ගත වූ පැය 24කටත් අඩු කාලය තුළ බොරැල්ල නව මැගසින්, කුරුවිට සහ මීගමුව පල්ලන්සේන යන බන්ධනාගාර තුනේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තා.
ඊයේ රාත්‍රියේ බොරැල්ල නව මැගසින් බන්ධනාගාරයෙන් ඇරඹුණු මෙම සිදුවීම් මාලාව පසුව කුරුවිට බන්ධනාගාරය දක්වාත්, අද දිනයේදී මීගමුව පල්ලන්සේන බන්ධනාගාරය දක්වාත් පැතිර ගියා.
තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන්ට අමතරව පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදා සාමාජිකයින්ගේද සහාය ලබාගනු ලැබුවා.
ඇතිවූ නොසන්සුන්තාවලින් මේ වනවිට රැඳවියන් කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පිරිසක් තුවාල ලබා රෝහල්ගත කිරීමටයි පියවර ගැනුණේ.
බොරැල්ල නව මැගසින් බන්ධනාගාරයේ ඊයේ රාත්‍රී 10.20ට පමණ එහි ‘E’ වාට්ටුවේ රඳවා සිටි රැඳවියන් පිරිසක් හදිසියේ වාට්ටුවෙන් පිටතට පැමිණ කලහකාරී ලෙස හැසිරීමත් සමඟ නොසන්සුන්තාව ආරම්භ වුණා.
අනතුරුව බන්ධනාගාර නිලධාරීන්, පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව තත්ත්වය පාලනය කිරීමට මැදිහත් වූ අතර රැඳවියන් යළි සිරකුටි වෙත යොමු කිරීමට පියවර ගත්තා.
බන්ධනාගාර පරිශ්‍රයේ සහ ඒ අවට ආරක්ෂාව තහවුරු කිරීම සඳහා යුද හමුදා සාමාජිකයින් ද යොදවා තිබූ අතර, තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ගුවන් හමුදා ඩ්‍රෝන යානාද යොදා ගැනීමටද පියවර ගැනුණා.
මැගසින් බන්ධනාගාරයේ ඇති වූ මෙම නොසන්සුන්තාවෙන් රැඳවියන් 11 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබූ අතර, ඔවුන් අතරින් එක් රැඳවියෙකු අද ජීවිතක්ෂයට පත්වුණා.
මැගසින් බන්ධනාගාරයේ උණුසුම සම්පූර්ණයෙන් පහව යන්නටත් පෙර ඊයේ රාත්‍රියේම කුරුවිට බන්ධනාගාරයෙන්ද තවත් නොසන්සුන්තාවක් වාර්තා වුණා.
රාත්‍රියේ තත්ත්වය පාලනය කිරීමට බලධාරීන් සමත් වුවද අද උදෑසන යළිත් රැඳවියන් අතර නොසන්සුන්තාව වර්ධනය වී තිබූ බව සඳහන්.
තත්ත්වය වඩාත් උත්සන්න වෙමින් රැඳවියන් විසින් බන්ධනාගාර රෝහලටද අලාභහානි කර ඇති අතර, අනතුරුව තත්ත්වය පාලනය කිරීම සඳහා වෙඩි ප්‍රහාරයක් සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමටද ආරක්ෂක අංශ පියවර ගෙන තිබුණා.
මෙම නොසන්සුන්තාව හේතුවෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වන අතර ඔවුන්ගේ අනන්‍යතාව මේ වනතෙක් නිල වශයෙන් අනාවරණය වී නැහැ.
තවත් රැඳවියන් 13 දෙනෙකු තුවාල ලබා රත්නපුර රෝහලට ඇතුළත් කිරීමටද පියවර ගෙන තිබෙනවා.
මැගසින් සහ කුරුවිට බන්ධනාගාරවල තත්ත්වය යම් දුරකට පාලනය වෙමින් තිබියදී අද දිනයේ මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයෙන්ද තවත් නොසන්සුන්තාවක් වාර්තා වුණා.
එහි රැඳවියන් පිරිසක් බන්ධනාගාර ගොඩනැගිල්ලක වහලය මතට නැග විරෝධතාවක නිරතව සිටින බව වාර්තා වුණා.
මේ වන විට එම තත්ත්වය පාලනය කිරීම සඳහාද ආරක්ෂක අංශ මැදිහත් ව ඇතැයිද සඳහන්.