අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වරදකරු වී වසර හයක සිර දඬුවමක් නියම වී සිටි බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පොදු සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීරණය නීතිය ඉදිරියේ බල රහිත බවට ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) තීන්දු කළා.
ඒ , අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ ඇතුළු පාර්ශ්ව කීපයක් හිටපු ජනාධිපතිවරයා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමෙන් අනතුරුවයි.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන්වීමට අදාළ නඩුකරය 2016 වසරේ ජනවාරි මස 25 වැනිදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී ඥානාසාර හිමියන් අධිකරණයේ අවසර නොගෙන ඇමතීම සහ අධිකරණයට බාධාවන ආකාරයෙන් හැසිරෙමින් අධිකරණයට අපහාසයක් සිදු කළ බවට චෝදනා කරමින් එවක හෝමාගම මහේස්ත්‍රාත්වරයා අභියාචනාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.
එම පැමිණිල්ල විභාග කළ එවක අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් විසින් 2018 වසරේ මැයි මස 24 වැනිදා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට ඥානසාර හිමියන් වරදකරු කරමින් උන්වහන්සේට බරපතළ වැඩ සහිත වසර 19 ක සිර දඬුවම් නියම කළා.
ඒ එම සිර දඬුවම වසර 06 කින් ගෙවී යන අයුරින්.
ඉන් අනතුරුව 2019 වසරේ මැයි මස 23 වනදා උන්වහන්සේ බන්ධනාගාරයෙන් නිදහස් කෙරුණේ එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රදාන කළ සමාවක් මතයි.
ඊට එරෙහිව සන්ධ්‍යා එක්නැලිගොඩ ඇතුළු පාර්ශ්ව කීපයක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමෙන් අනතුරුව සම්පත් අබේකෝන් හා සෝභිත රාජකරණා යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇති , පිටු 58 කින් සමන්විත තීන්දුව ජනක් ද සිල්වා විනිසුරුවරයා විසින් අද ප්‍රකාශයට පත්කරනු ලැබුවා.
එහිදී විනිසුරුවරයා මෙසේ සඳහන් කළේය.
"වගඋත්තරකාර ඥානසාර හිමියන්ට සමාව ප්‍රදානය කිරීම හිටපු ජනාධිපතිවරයා සිදුකර තිබෙන්නේ ජනාධිපති අතිරේක ලේකම් (නීති) විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශයක් පදනම් කරගෙනයි.
වගඋත්තරකාර ඥානසාර හිමියන්ට සමාව ප්‍රදානය කරන ලෙස ත්‍රෛනිකායික මහනායක හිමිවරු, දියවඩන නිලමේ සහ අන්‍යාගමික නායකයින් ද ඉල්ලීම් කර තිබූ බව හිටපු ජනාධිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කළ සිය දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කර තිබෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා සමාව ප්‍රදානය කළ යුත්තේ තමන් හමුවට ඉදිරිපත් වන තොරතුරු පදනම් කරගෙනයි. නමුත් මෙම නඩු විභාගයේදී ජනාධිපතිවරයා මෙම වගඋත්තරකරුට සමාව ප්‍රදානය කිරීමට හේතු වූ කරුණු පැහැදිලි කිරීමට අසමත් වී තිබෙනවා.
එබැවින් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිය උල්ලංඝනය කර තිබෙන බව අධිකරණය විසින් තීන්දු කරනු ලබනවා. ''
ඒ අනුව හිටපු ජනාධිපතිවරයා වගඋත්තරකාර ඥානසාර හිමියන්ට ප්‍රදානය කළ සමාව නීතිය ඉදිරියේ බලශුන්‍ය බව විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශ කරමින් සඳහන් කළා.
කෙසේ වෙතත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මෙම සමාව ප්‍රදානය කර තිබෙන්නේ අතිරේක ලේකම් (නීති) විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ මත බැවින් හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් තවදුරටත් කටයුතු කිරීමට අධිකරණය අපේක්ෂා නොකරන බව ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා කියා සිටියා.