/
/
title icon
22ට එරෙහිව පළමු දිනයේම පෙත්සම් හයක්
22ට එරෙහිව පළමු දිනයේම පෙත්සම් හයක්
News Editor
8 hours ago
Share:
22ට එරෙහිව පළමු දිනයේම පෙත්සම් හයක්

අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සම් 6ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරුණා.

ඒ, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, සමගි ජන බලවේගය, සර්වජන බලය ඇතුළු පාර්ශ්ව කිහිපයක් මගින්.

22 වැනි සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පළමු පෙත්සම අද ඉදිරිපත් කෙරුණේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය මගින්.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ භාණ්ඩාගාරික ටී.එම්.එස්. පසිඳු සිල්වා සහ එහි අතිරේක ලේකම් එල්.අයි. වාකිෂ්ඨආරච්චි යන මහත්වරුන් විසින් පෙත්සම ඉදිරිපත් කරණු ලැබුවා.

එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම්කර තිබෙනවා.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වැනි ව්‍යවස්ථාව මගින් තහවුරු කර තිබෙන ජනතා පරමාධිපත්‍යයට සෘජුවම බලපෑමක් සිදුකරන බව පෙත්සම මගින් ඔවුන් පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය, මහානායක හිමිවරු, පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය, LAWASIA නීතිඥ සංගමය,, ජාත්‍යන්තර විනිසුරු සංගමය, විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු මාග්‍රට් සැටර්ත්වේට් සහ ප්‍රංශ ජාතික නීතිඥ මණ්ඩලය ඇතුළු බොහෝ දේශීය හා ජාත්‍යන්තර සංවිධාන මෙම පනත් කෙටුම්පතට දැනටමත් විරෝධය පළ කර තිබෙන බවත් පෙත්සමේ සඳහන්.

රජය මඟින් ඉදිරිපත් කර තිබෙන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන ව්‍යවස්ථාව මගින් තහවුරු කර තිබෙන ජනතා පරමාධිපත්‍යය සමග සෘජුවම බලපෑමක් සිදුකරන අතර එහි දෙවැනි වගන්තියට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(5) ව්‍යවස්ථාව සංශෝධනය කලහොත් එම සංශෝධනය මගින් එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය, අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මූලධර්ම, විනිසුරුන්ගේ ජාත්‍යන්තර ප්‍රඥප්තිය, පොදුරාජ්‍ය මණ්ඩලීය ප්‍රඥප්තිය ඇතුළු ජාත්‍යන්තර මූලධර්ම ගණනාවක් උල්ලංඝනය වන බවත් පෙත්සමින් පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව,ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම විනිසුරුවරු අසුන්ගෙන අදාල පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ පරික්ෂා කර තීන්දුවක් ලබාදෙන ලෙසත් ,යෝජිත පනත් කෙටුම්පතේ දෙවැනි සහ තුන්වැනි වගන්ති, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වැනි ව්‍යවස්ථාව සෘජුවම උල්ලංඝනය කරන බැවින් එම වගන්ති සම්මත කිරීමට අවශ්‍යනම් ඒවා ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරුවන් වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required