/
/
title icon
සුවහසක් සෝ සුසුම් මැද නන්දා මාලනිය දැයට සමුදෙයි
සුවහසක් සෝ සුසුම් මැද නන්දා මාලනිය දැයට සමුදෙයි
News Editor
2 hours ago
Share:
සුවහසක් සෝ සුසුම් මැද නන්දා මාලනිය දැයට සමුදෙයි

ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පිනී අචාර්ය විශාරද නන්දා මාලනී මහත්මිය අද පස්වරුවේ දැයෙන් සමුගෙන යනු ලැබුවා.

ඒ, ඇගේ දේහය රැගත් රිය පෙරහැර බොරැල්ල කනත්තට රැගෙන ඒමෙන් පසුව ආදාහනය කරනු ලැබීමත් සමගයි.

පසුගිය 20 වැනිදා ඇය නාවල පිහිටි නිවසේදි සිය දිවි ගමනට සමුදුන් අතර මියයන විට ඒ මහත්මිය 82 වියේ පසුවුණා.

1943 අගෝස්තු 23 වැනිදා අලුත්ගම, ලෙවන්දූව ප්‍රදේශයේදී උපත ලැබූ නන්දා මාලනී මහත්මිය කුඩා කල සිටම සිය ගායන හැකියාවන් ප්‍රදර්ශනය කළා.

නව යොවුන් වියේදී කොළඹ කොටහේන ප්‍රදේශයට පැමිණි ඇය ශ්‍රී ගුණානන්ද විද්‍යාලයට ඇතුළත් වූ අතර එහිදී ඇයගේ ගායන කුසලතාව හඳුනාගත් ගුරුවරුන්ගේ මගපෙන්වීම යටතේ සංගීත ක්ෂේත්‍රයට පිවිසීමට අවස්ථාව හිමි වුණා.

1961 වසරේ නිෂ්පාදනය කරන ලද මෙරට පළමු වර්ණ චිත්‍රපටය ලෙස සැලකෙන "රන්මුතු දූව" චිත්‍රපටයේ සංගීත අධ්‍යයක්ෂණය ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් විසින් සිදුකරන ලද අතර එම චිත්‍රපටයේ නාරද දිසාසේකර මහතා සමගින් යුග ගීයක් ගැයීමේ අවස්ථාව නන්දා මාලනී මහත්මියට උදාවුණා.

නන්දා මාලනී මහත්මිය විසින් සිය සංගීත ජීවිතය තුළ ගායන කළ ගී රැසක් මෙරට රසික රසිකාවියන් තුළ ඉමහත් ජනාදරයට පත්වුණා.

ඒ අතරට "පෙරදා මහ රෑ", "පහන් කන්ද", "සත්‍යයේ ගීතය", "පවන ගී එකතුව", "හේමන්තයේදී", "තාරුකා ඇස්", "පාවෙනා", "සින්දු හෝඩිය", "කිඳුරියකගේ විලාපය", "මඳු බඳුන්", "හඳහාමි", "සංඛ පද්ම", "පෙම්බර ලංකා", "ග්‍රැමෆෝන් ගී", "අරලිය ලන්දට", "නිලම්බරේ" සහ "පිරිත් පැන්", "ඔබයි රම්‍ය සඳ කිරණ" නම් ගීත ද ඇතුළත්.

දශක ගණනාවක් පුරාවට මෙරට සංගීත ක්ෂේත්‍රයට මිල කළ නොහැකි අමිල මෙහෙවරක් ඉටු කළ ඒ මහත්මිය සම්මාන රැසකින් ද පිදුම් ලැබුවා.

ඇයගේ අභාවය හේතුවෙන් රජය දින තුනක ශෝක කාලයක්ද ප්‍රකාශයට පත් කරනු ලැබූ අතර ඒ අනුව පසුගිය 21,22 සහ අද (23) දින දක්වා දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කෙරුණා.

ඇයගේ දේහය නාවල පිහිටි නන්දා මාලනී සංගීත ආශ්‍රමය තුළ මහජන ගෞරවය සඳහා තැන්පත් කෙරුණු අතර ඒ සඳහා දේශපාලනඥයින්, කලාකරුවන්, මහජනතාව ඇතුළු නන් දෙසින් බොහෝ පිරිසක් එක් වූ අයුරුද දක්නට ලැබුණා.

ඇයගේ දේහය පිළිබඳව ආගමික වතාවත් අද පෙරවරුවේ සිදු කරනු ලැබූ අතර ඒ සඳහා පවුලේ ඥාතීන් සහ කලාකරුවන් එක්වුණා.

ඉන් අනතුරුව යළිත් වරක් දේහය මහජන ගෞරවය සඳහා විවෘත කෙරුණු අතර පස්වරු 3.30ට පමණ නන්දා මාලනියගේ දේහය රැගත් රිය පෙරහැර බොරැල්ල කනත්ත දක්වා ගමන් ආරම්භ කෙරුණා.

නාවල සිට බොරැල්ල කනත්ත දක්වා දේහය රැගෙන යන අතරතුර මග දෙපස විශාල ජනතාවක් ඇයගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා එක්වුණා.

ඒ අනුව පස්වරු 4.30 පමණ වන විට දේහය බොරැල්ල පොදු සුසාන භූමිය වෙත රැගෙන එනු ලැබුවා.

එහිදී ඇයගේ අන්තිම කැමති පත්‍රය අනුව කිසිදු උත්සව සභාවක් හෝ ගුණ කථන පැවැත්වීමකින් තොරව දේහය ආදාහනය කරනු ලැබූ අතර ඒ අනුව දශක ගණනාවක් පුරාවට මෙරට සංගීත ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් කරමින් නන්දා මාලනී මහත්මිය අද පස්වරුවේ සදහටම දැයෙන් සමුගෙන ගියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required