විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ අදූරදර්ශී යෝජනාවට නීති ක්ෂේත්‍රයේ සියලුදෙනා විරුද්ධ බව නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පවසනවා.
අද (29) උදෑසන 11ට පමණ පැවති එම සංගමයේ විශේෂ මහා සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, නීතිඥවරු සියලුදෙනාම අත් ඔසවමින් මෙයට විරෝධය දැක්වූ බවයි.
ආණ්ඩුව විසින් ගෙන එනු ලැබූ මෙම යෝජනාවට විනිසුරුවරුන් පවා විරෝධය දක්වන බව සඳහන් කර සිටි රජීව් අමරසූරිය මහතා අද දින පැමිණි සහ සූම් තාක්ෂණය ඔස්සේ එක්වූ සියලු නීතිඥයින් මෙම යෝජනාවට විරුද්ධ බව ප්‍රකාශ කළ බවද සඳහන් කළා.
ආණ්ඩුව ගෙන ඇත්තේ, බුද්ධිමත් නොවන තීරණයක් බවද සඳහන් කර සිටි නීතිඥ රජීව් අමරසූරිය මහතා මෙය අධිකරණයේ ස්වාධීනත්වයට දැඩි පහරක් බවද පැවසුවා.
ඒ වෙනුවෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ඉදිරියේ දී ගන්නා බවත්, මහා සභාවේ එකඟත්වය හිමිවීම තුළ මේ වෙනුවෙන් ගත හැකි සියලු ක්‍රියාමර්ග තිබුණාට වඩා හොඳින් ගන්නා බවත් රජීව් අමරසූරිය මහතා කියා සිටියා.
මාස දෙකක කාලයක් පුරා ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙම යෝජනාවට විරෝධය පළකළද ආණ්ඩුව මේ පිළිබඳ සාකච්ඡා කිරීමට තවමත් අවස්ථාවක් නොදුන් බවද සඳහන් කර සිටි එම සංගමයේ සභාපති, නීතිඥ රජීව් අමරසූරිය මහතා අද (29) සවස 5ට අධිකරණ අමාත්‍යවරයා හමුවීමට නියමිත බවද පැවසුවා.