/
/
title icon
සමකල නොහැකි "නන්දා" ජීවන ගමනට සමුදෙයි
සමකල නොහැකි "නන්දා" ජීවන ගමනට සමුදෙයි
News Editor
1 day ago
Share:
සමකල නොහැකි "නන්දා" ජීවන ගමනට සමුදෙයි

ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් ඉටු කළ, සමකළ නොහැකි ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනී මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඇය 82 හැවිරිදි වියේ පසුවුණා.

නාවල ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී ඇය අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කළා.

1943 අගෝස්තු 23 වැනිදා අලුත්ගම, ලෙවන්දූව ප්‍රදේශයේදී උපත ලැබූ නන්දා මාලනී මහත්මිය කුඩා කල සිටම සිය ගායන හැකියාවන් ප්‍රදර්ශනය කර තිබුණා.

නව යොවුන් වියේදී කොළඹ කොටහේන ප්‍රදේශයට පැමිණි ඇය ශ්‍රී ගුණානන්ද විද්‍යාලයට ඇතුළත් වූ අතර, එහිදී ඇයගේ ගායන කුසලතාව හඳුනාගත් ගුරුවරුන්ගේ මඟපෙන්වීම යටතේ සංගීත ක්ෂේත්‍රයට පිවිසීමට අවස්ථාව හිමිවුණා.

කාව්‍ය තරගයකදී ඇයගේ හැකියාව හඳුනාගත් ගුරුවරියක් විසින් නන්දා මාලනී මහත්මිය කරුණාරත්න අබේසේකර මහතා මෙහෙයවූ එවකට ජනප්‍රිය ගුවන්විදුලි වැඩසටහනක් වූ "ළමා මණ්ඩපය" වෙත හඳුන්වා දී තිබෙනවා.

එහිදී ඇය ගායනා කළ "බුදු සාදු" ගීතය අතිශය ජනප්‍රියත්වයට පත්වීමත් සමඟ ඇයගේ සංගීත දිවියට නව මංපෙතක් විවර වුණා.

1961 වසරේ නිෂ්පාදනය ආරම්භ කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටය ලෙස සැලකෙන "රන්මුතු දූව" චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන් විසින් සිදුකරන ලදී. එම චිත්‍රපටයේ නාරද දිසාසේකර මහතා සමඟ යුග ගීයක් ගායනා කිරීමට නන්දා මාලනී මහත්මියට අවස්ථාව හිමිවුණා.

ඒ අනුව ඇය සිය පළමු චිත්‍රපට ගීතය ලෙස "ගලන ගඟකි ජීවිතේ" ගීතය ගායනා කළ අතර, එය අතිශය ජනප්‍රියත්වයට පත්වුණා.

නන්දා මාලනී මහත්මියගේ සංගීත දිවිය තුළ "පෙරදා මහ රෑ", "පහන් කන්ද", "සත්‍යයේ ගීතය", "පවන ගී එකතුව", "හේමන්තයේදී", "තාරුකා ඇස්", "පාවෙනා", "සින්දු හෝඩිය", "කිඳුරියකගේ විලාපය", "මඳු බඳුන්", "හඳහාමි", "සංඛ පද්ම", "පෙම්බර ලංකා", "ග්‍රැමෆෝන් ගී", "අරලිය ලන්දට", "නිලම්බරේ" සහ "පිරිත් පැන්" ඇතුළු නිර්මාණ රැසක් බිහි වුණා.

ආදර ගීතවලින් ඔබ්බට ගිය ඇය ආගමික ගීත, ළමා ගීත සහ සමාජීය අර්ථයක් සහිත ගීත රැසක්ද මෙරට රසික ජනතාව වෙත දායාද කළා.

"දන්නෝ බුදුන්ගේ" වැනි ගීත හරහා ඇයගේ ගායන හැකියාවට සුවිශේෂී පිළිගැනීමක් හිමිවූ අතර, 1990 වසරේ නිර්මාණය කළ "සින්දු හෝඩිය" ගීත ඇල්බමය කුඩා දරුවන්ට සිංහල හෝඩිය හඳුන්වාදීම අරමුණු කරගත් සුවිශේෂී නිර්මාණයක් වුණා.

දශක ගණනාවක් පුරා ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ කළ මෙහෙවර වෙනුවෙන් නන්දා මාලනී මහත්මිය සම්මාන රැසකින් පිදුම් ලබා තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required