රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර අවසන් කර අද පස්වරුවේ යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන යනු ලැබුවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ ප්‍රතිකාර ලැබූ සුරේෂ් සලේ මහතාට ප්‍රතිකාර සිදුකරන වෛද්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු 10 දෙනෙකුට අද අධිකරණයේ පෙනීසිටින ලෙසට කොටුව මහේස්ත්‍රාත්වරයා නොතීසි නිකුත් තිබුණා.
එම දැනුම්දීමට අනුව අදාළ වෛද්‍යවරුන් දසදෙනාගෙන් යුත් කමිටුව, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දන්වා සිටියේ, දින 100කට අධික කාලයක් ප්‍රතිකාර ලැබූ සලේ මහතාට රෝහලෙන් පිටව යා හැකි බවයි.
එම දැනුම්දීමෙන් පසු අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා අධිකරණයට දන්වා සිටියේ, සුරේෂ් සලේ මහතා අද පස්වරුවේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගන්නා බවයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළ නඩුවේ සැකකරුවෙකු නම්කළ සුරේෂ් සලේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.