මාලඹේ, තලාහේන ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ දී හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා වෙඩි වැදීමකින් තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලිසිය පවසනවා.
ඔහු සියදිවි නසාගෙන ඇති බවට පොලිසිය සැක පළ කරනවා.
වෙඩිවැදීමෙන් අනතුරුව ඔහු අද (17) උදෑසන මුල්ලේරියාව රෝහලට රැගෙන ගොස් ඇති අතර, ඒ වනවිට ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.
වසර 30කට අධික කාලයක් පොලිස් සේවයේ කටයුතු කර තිබූ සී.ඩී. වික්‍රමරත්න මහතා මෙරට 35වැනි පොලිස්පතිවරයායී.
පොලිස්පති ධුරයට පත්වීමට පෙර වික්‍රමරත්න මහතා දකුණු පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සේවය කළා.
පාස්කු බෝම්බ ප්‍රහාර සිද්ධියෙන් පසු එවක පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අනිවාර්ය නිවාඩු යැවීමෙන් පසු වික්‍රමරත්න මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කරනු ලැබුවා.
ඉන් අනතුරුව 2020 නොවැම්බර් 25 වන දින එම තනතුරේ ස්ථිර කරන ලද අතර, 2023 නොවැම්බර් 25 වන දින විශ්‍රාම යන තෙක් පොලිස්පතිවරයා ලෙස සේවය කළා.
මේ අතර, හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාගේ මරණය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය සහ මාළඹේ පොලිසිය මගින් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ සී.ඩී වික්‍රමරත්න මහතාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නැගෙනහිර කොළඹ ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති බවයි.