නීතිවිරෝධීව උපායගත් බව කියන මුදල්වලින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මාතර බ්‍රවුන්ස් හිල්හී පිහිටි අක්කර 1.5ක ඉඩමක් මිලදීගෙන ඇතැයි යන චෝදනාවකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර තිබුණා.
ඊට අදාළ නඩුව මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාග කෙරෙන අතර ඒ සඳහා බැසිල් රාජපක්ෂ මහතා පෙනී නොසිටීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙසට අධිකරණය විසින් පසුගියදා වරෙන්තුවක් නිකුත් කරනු ලැබුවා.
එමෙන්ම සංචාරක ප්‍රවර්ධනයට බව පවසමින් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදලින් ඌව පළාත් සභා මැතිවරණය පැවැති සමයේ රුපියල් මිලියන 7.8ක මුදලක් වැයකර දිනන ඌව නමින් ටී ෂර්ට් 12,000ක් මුද්‍රණය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ද බැසිල් රාජපක්ෂ මහතා සැකකරුවෙකු ලෙස පසුගියදා නම්කෙරුණේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්.
එම නීති කටයුතු සඳහා ඔහු මෙරටට නොපැමිණි අතර මෙම චෝදනා පිළිබඳ බැසිල් රාජපක්ෂ මහතාට නිල් නිවේදනයක් නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර පොලිසියෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
මේ හරහා බැසිල් රාජපක්ෂ මහතා පදිංචි ස්ථානය හඳුනාගැනීමේ හැකියාවක් පවතින බැවින් ඒ ඔස්සේ ඔහුට නිල වශයෙන් නොතිසි ලබාදීමට කටයුතු කරන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.
ඒ අනුව ඔහු එම නොතීසි ලැබුණු පසු ද මෙරටට නොපැමිණියහොත් ඉදිරියේදී රතු වරෙන්තුවක් නිකුත් කිරීමට කටයුතු කරන බව ද එම නිලධාරියා වැඩිදුරටත් පැවසුවා.