දිවයිනේ ප්‍රදේශ කිහිපයක මේ දිනවල පවතින උෂ්ණාධික සහ වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන්, පවතින ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ එල්.එස්. සූරියබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ, මේ වන විට දිස්ත්‍රික්ක කිහිපයකම සැලකිය යුතු ජල හිඟතාවයක් පවතින බවයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතු ප්‍රධාන ජලාශ 73හි සමස්ත ධාරිතාවයෙන් දැනට ඉතිරිව පවතින්නේ සියයට 40ක පමණ ප්‍රමාණයක් බවද ඒ මහතා සඳහන් කළා.
එළඹෙන අගෝස්තු මාසය සහ දැනට පවතින 'එල්නිනෝ' තත්ත්වය හේතුවෙන් ඇති වන අධික උෂ්ණත්වය නිසා ජලාශවල ජලය වාෂ්ප වී සැලකිය යුතු ප්‍රමාණයක් අහිමි වන බව පෙන්වා දුන් අධ්‍යක්ෂවරයා, නැවත වර්ෂාපතනයක් ලැබෙන තෙක් ජලාශවල ඇති ජලය ඉතා ප්‍රවේශමෙන් පරිහරණය කළ යුතු බව අවධාරණය කළා.
එබැවින්, ජලය අපතේ යා නොදී ප්‍රයෝජනයට ගැනීම සඳහා ජනතාවගේ සහය අපේක්ෂා කරන බවත්, ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීම තුළින් පවතින වියළි කාලගුණික තත්ත්වය සාර්ථකව කළමනාකරණය කරගත හැකි වනු ඇති බවත් සූරියබණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියා.