෙස කුඩා සහ මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් වෙත තවත් බිලියන 10ක් රජයේ බැංකු මගින් වෙන් කර ඇති බවද මෙහිදි අනාවරණය වුණා.
ඒ අනුව වී අලෙවි මණ්ඩලය ලබන 15වනදා සිට වී මිලදී ගැනීම ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවත්, ඒ සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහාය ඇතිව අවශ්‍ය කටයුතු කෙරෙමින් පවතින බවත් එම අවස්ථාවට සහභාගී වූ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ප්‍රකාශ කළා.